ඇසළ පොහොය දිනයයි අදයි - ඇසළ පොහොයෙහි ඇති වැදගත් කම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-04

ඇසළ පොහොය දිනයයි අදයි - ඇසළ පොහොයෙහි ඇති වැදගත් කම

අද ඇසළ පොහොය දිනයයි
ඇසළ පොහොයෙහි ඇති වැදගත් කම

වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දඹදිව මධ්‍ය දේශයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. එකුන් තිස්වියේ දී ලෙඩෙකු මහල්ලෙකු මළ මිනියක් මහණ රුවක් යන සිවු පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. බුදුරදුන් ඇතුළු පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූපගමනය බරණැස මිදාය නම් වූ ඉසිපතනයේ සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. රාහුල කුමරුන්ගේ උපත සිදු වූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. බුදුරදුන් ගණ්ඩම්බ රුක්මුල්හිදී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.
එසේ ප්‍රාතිහාර්ය දක්වා සත්වැනි වස ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියනට විජම් බණ වදාළේත් ඇසළ පුණු පොහෝ දිනයක දීය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂාව සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුණු පොහෝදිනයක ය. බු. ව. 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. බු. ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් සපනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.
බු.ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ටක චෙතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය (පළමු වස් එළඹීම) සිදුවූයේ ඇසළ පුණු පොහෝ දිනයක ය. බු. ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රඳුන් තනන්නට මඟුල් ගල් තැබීම උත්සවශ්‍රීයෙන් සිදුකරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. එසේම උතුරු සළ නැකතින් මහ සෑයෙහි ධාතු නිදානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්යය මැද සිදුවූයේ ඇසළ පුණු පොහෝ දිනයක ය.

බු. ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කර ගෙන එනු ලබන දළදා පෙරහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. විශේෂයෙන් ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ ස්කන්ධ කුමාර පත්තිනි ආදී දෙවියන් උදෙසා පුද පූජා පවත්වා දේව වරප්‍රසාද ලබාගෙන ශ්‍රී සමෘද්ධිය අයත් කර ගනු පිණිස ඈත අතීතයේ සිට ම මහනුවර, ශ්‍රී ජයවර්ධනපුර, අලුත් නුවර, නවගමුව, දෙවුන්දර, රත්නපුරය, කතරගම ආදී නගර ග්‍රාමයන් හි පිහිටි දේවස්ථානයන් හි වාර්ෂික වශයෙන් පැවැත්වෙන දේව පූජා පෙරහර සිදුකරන දිනය නිසාත් ආගමික වශයෙන් මෙන් ම ඓතිහාසික අංශයෙන් ද ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් මේ දවස සැලකිය හැකි ය.

ඇසළ මාසය ඈත අතීතයේ සිට ම දෙවියනට පුද පෙරහර පවත්වන දේවාරාධනයට සැරැසෙන ශුද්ධ මාසයක් වශයෙන් ද සම්මත ව ඇත. වෙසක් පොසොන් උත්සව දෙක හැරුණු විට ලංකාවේ පවත්වන දීප ව්‍යාප්ත මේ ආෂාඪ (ඇසළ) උත්සවයට සමකළ හැකි කිසිදු උත්සවයක් වෙනත් නො මැත. මහනුවර ආදී පුණ්‍යතීර්ථයන්හි වර්ෂයක් පාසා පැවැත්වෙන මේ ඇසළ පෙරහර උත්සවාදිය නිසා අනෙක් පුණු පෝය දිනයන්හි එළැඹෙන මාසයන්ට වඩා ඇසළ පෝය උදාවෙන ශුද්ධ මාසය දෙව් පුද සඳහා ම වෙන් කැරුණු විවිධ උත්සව විශේෂයෙන් ගෙන් පිරිණු මාසයක් වශයෙන් බෞද්ධ අබෞද්ධ හැමදෙනා විසින් ම පිළිගනු ලැබේ. එයිනුදු මහනුවර පවත්වන ඇසළ පෙරහර බෞද්ධ ස්වරූපයක් ගැන්වීම පිණිස නාථ-විෂ්ණු-කතරගම-පත්තිනි යන සතර දේවාලයන්හි පෙරහර සතරට මුලින් දළදා පෙරහර එක්වීම එහි දක්නට ඇති විශේෂ ලක්ෂණයකි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages