සේරුවිල කෙළවර විල්ගම් වෙහෙරින් හමුවූයේ ඉපැරැණි සෝමනුවර දකුණු දළදා ස්ථූපයද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

සේරුවිල කෙළවර විල්ගම් වෙහෙරින් හමුවූයේ ඉපැරැණි සෝමනුවර දකුණු දළදා ස්ථූපයද?

මේ ස්ථානයේ අපි සිදුකළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව සහ අපේ වංශකතාවක් වන ධාතුවංශයේ  සඳහන් වෙනවා සේරුවිල කෙළවර පැරණි සෝමනුවර ගිරියබා රජතුමා සහ සෝමා දේවිය විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කරන ලද ස්තූපයක් පිහිටා තියෙනවා’කියලා.  ඉතිං මේ භූ දර්ශනය බැලුවම අපට පේනවා අපි මේ ඉන්න ස්ථානයට දකුණින් තමයි සේරුවිල මංගල මහා සෑය තියෙන්නේ. එතකොට සේරුවිල කෙළවර යන අදහස ගත්තාම සේරුවිලට ජලය ඇතුළු වෙන්නේ සේරුවිල සෑය අසලින්. ඒ කියන්නේ දකුණින්  සහ එහි ජලය පිටවෙන්නේ මෙම ස්ථානයට එපිටින් තියෙන සේරුවිල උතුරු කොටසින්. ඒ කියන්නේ මෙම ස්ථානය සේරුවිල කෙළවර යනුවෙන් හැඳින්විය හැකියි. එහි තිබෙන එකම ස්තූපය තමයි අපි කැණීම් සිදු කරන මේ ස්තූපය.

පැරණි සෝමනුවර පිළිබඳ අපේ ධාතු වංශයේ තව සඳහනක් තියෙනවා. කාවන්තිස්ස මහරජතුමා සේරුවිල මංගල සෑයේ ධාතු තැන්පත් කරලා ස්තූපය නිම කරලා  සඟසතු කරලා පූජා කරන උත්සවයට සෝමනුවර ඉඳලා පෙරහරකින් ගිහිල්ලා තියෙන්නේ සේරුවිල ස්තූපය දක්වා. එතැනදී චූලවංශයේ විස්තර කරනවා එතුමා සන්ධ්‍යා භාගයේදී ඇතුන් පිරිවරාගෙන සෝමනුවරින් පිටත් වෙලා සේරුවිල ස්තූපයට කළුවර වැටෙන්න කලින් ගියැයි කියලා. ඒ කියන්නේ සෝමනුවර පිහිටන්න ඕන සේරුවිල ස්තූපයට බොහෝම කිට්ටුවෙන්. එතකොට අපිට ධාතුවංශයේ සඳහන් වන භූමි දර්ශනයේ අනුව  ප්‍රධාන අවස්ථා දෙකක් ගැළපෙනවා. මේ ස්ථානය තමයි ගිරියබා රජතුමා සහ සෝමා දේවිය විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කළ ස්තූපයක් ඉදිකළ පැරණි සෝමනුවර මෙම ස්ථානය යන්නට.

ඉතිහාසය

ශ්‍රී  ලංකාවේ ඉතිහාසය පිළිබඳව වෙනස් මතයක් ඉදිරිපත් කරමින් මෙම අදහස පළ කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්තිලගේ විසිනි.

ත්‍රිකුණාමලයේ සේරුවිල පුදබිම හරහා තෝපූර් දෙසට දිවෙන මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කළ පසු ඉන් වමට හැරී තවත් කිලෝමීටරයක් පමණ ගිය විට හමුවන අක්කර හතළිස් නමයකින් සමන්විත වූ පෞරාණික නටබුන් සහිත ස්තූපයක් ද පිහිටි මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් වූ වැඩබිමක් දැකගත හැකිය. විල්ගම් විහාරය නමින් හ¾දුන්වා ඇති එම ඓතිහාසික භූමිය තුළ පිහිටි මීටර් විස්සක් තරම් උස් වූ ස්තූපය වටා සෙවිලි කරන ලද තාවකාලික තහඩු වහලයක් යට පුරා විද්‍යාත්මක කැණීම් සිදුකරන වැඩබිමක් දැකගත හැකිය. ඒ තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද ඇතුළුව බොහෝ පිරිසක් ඉතිහාසයේ සැඟවුණු තොරතුරු සොයා එහි හාරන ලද වළවල් තුළ පහුරුගාමින් සිටින අයුරු අප එහි යනවිටත් දැක ගත හැකි විය. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් අප හට ප්‍රවාහන පහසුකම් සපයා දෙමින් ඔවුන් විසින් පොළොව තුළ සැඟව තිබූ අතීත භූමිය පිරික්ෂා සොයා ගත් වටිනා තොරතුරු සමූහයක් මාධ්‍යයට හෙළි කරනු පිණිසත් මෙම ඓතිහාසික භූමිය වන්දනාමාන කිරීමටත් දැකබලා ගැනීමටත් මහජනතාවට ආරාධනා කර සිටීමට එම භූමිය තුළ මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

යශෝරාවය

අප එහි ගොස් මඳ වේලාවකට පසුව පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක එහි පැමිණියෙන් මාධ්‍යයට කරුණු හෙළි කිරීමේ අවස්ථාව එළැඹීය. එහිදී කරුණු ඉදිරිපත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා. සේරුවාවිල මුලදී රෝහණ රාජධානියේ වැදගත් කොටසක් වුණා. සේරුනුවර වුණා. රුහුණේ ප්‍රධාන ස්ථානයක් වුණාට එහි තිබෙන සෞභාග්‍යය එසේ නැතිනම් යශෝරාවය හරි හැටි මතුවුණේ නෑ. මෙම ස්ථානය බාරව ඉන්න අලුදෙණියේ සුබෝධි හිමියන් ඇතුළු උන්නාන්සේලාගේ මඟ පෙන්වීම යටතේ අපි මෙතෙන්ට පැමිණ මේ දාගැබ සම්බන්ධයෙන් කැණීම් කටයුතු සිදුකළා. මෙම දාගැබ ක්‍රිස්තු පූර්ව වකවානුවේ හැදුණු දාගැබක් විය හැකියි. මෙහි කැණීම් කටයුතු අවසාන වුණත් මළුව සහ ඒ වටා තිබෙන ප්‍රාකාර සංරක්ෂණය කිරීමට අවශ්‍යයි. අපිට තියෙන ගැටලුව මොන අවධියද සංරක්ෂණය කරන්නේ කියන එක. මොකද මෙම ස්ථානයේ ස්තූපය අවධි කිහිපයක් යටතේ සංරක්ෂණ කළැයි කියන සාධක අපට හමුවෙලා තියෙනවා. අපේ සාමාන්‍ය ප්‍රතිපත්තිය තියෙන්නේ අවසාන අවධිය සංරක්ෂණය කළ යුතු බවට. තිස් අවුරුදු යුද්ධයක් යටතේ මේ උතුරු – නැඟෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව ගවේෂණයන් පිළිබඳව කටයුතු කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට අවස්ථාවක් තිබුණේ නෑ. ඒ ප්‍රබෝධය දැන් ආරම්භ වෙලා තියෙනවා. සේරුවාවිලට පැමිණෙන සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට සේරුවාවිලට සීමාවෙන්නේ නැතිව මෙම ස්ථානය නැරඹීමටත් වන්දනාමාන කිරීමටත් දැන් අවස්ථාව තියෙනවා. මෙම ස්ථානය පිළිබඳව බොහෝම ගැඹුරින් පරීක්ෂා කළා මහාචාර්ය විමල් විජේරත්න.  එතුමාගේ පර්යේෂණ තුළිනුත් මෙම ස්ථානයේ තියෙන වැදගත්කම ඉස්මතු වෙලා තියෙනවා.

මෙම අවස්ථාව සහභාගි වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ මහාචාර්ය ගාමිණී අධිකාරි.

“අද මේ මාධ්‍ය හමුව කැඳවීමට හේතුව අද සහ ඊයේ මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණියා මහාචාර්ය ටී.ජී. කුලතුංග, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සහ විශ්‍රාමික මහාචාර්ය කුලතුංග මැතිතුමන්ලා. මම කැමතියි මෙම පරීක්ෂණවල ප්‍රතිඵල තමුන්නාන්සේලාට පවසන්නට. 2013 වර්ෂයේ අපි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු දහ දෙනකුගෙන් පමණ සමන්විත වූ කණ්ඩායමක් සාකච්ඡා කළා. යුද්ධයෙන් පසුව අපි කොහොමද එයට යටත් වී තිබූ ප්‍රදේශවල පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා අවතීර්ණ වෙන්නේ කියලා. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අගමැති දි.මු. ජයරත්න යන දෙපළගේ පූර්ණ මැදිහත් වීමෙන් මේ සඳහා වන මූල්‍යමය ලියවිල්ලට අස්සන් කළා.

පසුව ඒ යටතේ නැඟෙනහිර තියෙන මෙම ස්ථානය පිළිබඳව අපේ අවධානය යොමු වුණා. ආසියාවේ පවතින විශාලම තඹ නිධිය සහිත තම්බපන්නිය වන මෙම භූමිය ශක්‍යතා වාර්තාවන් තුළින් සලකා බැලුවා. ඒකත් සමඟ මෙම ස්ථානය ඉදිරියට ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා සුවිශේෂී පුද්ගලයෙක් විදියට රසායන විද්‍යාත්මක විශ්ලේශකයෙක් විදියට ආචාර්ය අර්ජුන තන්තිලක මහතා පත්කළා. ඔහුගේ ආචාර්ය උපාධිය තියෙන්නේ ලෝහ පිළිබඳව. ඔහු ඒ තඹ නිධිය පිළිබඳව පර්යේෂණ කරන ගමන් තමයි මේ කාර්යයේත් නියැළිලා ඉන්නේ.

ඇත්පවුර

ඒ පර්යේෂණවලදී අපිට නිරීක්ෂණය වුණා මේ දාගැබ වටා ඉතාම සුවිශේෂී ඇත්පවුරක් ගොඩනැඟිලා තිබූ බවට. අපි ලංකාවේ දාගැබ් විශාල ප්‍රමාණයක කැණීම් සිදුකළත් මෙවැනි ඇත්පවුරක් මින් පෙර හමුවී නැති තරම්. මගේ මතකයේ විදියට වාර්තා වෙලා නෑ. ඒකෙන් අපි විශ්වාස කළා. ක්‍රිස්තු පූර්ව යුගයකට මේ ස්තූපය අපව ගෙන යනවා කියලා. ඒ කාලයේ නොයෙක් යුගවලදී සිදුකරන ලද සංරක්ෂණ කටයුතුවලදී මේ ඇත්පවුරට හානි වෙලා තියෙනවා. මට මතක විදියට මහාවංශයේ 33 වැනි පරිච්ඡේදෙයේ සඳහන් කරලා තියෙනවා සද්ධාතිස්ස රජතුමා ස්තූප හදලා යම් යම් සංකල්ප එකතු කරන ක්‍රියාවලියේදී ඇත්පවුර ස්තූප වටා එකතු කළා කියලා. මේ අනුව අවස්ථා තුනකදී හෝ හතරකදී මේ ස්තූපය සංරක්ෂණය කරලා තියෙනවා කියලා. ඉදිරි කාලයේදී මෙහි සාම්පල් විදේශයකට යවලා මෙහි කාල වකවානු පිළිබඳව නිගමනයකට එන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා.

ක්‍රිස්තුපූර්ව කාලයක ඉදිකළා යැයි සාක්ෂි පවතින මෙම පුදබිම වෙතට පැමිණ වන්දනාවටත් මෙම නටබුන් තුළින් දිස්වන අතීත ශ්‍රී  විභූතියත් සියැසින් දැකගැනීමට මෙසේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලත් දෙස් විදෙස් සංචාරකයන්ට ආරාධනා කරයි. මෙම හමුවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ව්‍යාපෘති කළමනාකරු ටී.ඩී.සී. පුෂ්පකුමාර විසින් මෙහි සලපතල මළුව අභ්‍යන්තරයෙන් මතු වූ පෞරාණික නටබුන් පිළිබඳව සහ විවිධ යුගයන්වලදී චෛත්‍ය ආරක්ෂා කිරීම සඳහා ඉදිකරන ලද ආරක්ෂක බැමි පිළිබඳවද විස්තරයක් සිදුකළේය. මෙහිදී චෛත්‍යයේ කොත වෙනුවට යොදාගත් ඡත්‍ර හතරක නෂ්ඨාවශේෂ චෛත්‍ය වටා හමුව ඇති අතර එයද මෙය විවිධ යුගයන්වලදී ප්‍රතිසංස්කරණය වී ඇති අන්දම මොනවට කියාපායි. ශෛලමය ඡත්‍ර දණ්ඩ සිටුවා ඒ මත විශාල බරකින් යුතු වූ ඡත්‍ර සවිකළ විට එය ශෛලමය කුඩයක් ආකාරයට දිස්වන අතර එය චෛත්‍යයේ ධාතුන් වහන්සේලාට සෙවණ දෙන මුතුකුඩයක් ලෙසින් හ¾දුන්වා දිය හැකිය. එසේම මෙහි දක්නට ලැබෙන ශෛලමය ශ්‍රී  පතුලද මෙතෙක් ශ්‍රී  ලංකාවේ වෙනත් ස්තූපවල දක්නට අසීරු බවද ඔවුහු පවසති.  ඒ එහි පුන්කලසක් සහ ඡත්‍රයක් පෙන්නුම් කිරීමය. එහි සලපතල මළුව සඳහා යොදාගෙන ඇති සමහර ගඩොල්වල දක්නට ඇති පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහ සංකේතද මෙහි ඇති සුවිශේෂීත්වය විදහා පායි.

ජල තලය

මෙම විල්ගම් වෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති අලුදෙණියේ සුබෝධි හිමියන්ද මෙම ඓතිහාසික ස්ථානය සොයා ගැනීම සහ ආරක්ෂා කිරීම තුළින් විශේෂ කර්තව්‍යයක් ඉටුකර ඇත. තුන් පැත්තකින් වටවූ සේරුවිල ජල තලය මැද පිහිටි මෙම පින්බිමට ඉදිරියේදී සංචාරක ආකර්ෂණය බොහෝ සෙයින් ලැබෙනු ඇත. ඉතා අලංකාරවත්ව නව විහාර මන්දිර, කෞතුකාගාර ගොඩනැඟිලි, සීමාමාලකය, දානශාලාව, සංචාරකයන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම් ආදිය ඉදිකරමින් සහ මෙය වෙතට පැමිණෙන සංචාරකයන්ගේ යටිතල පහසුකම්වලට මෙන්ම මෙම ස්ථානය ඔවුන්ගේ නෙත්කලු ස්ථානයක් බවට පත් කිරීමටද විවිධ ඉදිකිරීම් සහ සිදු කෙරෙමින් පවතී.

මෙම බිමේ මෑත ඉතිහාසය පිළිබඳව අදහස් දැක්වූ විහාරාධිපති හිමියෝ

“මේ ස්ථානය වන ගහනයකින් වැසී තිබියදී 1920 ගණන්වලදී සේරුවිල විහාරාධිපතිව වැඩ විසූ දඹගස්ආරේ සුමේධංකර හිමියන් විසින් සොයා ගත්තට පස්සේ පසුගිය යුද්ධ කාලෙදී මේ ස්ථානය ආරක්ෂා කළේ උන්වහන්සේගෙන් පසුව නායකත්වය අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති හිමියන් විසින්. ඒ කාලේ අවස්ථා කීපයකදී මේ ස්ථානය ගොඩනඟන්න උත්සාහ ගත්තත් ඒක වැළකුණා. යුද්ධය නිසා. යුද්ධය අවසන් වුණාට පස්සේ ඒ හිමියනුත් මාගේ ගුරුදේව  කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගෙත් අනුශාසනා සහ මඟ පෙන්වීම් යටතේ 2012 වර්ෂයේදී මෙම ස්ථානය මම භාර ගෙන ගොඩනැඟුවා. මම ශ්‍රී  ලංකාවාසී බෞද්ධ ඇතුළු සියලුම ජාතීන්ටත් විදේශිකයන්ටත් ආරාධනා කරනවා මෙම වටිනා ඓතිහාසික ස්ථානය වැඳපුදා ගන්නටත් මෙහි ඇති නටබුන් සහ කැණීම් ආදිය සිදුවන හැටි දැක ගන්නටත් කියලා.

කෙසේ වුවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ නැඟෙනහිර පළාතේ පුරාවිද්‍යා  සංරක්ෂණ කටයුතු සඳහා මෙම ස්ථානය ඔවුන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්කර ගන්නා බවයි.

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ



from රට තොට – Colombo Tribune https://ift.tt/32FRsWY
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages