උතුරේ ජනතාවගේ හදවතේ මා පිළිබඳ පෝස්ටරය තැන්පත් වී තිබෙනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-13

උතුරේ ජනතාවගේ හදවතේ මා පිළිබඳ පෝස්ටරය තැන්පත් වී තිබෙනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක  කර්නල් රත්නප්‍රිය බන්දු

උතුරේ ජනතාවගේ හදවතේ තමා පිළිබඳ පෝස්ටරය තැන්පත් වී තිබෙන බවද, යුද්ධය අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාව සතුරාට පවා ප්‍රතිකාර කළ මානුෂීය හමුදාවක් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ඉකුත් 10 දා බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්නල් වරයා මෙසේ ද පැවසීය.

පසුගිය රජය සමයේ මට විවිධ බලපෑම් ඇති වූ අතර ත්‍රස්ත විමර්ශන ඒකකයට මා රැගෙන ගොස් මගේ නිවෙස ඉදිරිපිට බුද්ධි අංශ යෙදවූවා. උතුරේ ක්‍රියාත්මක වන අනෙකුත් දේශපාලන සංවිධාන, දේශපාලඥයන් කුමන අභියෝග කළද ඉදිරි මැතිවරණයේදී මගේ ජයග්‍රහණයට එය ගැටලුවක් වන්නේ නෑ. යුද්ධය පැවති අවස්ථාවේ ශ්‍රී ලංකා හමුදාව සතුරාට පවා ප්‍රතිකාර කළ මානුෂීය හමුදාවක්.

මා දේශපාලනයට ප්‍රවිෂ්ට වුණේ ඇයි කියා පැවසුවොත්? වර්තමානයේ අපේ රටේ දේශපාලනය අලුත් හැරවුම් ලක්ෂ­්‍යකට පැමිණ තිබෙනවා. මේ වන විට හැටනව ලක්ෂයක ජනතාවගේ ප්‍රාර්ථනාව ඉෂ්ට, සිද්ධ වෙන දේශපාලන වටපිටාවක් ගොඩනැඟී තිබෙනවා. විනය ගරුක, නිර්භීත, දැක්මක් සහිත නායකයකු අපට දැන් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට නව දැක්මක් සහිතව පෙරට රැගෙන යාමේදී ඒ සඳහා සහය වීමට මා දේශපාලනයට ප්‍රවිෂ්ට වුණා. මා දීර්ඝ කාලයක සිට වන්නි ජනතාව සමඟ කටයුතු කරනවා. ඒ වගේම වන්නියේ භුමිය, සංස්කෘතිය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. උතුර සහ දකුණ අතර පවතින පරතරය අප නැති කරන්න ඕනෑ. උතුරු ප්‍රදේශයේ ජනතාවට විවිධ ගැටලු තිබෙනවා. අප ඒවා විසඳිය යුතුයි. වවුනියාවෙන් ඔබ්බට තිබෙන වැව් ටික අප ආරක්ෂා කර ගන්න ඕනෑ. ඒ තුළින් කෘෂිකර්මාන්තය දියුණු කළ හැකියි. මේ ප්‍රදේශවල ජනතාවට ජලය ලබාදීමට කටයුතු කරන්න ඕනෑ. වැලිඔය, බෝගස්වැව, සැළලිහිණිගම සහ නන්දිමිත්‍රගම ජනතාවට ඇති සීමා නිර්ණය ගැටලු විසඳාදිය යුතුයි. උතුරේ ධීවර ගැටලු වලට විසඳුම් ලබා දීම අපේ අරමුණක්. සාමය කියන්නෙ මිල අධික දෙයක්. පසුගිය වසර පහ තුළ මේ ගැන ලෝකයට කියන්න අපට ඉඩක් ලැබුණේ නෑ. වර්තමානයේ අපට ඒ සඳහා අවස්ථාව ලැබී තිබෙනවා. වෙල්ලමුල්ලිවෛයික්කාල්, නන්දිමිත්‍රගම සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ ගම්මානයක් තෝරා ගෙන ආදර්ශ සාම ගම්මාන තුනක් බිහි කර සාමයේ පණිවිඩය ලෝකයට කීමට මා බලාපොරොත්තු වනවා. දකුණත් සමඟ උතුර යා කරන ගමට ගමක් සංකල්පයක් තුළින් උතුරත් දකුණත් අතර විශ්වාසය තහවුරු කිරීමටද අප කටයුතු කරනවා.

උතුරේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට වැඩසටහන් සකස් කරන්න ඕනෑ. මේ වන විටත් වැලිඔය කර්මාන්ත පුරයක් බිහි වෙමින් තිබෙනවා. උතුරේ තරුණ පිරිසට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ලබා දෙන්න ඕනෑ. උතුරේ පෙර පැවති කර්මාන්තශාලා අප නැවත ආරම්භ කරනවා. මේ උතුරු දොරටුව විවර වූවාට පසු උතුරේ සම්පත් දකුණටද, දකුණේ සම්පත් උතුරටද ගමන් කරනවා. වන්නියට සංවර්ධනයේ අරුණලු උදා කිරීමටයි මා එම ප්‍රදේශයෙන් දේශපාලනයට පිවිසෙන්නේ. ඒ සඳහා උතුරේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මට අවස්ථාව ලබාදෙන බව මා විස්වාස කරනවා. මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් මට ලබාගත හැකියි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව මා ගමන් කරනවා. නිවැරදි මතය ජන ගත කිරීමයි මගේ සම්ප්‍රදාය. විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙකු වන මා උතුරේ ජනතාව වෙනුවෙන් මේ වන විටත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඔවුන් මා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. පෙර පාසල් අධ්‍යාපනය, වගා භූමි ක්‍රියාත්මක කරනවා. වැවක් ඉදිකරනවා. නිවාස ඉදිකරනවා. පාසල් උපකරණ ලබා දෙනවා. දරුවන්ට වෘත්තීය පුහුණුව, ක්‍රීඩා කෞශල්‍ය නැංවීමට කටයුතු කරනවා. ජනතා සුබ සිද්ධිය සඳහා තවත් වැඩ සටහන් ගණනාවක් ක්‍රියාවේ යොදවා තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ මට විවිධ බලපෑම් ඇති වුණා. වර්ෂ 2026 දක්වා මට සේවය කිරීමට තිබුණා. එදා මාව ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන ගියා. එහිදී ප්‍රධානියා කනගාටුව ප්‍රකාශ කළා. වෙනත් හස්තයක් ක්‍රියාත්මක වන බව මට එහිදී පෙනී ගියා. මගේ නිවෙස ඉදිරිපිට බුද්ධි අංශය යොදවා තිබුණා. මේ සියල්ල සැලසුම් සහගත ක්‍රියාවක් කියා මට සිතෙනවා. එදා ජනතාව ඇඬූ කඳුළින් මට සමුදීම නාට්‍යයක් බව ඇතැමුන් ප්‍රකාශ කළා. උතුරේ ජනතාව ප්‍රකාශ කළේ සිංහල බෞද්ධ නිලධාරියා අවශ්‍ය බව.

උපාලි කරුණාරත්න

 

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages