ඔබ ඔබේ දේශපාලන නියෝජිතයා තෝරන්නේ ගැම්මෙන්ද? මිම්මෙන්ද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

ඔබ ඔබේ දේශපාලන නියෝජිතයා තෝරන්නේ ගැම්මෙන්ද? මිම්මෙන්ද?

දේශපාලනය යනු හුදෙක් රාජ්‍ය පාලනය, ආණ්ඩුකරණය, බලය සහ ආධිපත්‍යය පිළිබඳ සංකල්පයක් ලෙස තවදුරටත් හඳුනාගත නොහැක්කේ එය අද වනවිට පොදු සමාජ භාවිතයක් බවට පත්ව ඇති හෙයිනි.

අප නිවස තුළ වේවා යන එන මගතොටේදී වේවා හමුවන ඕනෑම අයකු දේශපාලනය පිළිබඳ කතා කරනුයේ මහත් වූ අභිරුචියකිනි. එපමණක්ද නොව ඔවුන් ඒ විෂයෙහි කෙළපැමිණියවුන් සේ දොඩති. තම මතය අන් අයට ඒත්තු ගැන්වීම වෙනුවෙන් සරු, නිසරු භේදයකින් තොරව වාද විවාදවලද පැටලෙති. කොටින්ම ඔවුන් දේශපාලනය පරතෙරට දන්නාවුන් මෙන් හැසිරෙන අතරම තමා ඉතාම සක්‍රීය දේශපාලන ජීවීන් බවද පුන පුනා කියති.

පාර්ලිමේන්තු මහ මැතිවරණයකදී හෝ වෙනත් ප්‍රාදේශීය මැතිවරණවලදී නි​යෝජිතයන් තෝරා ගැනීමට යාමේදී පුරවැසියන් විසින් දේශපාලනයේ ඉහත කී අර්ථය අර්ධ වශයෙන් භාරගනු ලැබූවක් බව පෙනී යන්නේ, ඔවුන් පාලකයන් වශයෙන් උගතුන් සහ බුද්ධිමතුන් පමණක් ඉල්ලා සිටීමත් එකී දේශපාලන ක්‍රියාවලියේම අනෙක් අර්ධය වන ඡන්දදායකයන් පිළිබඳ එබඳු සහතිකයක් කිසිසේත්ම බලාපොරොත්තු නොවීමත් මගිනි.

සමකාලීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ලාංකික පුරවැසියන් තම කාර්යභාරය නිසි ලෙස හඳුනා නොගැනීම කනගාටුවට කරුණකි.

දූෂිත පාලකයන්ට බලයේ රඳා පැවතීමට නම් ඔවුන්ව අනුමත කරනු ලබන ආකාර​යේ දූෂිත පුරවැසි ප්‍රජාවක්ද සිටිය යුතු බව පැහැදිලිව තේරුම් ගැනීමට ලාංකික ජන සමාජයට තවත් බොහෝ කාලයක් ගතවනු ඇත. ඒ ඔවුන් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය ජීවන ක්‍රමයක් ලෙස පුරුදු පුහුණු කරගෙන නොමැති බැවිනි.

සමාජය තුළ පවතින බොහෝ වෘත්තීන් අතර තවත් එක් වෘත්තියක් බවට දේශපාලනය පත්වන්නේ 1978න් පසුව බිහිවූ විවෘත ආර්ථිකය මත පදනම් වූ විපරිත ධනවාදී සමාජය තුළ යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. ජුගුප්සාවකින් තොරව ධනවාදයේ නිරුවත ප්‍රදර්ශනය කරන්නටත්, එයම වැලඳගෙන එහි ඇලී ගැලී මිය යන්නට වුවත් රිසි පරපුරක් බිහිකරන්නට එකී ආර්ථික ක්‍රමයට අප පෙලඹවූ බව කටුක වුවත් සත්‍යයකි. කුමක් හෝ විකුණා ධනය ඉපැයීම අරමුණ වූ පසු අපට අප විකිණුවද නිනව්වක් නැත. පරිසරය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා සපුරාලන සේවා පවා හුදු වෙළෙඳ භාණ්ඩම පමණකි.

ඉංජිනේරු, වෛද්‍ය, කළමනාකරණ හෝ නීති වෘත්තිය බඳු වෘත්තීන්ට ප්‍රවේශ වීමේ මහා තරගය පාසලින් ආරම්භ වෙද්දී එකී රැකියා අවස්ථා මගහැරුණු සැණින් කුමන හෝ අයථා මාර්ගයකින් රජයේ රැකියාවක් ලබාගැනීමට පුරවැසියන් කටයුතු කරනු ලබන ආකාරයටම දේශපාලන වෘත්තිකයන් විසින්ද කෙක්කෙන් හෝ කෝකකෙන් එකී තනතුරුවල ස්ථාපිත වීමට යත්න දැරීමේ කිසිදු වෙනසක් දැකිය හැකි නොවේ.

ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දේශපාලනය දූෂිත තත්ත්වයේ පැවතීමට උරදෙනු ලබන්නේද එකී රාජ්‍යයන්ගේ සාමාජිකයන් වන පුරවැසියන්ම වේ.

දේශපාලනය, දේශපාලනඥයන්ගේ වෘත්තිය වශයෙන් සැලකීමේදී ජර්මන් ජාතික මැක්ස් වේබර් විසින් සිය ‘Politics as a Vocation’ යන කෘතියේ සඳහන් කර ඇති ආකාරයටම එය බොහෝ වාසිදායක වෘත්තියකි. ප්‍රචණ්ඩත්වය පවා නීත්‍යනුකූල ලෙස භාවිත කළ හැකි රාජ්‍යයේ ඉහළ තනතුරක් හෙබවීම වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තීන් තබා ආචාර්ය හෝ මහාචාර්ය පදවි දැරීමටද වඩා බොහෝ වාසිදායක වේ. ඉදිරි මැතිවරණයේ අපේක්ෂක ලැයිස්තු නිරීක්ෂණය කිරීමෙන් පමණක් වුවද මෙය ප්‍රත්‍යක්ෂ කරගැනීමට උදාහරණ ඕනෑ තරම් අපට සොයගත හැකිය.

තවද සමාජයේ ඉහළ යැයි සම්මත බොහෝ වෘත්තීන්ට ඇතුළත් වීමට අවශ්‍ය ශාස්ත්‍රීය හෝ අධ්‍යාපනික සුදුසුකම් සපුරාලීමකින් තොරව ස්වකීය දෘඪ අධිෂ්ඨානය හා කැපවීම මත පමණක් වුවද ලබාගත හැකි තනතුරක් වීමද දේශපාලනය ජනප්‍රිය වෘත්තියක් වීමට බලපා ඇත. අනෙක් අතට උගත් හෝ දක්ෂ වූ පමණින් ඔවුන් ඉතා හොඳ දේශපාලනඥයන් වේ යැයි අපේක්ෂා කිරීමට උගහටය.

දැනුම සහ බුද්ධිය හීන වූ විට එබඳු පාලකයන් රටකට අගනා ප්‍රතිපත්ති සෑදීමට සමත් නොවන අතරම දැනුම පමණක් ඇති ආත්මාර්ථකාමී පුද්ගලයන්, පාලකයන් වූ විට ඔවුන් හොඳ ප්‍රතිපත්ති පිළිබඳ මවාපෑම් පමණක් සිදුකර ජනතාව මුළාවේ හෙළීමට බෙහෙවින් ඉඩ ඇත.

එසේ නම් කළ යුත්තේ කුමක්ද?

පවතින පද්ධතිය වෙනස් කිරීමකි.

එය සිදු කරන්නේ කෙසේද?

පළමුව අප විසින් අප වෙනස් කරගත යුතුය.

අවම වශයෙන් දේශපාලනය ගෞරවනීය වෘත්තියක් ලෙස කරගෙන යනු ලබන අයවලුන් පමණක්වත් එහි ස්ථාපිත කිරීමට කටයුතු කරන අතරවාරයේ අයථා ධනෝපායන මාර්ග ජීවන වෘත්තිය කරගත් ව්‍යාපාරිකයන් ඇතුළු සමාජ විරෝධී කටයුතුවලින් උපයන්නන් ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිමත් කොඳු නාරටියක් ඇති කරගැනීම පළමුව අධිෂ්ඨාන කරගත යුතුය. දෙවැනුව ඔවුන්ව නිසි මොහොතේදී විශ්‍රාම ගැන්වීමට අප වගබලාගත යුතුය. ඒ මොහොත යනු වයසම නොවේ. හැකියාව යනු වයසින් ස්වායක්ත වූවකි. ලෝක දේශපාලන ඉතිහාසයේ එවැනි උදාහරණ රාශියක් තිබේ. නමුත් මහජනයා විසින් පත්කරනු ලබන දේශපාලනඥයා වෙතින් මහජන අපේක්ෂා ඉටුනොවන තැන ඒ පුද්ගලයාව විශ්‍රාම ගැන්වීමේ ‘නිවහල්’ මානසිකත්වය ඡන්දදායකයා තුළ තිබිය යුතුය.

නමුත් සිය හැකියාව හෝ නොහැකියාව තේරුම්ගෙන නිසි මොහොතේ ස්වයං තීරණයක් මගින් විශ්‍රාම ගැනීම හෝ නැවත ශක්තිමත්ව ජනතා සේවයට හැකියාව වර්ධනය කරගැනීම පිණිස අවශ්‍ය අභ්‍යාස වැඩීම සඳහා තාවකාලිකව මේ ධාරාවෙන් සමුගෙන යෑම ආදිය අප වැනි රටක දේශපාලනය තුළ සොඳුරු සිහිනම පමණි. අවුරුදු 60ක් පිරුණු පසු විශ්‍රාම යන රජයේ සේවකයන් පවා අවසානයේ සිය සේවා ස්ථානයෙන් නික්ම යනුයේ හඬමින් හා වැලපෙමින්ය. මෙය මිනිස් ස්වභාවය හා බැඳුණු බල කාමයේ එක්තරා මෘදු පැතිකඩක් වුවත් දේශපාලනය වැනි සීමා රහිත බල ආකරයක ගිලුණු දේශපාලනඥයා ඉන් ගලවාගත හැකි නම් ඒ ඡන්දදායක අපටම පමණක් නොවේද?

තවද එක්වරක් හෝ කිහිප වරක් කළ වැරදි නිවැරදි කරගැනීමටද අවස්ථා ලබානොදිය යුතු අතර කෘතගුණ සැලකීම් වස් බලයට ගෙනඒමද නොකළ යුතු කාරණා වේ. තවද අනවශ්‍ය ලෙස දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් ශක්තිමත් කර තැබීමත් අවශ්‍යම නොවන අතර උත්සාහයෙන් තම සේවය ඉටුකර ජාතියේ අභිවෘද්ධිය පිණිස නීති, ප්‍රතිපත්ති සම්මත කරවා ගැනීමට අවශ්‍ය ඉඩකඩ සපයා දීම ප්‍රමාණවත් වන්නේය. ඉහත අවස්ථාවන් හැම එකකදීම පාහේ තම ආවේග පාලනය කරගැනීමට ඡන්දදායකයා බුද්ධිමත් විය යුතුය. මන්ද ඔවුන් නිරන්තරයෙන් සංවිධානාත්මක පාලක කල්ලිවලට රැවටෙති. එසේම ඔවුන් දේශපාලනඥයන්ගේ විහිළු කතා අසන්නන් බවට පත් නොවීමටද වගබලා ගත යුතුය. මන්ද බොහෝ දේශපාලනඥයන් ජනතාවට විහිළු සපයන්නන් වන නිසාය. තවදුරටත් තමා පත්කර යවනු ලබන නියෝජිතයා තමාටත් තම පවුලේ අභිවෘද්ධියටත් කැපවෙන, පවුලේ හිතවතෙකුට වඩා අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් නීති සහ ප්‍රතිපත්ති තැනීමට වෙර දරන නායකයෙක් වීම අපේක්ෂා කරන පුරවැසියන් වීමට වගබලා ගත යුතුය.

මෙසේ අවශ්‍ය සුදුසුකම් පරීක්ෂා කර බලා නිසි ක්‍රියා පටිපාටියකට අනුකූලව තෝරාගනු ලබන දේශපාලන වෘත්තිකයන් අදාළ කාලසීමාව තුළ සක්‍රීයව වැඩෙහි යොදවා නිසි මොහොතේදී විශ්‍රාම ගැන්වීමේ ජාතික වගකීම ඡන්දදායකයාට අමතක වේ නම්, නැතහොත් බුද්ධිය වෙනවට හැඟීම් පෙරට ගෙන කටයුතු කරන තාක් අපිට ‘ගොහොරුවක පල්වීම’ යන වචන ආගන්තුක නොවනු ඇත. අප පත්කර යවනු ලබන නියෝජිතයන් වඩාත් යහපත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට වෙර දරනු තබා පාර්ලිමේන්තු සැසිවාරවලටවත් සහභාගි වනවාදැයි සොයා බැලිය යුතුය.

දේශපාලනය සාධාරණ වෘත්තියක් වනු පිණිස එහි නියැළෙන අයවලුන්ගේ වත්කම්, බැරකම් පරීක්ෂාකොට නිසි විමර්ශන පටිපාටියකට බඳුන් කොට ඔවුන් දූෂිත නම් සේවයෙන් පහ කිරීමට කටයුතු කළ යුතුය. මෙය බෙහෙවින් හාස්‍යජනක ප්‍රකාශයක් වීමට ඉඩ ඇත. මන්දයත් ඉතා පහළ සමාජ, ආර්ථික මට්ටම්වල සිට දේශපාලනයට පැමිණි අතිමහත් බහුතරයක් වූ දේශපාලනඥයන් අද ගණනය කළ නොහැකි තරම් සුවිසල් ධනස්කන්ධයන්ට හිමිකම් කියන්නෝ වෙති.

දේශපාලනය ශුද්ධ මහජන සේවයක් නොවූවත් අඩුම තරමේ යහපත් වෘත්තියක්වත් කරවීමට නම් පුරවැසි අපට ඇති වගකීම සුළුපටු නොවන බව දැන්වත් අප වටහාගත යුතුව ඇත. එම වැටහීම අප තුළ ඇති නොවන තාක්, අපිම පත්කර අපිම බණින, නැතහොත් ‘ඉල්ලාගෙන කන’ (අ)මනාපයක් බවට අපේ මනාපය පත්වනු ඇත.

•අමිලා ජයසිංහ



from රට තොට – Colombo Tribune https://ift.tt/39x1Jq5
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages