පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය කල් යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-13

පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය කල් යයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධායෙන් මෙරට ක්‍රීඩා සමාජ අතර, පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස අතරමඟ නවතා දැමූ මේ තරගාවලිය එම වසංගතයේ පාලනයත් සමඟ හෙට (14) යළිත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබුණේ එම වසංගතයෙන් පසු මෙරටදී පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙසිනි.

මේ වංසගතය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංශෝධනය කළ නව නීති රීති අනුව මේ තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබිණි. එහිදී පන්දුව පිරිමැදීම සඳහා ඛේටය භාවිතා නොකිරීම ඇතුළු ප්‍රධාන කරුණු 4ක් කෙරෙහි අවධානය යොමු වී තිබිණි.

‘සුපිරි 8’ සහ ‘පළඟ ශූරතා’ තරග මෙලෙස ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර, මේ වසංගතය හේතුවෙන් සියලු තරග තුන්දින තරග ලෙස පැවැත්වීමටද කටයුතු කර තිබිණි. මින් පෙර සුපිරි අට තරග සිව්දින තරග ලෙසත්, පළඟ ශූරතා වටයේ තරග තුන්දින ලෙස පැවැත්විණි.

එහෙත් ක්‍රිකට් ආයතනය විසින් මෙලෙස තරගාවලි ව්‍යුහය තුළ සිදු කරන ලද ඇතැම් සංශෝධන පිළිබඳ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා සාමාජිකයන්ගේ විශේෂ අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු හෙයින් තරගාවලිය සැලසුම් කළ පරිදී ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

එබැවින් මේ තරගාවලිය යළි ආරම්භ කිරීමේ දී තරගාවලියේ තරග නීති රීති සහ තරගාවලි ව්‍යුහයේ සිදු වන සංශෝධන පිළිබඳ සලකා බලා අදාළ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව එම විශේෂ මහා සභා රැස්වීමේ අනුමැතිය ලබා ගන්නා තෙක් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නැතිව කල් දැමීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත. විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට සති දෙකකට පෙර සියලු සාමාජිකයන් දැනුවත් කළ යුතු අතර, ඒ හේතුව නිසා මේ තරගාවලිය යළි ආරම්භ කිරීම ලබන මස පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව සිදු වනු ඇතැයි සඳහන් වෙයි.

‘ඒ’ සහ ‘බී’ ලෙස ශ්‍රේණි 2ක් යටතේ පැවැත්වෙන අන්තර් සමාජ තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ කණ්ඩායම් 14ක් ‘ඒ’ හා ‘බී’ ලෙස කාණ්ඩ 2කින් තරග වැදුණු අතර, එම කාණ්ඩ දෙකෙහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 බැගින් ‘සුපිරි 8’ වටයට සුදුසුකම් ලැබීය. සෙසු කණ්ඩායම් හය ‘පළඟ’ ශූරතාව සඳහා තරග වැදීමට නියමිතය.

තරගාවලිය අතරමඟ නවතා දමන විට මූලික වටයේ තරග නිමාවට පත් වී තිබිණි. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සී.සී.සී ක්‍රීඩා සමාජය සමත්ව සිටි අතර, කෝල්ට්ස්, යුද හමුදාව සහ බී.ආර්.සී ක්‍රීඩා සමාජ සුපිරි අට වටයට එක්විය. ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් හලාවත මේරියන්ස් සමඟින් එන්.සී.සී., සැරසන්ස් සහ රාගම ක්‍රීඩා සමාජද සුපිරි අට වටයට එක්ව සිටින අතර, මීගමුව, එස්.එස්.සී, මුවර්ස්, ද්‍රවිඩ සංගමය, බදුරලිය සහ ලන්කන් ක්‍රීඩා සමාජ පළඟ ශූරතා වටයේ තරග වැදීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages