මෑත ඉතිහාසයේ පළමු වරට සභාපති පුටුවට ද්වන්ද සටනක්? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-13

මෑත ඉතිහාසයේ පළමු වරට සභාපති පුටුවට ද්වන්ද සටනක්?

Author(s): 
ෆවුස් මොහොමඩ්

මෑත ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපතිධුරය සඳහා ද්වන්ද සටනක පසුබිම නිර්මාණය කරමින් වත්මන් සභාපති ලසිත ගුණරත්න සහ නියෝජ්‍ය සභාපති රිස්ලි ඉල්යාස් මහත්වරුන් මෙවර නිලවරණයේදී සභාපතිධුරයට නාම යෝජනා බාරදෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

තමා සභාපතිධුරයට තරග වදින බව රග්බි ආයතනයේ නියෝජ්‍ය සභාපති රිස්ලි ඉල්යාස් මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, ලසිත ගුණරත්න මහතා සිය තීරණය අනිද්දා (15) විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කරනු ඇත. මෙවර නිලවරණයට තමා ඉදිරිපත් නොවන බව ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය වූවත් එය ප්‍රතික්ෂේප කරමින් ලසිත ගුණරත්න මහතා ඊයේ ‘දිනමිණ’ට ප්‍රකාශ කළේ මෙතෙක් එවැනි තීරණයකට එළැඹ නැති බවය. බදාදා (15) පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සිය තීරණය දැනුම් දෙන බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ඔහු සිය දෙවැනි ධුර කාලය සඳහා නාම යෝජනා බාර දීමට කටයුතු සූදානම් කරමින් සිටින බව රග්බි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට ක්‍රීඩා සංගම් අතරින් සටනකින් තොර නිලවරණයක් පැවැත්වෙන ක්‍රීඩා සංගමයක් ලෙස ප්‍රකට රග්බි ආයතනයේ මෙවර නිලවරණයට වත්මන් සභාපති ලසිත ගුණරත්න මහතා ඉදිරිපත් වන්නේ නම් එය මෑත ඉතිහාසයේ රග්බි සභාපතිධුරයට ඡන්ද විමසීමක් පැවැත්වෙන පළමු අවස්ථාව බවට පත් වනු ඇත.

වසර 2007 පැවැති නිලවරණයේදී එවැනි අවස්ථාවක් නිර්මාණය වූ අතර, හිටපු කීර්තිමත් පොලිස් නිලධාරියකු වන නිමල් ලෙව්කේ සහ හිටපු රග්බි ක්‍රීඩකයකු හා පරිපාලකයකු වූ මයිකල් ජයසේකර මහත්වරු නාම යෝජනා බාරදී තිබිණි. එහෙත් අවසන් මොහොතේ මයිකල් ජයසේකර මහතා සිය නාම යෝජනාව ඉවත් කර ගැනීම නිසා ලෙව්කේ මහතා නිතරගයෙන් රග්බි මුල් පුටුවට පත් විය.

ඉන් අනතුරුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා වාර දෙකක්ම (වසර 4ක්) නිතරගයෙන් රග්බි සභාපතිධුරයට පත් වූ අතර, අවසන් වරට අසංග සෙනෙවිරත්න මහතා ද වාර දෙකක් නිතරගයෙන් එම තනතුරෙහි කටයුතු කළේය.

ඉන් පසු නිතරගයෙන් සභාපතිධුරයට පත්ව සිය පළමු ධුර කාලය නිමා කරමින් සිටින වත්මන් සභාපති ලසිත ගුණරත්න මහතා මෙවර දෙවැනි වරටත් සභාපති පුටුවට නාම යෝජනා බාරදීමට තීරණය කරන්නේ නම් මෙවර රග්බි නිලවරණය රග්බි ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීමක් වනු ඇත.

මෙවර නිලවරණයේදී සභාපතිධුරයේ සටන පිළිබඳ රග්බි විධායක කමිටු රැස්වීම්වලදී ද උණුසුම් මාතෘකාවක් වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නියෝජ්‍ය සභාපතිවරයාට එරෙහිව මුල් පුටුවට තරග කිරීමට වත්මන් සභාපතිවරයා තීරණය කරන්නේ නම් එය මෑත ඉතිහාසයේ වඩාත් උණුසුම් රග්බි නිලවරණය ද වනු නොඅනුමානය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages