යහපාලන ආණ්ඩුව ‘දිවි නැඟුම’ නමටත් බයෙන් වැඩ කරලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

යහපාලන ආණ්ඩුව ‘දිවි නැඟුම’ නමටත් බයෙන් වැඩ කරලා

Author(s): 
රෝෂන් තුෂාර

දිවි නැඟුම ‘සමෘද්ධි’ කර නම වෙනස් කළත් පනත අහෝසි කළේ නෑ 
- දිවි නැඟුම - සමෘද්ධි අධිකාරිවල හිටපු අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි

යහපාලන ආණ්ඩුව “දිවි නැඟුම” නාමයට පවා බියෙන් කටයුතු කර ඇතැයි දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කොමිසම ‍ඊයේ (27) සඳහන් කළේය.

යහපාලන රජය පත් වූ පසුව ‘දිවි නැඟුම’ නාමය වෙනුවට ‘සමෘද්ධි’ යන නම ආදේශ කර කටයුතු කළ ද දිවි නැඟුම පනත අහෝසි කිරීමට කටයුතු නොකළ බවට දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ හා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි මහතා සාක්ෂි ලබාදීමෙන් පසුව කොමිසමේ විනිසුරු චන්ද්‍ර ජයතිලක මහතා එසේ පැවසීය.

දිවි නැඟුම දෙපාර්තමේන්තුව සිය තනතුර අත්හිටුවමින් අසත්‍ය සාක්ෂි මත නඩු පවරා දේශපාලන පළිගැනීමක් කළ බවට තිලකසිරි මහතා ගොනු කළ පැමිණිල්ලේ සාක්ෂි දෙමින් එසේ පැවසීය.

කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විමසීය.

සමෘද්ධි අධ්‍යක්ෂ තිලකසිරි මහතා මෙසේද පැවසීය.

2015 ජනවාරි 08 දිනෙන් පසුව දිවි නැඟුම දෙපාර්තමේන්තුව කෙරෙහි ද්වේශ සහගතව කටයුතු කරන බව අපට හැඟී ගියා. එම තොරතුරු මාධ්‍යවල පළවුණා.

සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය වැඩ බලන අධ්‍යක්ෂ ධුරයේ ඒ වන විට මම කටයුතු කළා. 2015 පෙබරවාරි මාසයේ දී මගෙන් විවිධ තොරතුරු ඉල්ලා සිටියා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අපිව කැ‍ඳෙව්වා. රාජ්‍ය සේවකයින් ලෙස අපිව පීඩාවට පත් කළා. කරුණ මොකක්ද කියලා දන්නේ නැතිව හය හත් වතාවක් ‍ෙපාලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අපිව කැ‍ඳෙව්වා.

මේ සම්බන්ධව පැමිණිල්ල දිවි නැඟුම හිටපු අධ්‍යක්ෂ හේවාහැටගේ සුමනපාල මහතා කර තිබුණා. දූෂණ මර්ධන ඒකකය මගින් මෙම පැමිණිල්ල එෆ්.සී.අයි.ඩි යට කළා කියලා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී දැන ගත්තා.

2015 ජනවාරි 21 දින යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් මෙම දූෂණ මර්ධන ඒකකය පිහිටුවා තිබුණා.

එම ඒකකයේ දූෂණ විරෝධී කමිටු පිහිටුවා තිබෙනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා දේශපාලනඥයින් එහි සාමාජිකයින් ලෙස ක්‍රියා කරනවා. දේශපාලනඥයින් නොවන පුද්ගලයින් ද මේ කමිටුවල ඉන්නවා. අරලියගහ මන්දිරයේ පිහිට වූ දූෂණ විරෝධී ඒකකයේ පොලිසියට අදාළ අනු කමිටුවේ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් සාමාජිකත්වය දරනවා.

2015 පෙබරවාරි මාස‍යේදී මගේ තනතුර අත්හිටුවීමට කටයුතු කළා. ඒ අනුව රජයේ සේවයෙන් මාව පහ කරනු ලැබුවා.

මම වසර 20 ක සේවයක් හිමි රාජ්‍ය සේවකයෙක්. එක් ලිපියක් මගින් රාජ්‍ය සේවකයකුගේ සේවය අවසන් කළ නොහැකියි. විනය පරීක්ෂණයක් හෝ නැතුව අපිව සේවයෙන් පහ කළා.

කොමිසම :- දිවි නැඟුම දෙපාර්තමේන්තුව පනතකින් නේද ආරම්භ කළේ

සාක්ෂිකරු :- 2013 දිවිනැගුම පනත මගින් මෙය පිහිටුවා තිබෙනවා.

කොමිසම :- මෙය රාජ්‍ය දෙපාර්තමේන්තුවක් නේද? ආයතන සංග්‍රහය අනුව ක්‍රියා කළ යුතු නේද?

සාක්ෂිකරු :- ආයතන සංග්‍රහය අනුව කිසිම දැනුම්දීමක් අපගේ සේවය අවසන් කළ ලිපියේ නැහැ.

කොමිසම :- කැබිනට් පත්‍රිකාව අනුව විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තියෙනවා නේද?

සාක්ෂිකරු :- පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා තිබෙනවා. යම් යම් අරමුණු ඉටුකර ගන්න මේ ඒකකය පිහිටුවා තිබෙනවා කියලා අපට හැඟී ගියා.

කොමිසම:- සේවය ඉවත් කිරීමේ ලිපියක් අමාත්‍යංශ ලේකම්වරයකුට යවන්න පුළුවන්ද?

සාක්ෂිකරු :- රාජ්‍ය සේවා කොමිසම හරහා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.

කොමිසම :- සේවය අවසන් කළේ අධ්‍යක්ෂවරුන්ගේ පමණයි නේද?

සාක්ෂිකරු :- නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ ගැන විමසා තිබෙනවා. නමුත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

කොමිසම:- කවුද ප්‍රතිචාර දක්වලා නැත්තේ

සාක්ෂිකරු :- ඒ අවදියේ පාලනාධිකාරිය අපේ තනතුරු අහිමි කළේ දින හතරක් වැනි කෙටි කාලයකින්. අපට කාලය නොදී , චෝදනා පත්‍රයක් නොමැතිව, පරීක්ෂණයක් නොමැතිව අපගේ සේවය අවසන් කළා.

මේ පිළිබඳව මා සමෘද්ධි අමාත්‍යාංශ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කළා.

කොමිසම :- එම ලේකම්වරයා දැන් කොහේද සේවය කරන්නේ

සාක්ෂිකරු :- දැන් විශ්‍රාම ගිහිල්ලා

කොමිසම :- එතුමාගේ ලිපිනය කොමිසමට ඉදිරිපත් කරන්න

කොමිසම :- මේ තනතුරු ද ඉවත් කළේ, නැත්නම් පුද්ගලයින්ද?

සාක්ෂිකරු :- මාව ඉවත් කරලා මගේ තනතුරට වෙනත් අයෙක් පත් කළා.

කොමිසම :- තමන්ට වූ අසාධාරණය තමන් දැක්කද?

සාක්ෂිකරු:- මාව ඉවත් කරලා මගෙත් එක්ක වැඩ කරපු අයට තනතුරු දුන්නා.

කොමිසම :- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන ලෙස සැලකීම කඩ කරලා නේද? ඇයි මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මේ නැත්තේ. තමුන්ට මෙහේ එන්නේ නැතුව ඒ වෙලාවෙම රැකියාව ගන්න තිබුණා.

සාක්ෂිකරු :- මානව හිමිකම් කොමිසමේ නඩු දැම්මා.

කොමිසම :- දිවි නැඟුම පනත අහෝසි කළාද? දිවි නැඟුම අධ්‍යක්ෂවරයාගේ සේවයෙන් අවසන් කළාද?

සාක්ෂිකරු :- අධ්‍යක්ෂ තනතුර අහෝසි කළා. නැවත ලබා දුන්නා. පනත අහෝසි වුණේ නැහැ. නම ‍ෙවනස් කළා.

කොමිසම :- යහපාලන ආණ්ඩුව ‘දිවි නැඟුම’ කියන වචනයටත් කැමති වෙලා නැහැ.

සාක්ෂිකරු :- ‘සමෘද්ධි’කියලා නම පමණක් වෙනස් කළා. පනත ක්‍රියාත්මක වෙනවා 2015 අප්‍රේල් 23 දින අපිව අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගැනීමේදී අපිට චෝදනාව පැහැදිලි කළා. නමුත් ඔවුන්ට වුවමනා වුණේ විෂය බාර ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ නම මේ චෝදනාවලට ඈඳන්නයි. මම අණපනත් සඳහන් කරමින් ප්‍රකාශ ලබාදෙන්න උත්සාහ කළත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාස විමර්ශන නිලධාරින් ඒ ගැන සටහන් තැබුවේ නැහැ. අසාගෙන සිටියා පමණයි. විමර්ශන නිලධාරින් ඔවුන් සටහන් කරගෙන තිබූ ප්‍රශ්න ඉදිරිපත් කර එයට කට උත්තර දෙන්න කියලා කිව්වා පමණයි. මම නීතිඥවරයෙක්. එම නිසා මම එම ප්‍රකාශවලට එකඟව කටඋත්තරවලට අස්සන් තැබුවේ නැහැ.

කොමිසම :- තමුන්ට නිර්දෝෂිභාවයට කරුණු කියන්න දුන්නේ නැද්ද?

සාක්ෂිකරු:- නැහැ ස්වාමිනි ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් මම අත්සන් කළේ මගේ කට උත්තරවලට පමණයි.

පසුව මාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඇප ලැබුණේ නැහැ. දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගතවුණා.

දූෂණ විරෝධි කමිටු කාර්යාලයේ නම් කර තිබූ තුසිත් මුදලිගේ රජයේ නීතිඥවරයා මෙම නඩු වෙනුවෙන් පෙනී සිටියා.

වැඩිදුර විභාගය සැප්. 11 දිනට කල් තැබිණි.-

No comments:

Post a Comment

Post Bottom Ad

Pages