රණවිරු දෑතින් ‘සඳහිරු සෑය’ යළි ඉදි වේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

රණවිරු දෑතින් ‘සඳහිරු සෑය’ යළි ඉදි වේ

ත්‍රිවිධ හමුදාවේ ශක්තියෙන් ඓතිහාසික අනුරාධපුර පුදබිමේ ඉදිවන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ගර්භය දක්වා අවසන් කර ඇත. මේ වන විට හතරැස් කොටුවට අවශ්‍ය පාදම ඉදිකරමින් පවතී. ඉන් අනතුරුව දේවතාකොටුව සකස් කිරීම ආරම්භ කරන බව සඳහිරු සෑය ව්‍යාපෘති සම්බන්ධිකරණ නිලධාරී සහ ව්‍යාපෘතියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් මොහාන් කුමාර මහතා සඳහන් කළේය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල කුණ්ඩසාලේ නත්තරම්පොත ප්‍රදේශයේ ඉදිකර අවසන්කර තිබෙන අතර එහි රන් ආලේප කිරීම ඇතුළු වැඩ කොටස් කිහිපයක් පමණක් මේ වන විට ඉතිරිව ඇත. චූඩා මාණික්‍ය සමග මෙම කොත් වහන්සේගේ සම්පූර්ණ උස අඩි 20යි අඟල් 01කි.

කොව්ඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ සිවිල් ජනතාව සහභාගීවන ශ්‍රමදාන කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇත. ඒ සඳහා ශ්‍රමයෙන් දායකත්වය සැපයීමට බලාපොරොත්තු වන පින්වතුන් 0773528677 අංකයෙන් ලුතිනන් කර්නල් මොහාන් කුමාර මහතා අමතා දිනයක් වේලාවක් ලබාගන්නා ලෙස ඒ මහතා ඉල්ලීමක් කරයි. කලින් දිනයක් හා වේලාවක් ලබා ගැනීම ශ්‍රමදාන සඳහා පැමිණෙන පින්වතුන්ට පහසුවක් මෙන්ම එම වැඩසටහන් කළමනාකරණය කර ගැනීමට පහසුවක් වන බවද ඔහු සඳහන් කරයි. කොටි ත්‍රස්ත්‍රවාදයෙන් මාතෘ භූමිය මුලුමනින්ම නිදහස්කර ගැනිමේ සටනට උරදුන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආරක්ෂක හමුදා විරුවන් සිහි කිරීම හා ඔවුන්ට උපහාරයක් වශයෙන් මෙම මහා චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදි කිරීමේ මූලික අරමුණ වී ඇත.

2010 නොවැම්බර් 23 දින සඳහිරු සෑය ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර මුළුමනින්ම ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණය උපයෝගී කරගනිමින් ගොඩනඟන මේ මහා චෛත්‍යය කර්මාන්තය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 09වැනි ඉංජිනේරුසේවා රෙජිමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේද උපදේශකත්වය ලබාදෙයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ පුර්ණ මඟ පෙන්වීම යටතේ සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ විරෝදාර ආරක්ෂක හමුදාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මේ වන විට මෙම දාගැබේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතී.

සඳහිරු සෑය ව්‍යාපෘතිය භාර නිලධාරී ලෙස 212 බල සේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් අනිල් පීරිස් මහතා කටයුතු කරන අතර, සඳහිරු සෑය චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු 2021 මැද භාගය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

 

රත්නසිරි පතිරණ සහ රක්ෂණ ශ්‍රියන්ත

No comments:

Post a Comment

Post Bottom Ad

Pages