අධ්‍යාපනයේ නිපුණතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සහාය ලබාගන්නවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

අධ්‍යාපනයේ නිපුණතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සහාය ලබාගන්නවා

 අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස්

අධ්‍යාපන පද්ධතියේ නිපුණතා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරිකා හැනා සිංගර් (Hanna Singer) මහත්මිය ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගිය දා (26) පැවැත්විණි.

මෙරට වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් පවත්නා ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමේ හදිසි අවශ්‍යතාව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. වෘත්තීය පුහුණු ආයතනවලට පිවිසීමේ මාර්ග සහ හැකියාවන් ශක්තිමත් කිරීමටත්, විවිධාංගීකරණය වූ කර්මාන්ත පදනමක් ඇති කිරීමටත් අමාත්‍යාංශය දැඩි සැලසුම්කරණයක යෙදී සිටින බව ද පැවසූ ඇමැතිවරයා, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය සහ කාර්මික හා අධ්‍යාපන පුහුණු දෙපාර්තමේන්තුව එවැනි ආයතන සඳහා නිදසුන් ලෙස පෙන්වා දුන්නේය.

දැනට සෑම පළාතක් ම නියෝජනය කරමින් ක්‍රියාත්මක ව පවත්නා තාක්‍ෂණ විද්‍යාල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද, යුනිවොටෙක් (UNIVOTEC)ඒ අතර ප්‍රමුඛ වන බව ද ඇමැතිවරයා පැවසීය. සාමාන්‍ය, උසස්, තෘතීයික, තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්‍රම අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ප්‍රධාන අභියෝගය බවත්, මෙම අංශයන්හි පුහුණුකරුවන් පුහුණු කිරීම සහ කුසලතා සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය පළ කිරීමට සූදානම් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෝෂණය සහ ඒ ආශ්‍රිත කරුණු සඳහා යුනිසෙෆ් ආයතනයට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. ඉදිරි මාස තුන ඇතුළත ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අරමුණින් අමාත්‍යාංශ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡා අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ද මෙහි දී තීරණය විය.

අ.පො.ස උසස් පෙළ සමත්වී උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබුව ද රාජ්‍ය විශ්වවිද්‍යාලවලට තවමත් ඇතුළු වන්නේ 30,000කට ආසන්න පිරිසක් වීම, පවතින පාඨමාලා සහ රැකියා වෙළෙඳ පොළ අතර සම්බන්ධයක් නොමැති වීම, සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තෘතීයික අධ්‍යාපනය මෙන් ම වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍ර අතර සම්බන්ධතා පුළුල් කිරීම, විශ්වවිද්‍යාල පාඨමාලා නවීකරණය නොවීම, පුහුණු කරවන්නන් පුහුණු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම ආදී ගැටලු සම්බන්ධයෙන් ද මෙහි දී ඇමැතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අතිරේක ලේකම් (සංවර්ධන) තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) ජී.එම්.ආර්.ඩී අපොන්සු මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages