ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කරන්නේ නෑ! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කරන්නේ නෑ!

අද වනවිට මෙරට බන්ධනාගාර පද්ධතිය මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත්ව ඇත. පසුගියදා බන්ධනාගාරය තුළදී රැඳවූවන් කිහිප දෙනකු සිය දිවි නසාගත්තේ මත්ද්‍රව්‍ය නොලැබුණු නිසාය. 250%ක අතිරික්ක රැඳවූවන් බන්ධනාගාර පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් තුළ මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරැදිකරුවන් වන්නන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකස් කර ඇත. ඒ පිළිබඳව බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බණ්ඩාර සමග කළ සංවාදයයි මේ.

මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා වැරැදිකරුවන් වී බන්ධනාගාරගත වන අය බන්ධනාගාරයෙන් පිටව නැවත සමාජගත වෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ විශේෂඥයෙක් ලෙසිනි. ඊට පසුබිම්වී ඇති පදනම කුමක්ද?

ඔව්, ඒක ඇත්ත. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයෙක් ළඟ මිලිග්‍රෑම් 1ක් හෙරොයින් තිබුණත් දැන් තියෙන ක්‍රමවේදයට අනුව වෙන්නෙ බන්ධනාගාරගත කරන එක. ඒ දාන්නේ 54 වැනි වගන්තිය යටතෙ. ඊට ලැබෙන දඬුවමට අදාළ පුද්ගලය අවුරුදු දෙකක් බන්ධනාගාරගත කරනව. ඒ වගේම ඔහුට බන්ධනාගාරයෙ ඉන්න වෙන්නෙ මීට පෙර දරුණු අපරාධ කළ අයත් එක්ක.

අපේ නව වැඩපිළිවෙළ යටතේ මත්ද්‍රව්‍ය භාවිතා කර, පොලිසියෙන් අත්අඩංගුවට ගන්න කෙනෙක්ව කෙළින්ම උසාවියට ඉදිරිපත් කරන්නෙ නැතිව රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට ඉදිරිපත් කරනව. එතනදි Test script මගින් ඒ අයව පරීක්ෂා කරල, යම්කිසි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරල තියෙනවද , ඒ කිනම් ප්‍රමාණයකින්ද කියන වාර්තාව ලබාගන්නව. ඊට පස්සෙ අපි පොලිසිය, අධිකරණ සේවා කොමිෂන් සභාව එක්ක සාකච්ඡා කරල, ඒ හරහා අධිකරණය දැනුවත් කරල තියෙනව එවැනි අයව කෙළින්ම 54 වැනි වගන්තිය යටතේ බන්ධනාගාරගත නොකර, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවලට ඇතුළත් කරන්න කියල. එතනදි ඔවුන්ට පළමු මාස දෙක තුන තුළ මත්ද්‍රව්‍ය අබ්බැහියෙන් මිදෙන්න බෙහෙත් දෙනව. ඊළඟ මාසය නවයේ ඔවුන්ට යම්කිසි වෘත්තීය පුහුණුවක් ලබාදෙනව. අවුරුද්දකට පස්සෙ එවැනි පුද්ගලයන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් එළියට එන්නේ වෘත්තීය හැකියාවක් එක්ක. යම්කිසි ආදායම් මාර්ගයක් උපදවා ගැනීමට ශක්තියක් ඇති පුද්ගලයෙක් විදිහට.

හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී එක් අවුරුද්දකට දහදාහක්, පහළොස්දාහක් විතර බන්ධනාගාරගත වෙනව. හැබැයි මේ පුද්ගලයන් ගැන පරීක්ෂා කිරීමේදී පැහැදිලි වුණ දෙයක් තමයි එකම පුද්ගලයා එකම අවුරුද්දේ කිහිප වතාවක් බන්ධනාගාරගත වී තිබීම. උදාහරණයකට ජාඇල සුදුවැල්ලෙන් හෙරොයින් අරගෙන අහුවෙලා බන්ධනාගාරගත වෙල නිදහස් වුණ පුද්ගලය නැවත කොළඹිනුත් අහුවෙලා බන්ධනාගාරගත වෙනව. නමුත් අපේ මේ නව වැඩපිළිවෙළින් එම පුද්ගලය අවුරුද්දක කාලයක් පුනරුත්ථාපනය වෙන නිසා ඒ කාලසීමාවේ ඔහු සමාජයට එන්නෙ නෑ. ඉන් සමාජයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ප්‍රමාණය අඩුවෙනව. එතනදි බන්ධනාගාරයෙදි වගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කප්පම්කරුවන්, හොරුන්, පාතාල සාමාජිකයන් ඇසුරුකරන්න ලැබෙන්නෙ නෑ.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බිමේ සූදානම කෙබඳුද?

සේනපුර, කන්දකාඩු වගේ යුද හමුදාවෙන් පාලනය කරන තැන්වල දැනට පුනරුත්ථාපන මධ්‍යස්ථාන තියෙනව. බන්ධනාගාර දෙපාර්තමේතුවෙන් වීරවිල ඒ සඳහා තැනක් සූදානම් කරමින් තියෙනව. අන්තරාදායක ඖෂධ පාලන අධිකාරිය නිට්ටඹුවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සූදානම් කර තියෙනව. එතන අක්කර දහසක භූමි ප්‍රමාණයක් තියෙනව. බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ එළිමහන් සිර කඳවුරු තියෙනව.

අනෙක ප්‍රජා විශෝධන කොමසාරිස් ජනරාල් කාර්යාලය ක්‍රියාත්මක කරන වැඩසටහන් තියෙනව. පළමු වතාවට මත්ද්‍රව්‍ය භාවිත කරල අත්අඩංගුවට ගන්න පුද්ගලයෙක්ව ඒ සඳහා නැඹුරුවී තියෙන්නෙ වැරැදි ඇසුර, නොදැනුවත්කම නිසා වැනි කරුණු නිසා. එවැනි අයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදී, උපදේශනයන්ට යොමුකරල ප්‍රජා විශෝධන නිලධාරීන් මාර්ගයෙන් ඔවුන්ගේ නිවසේදීම පුනරුත්ථාපනයට කටයුතු කරනව. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඔවුන්ව වෘත්තීය පුහුණුවක් සඳහා යොමු කරනව. අවසානයේදී ඔවුන් පුහුණු වූ වෘත්තීය කරගෙන යෑමට අවශ්‍ය කරන උපකරණ ලබාගැනීමට රජය මගින් ආධාර කරනව. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලිසිය ඒකාබද්ධ කරගෙන මෙවැනි පුද්ගලයන් නැවත මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙනවද කියන ඒකත් අවුරුද්දක් දෙකක් වැනි කාලයක් නිරීක්ෂණය කරනව. මත්ද්‍රව්‍ය නිසා අත්අඩංගුවට පත්වන පිරිසෙන් 50%ක වගේ කොටසක් මේ ක්‍රියාවලියට යොමුකළ හැකියි.

අවුරුදු දහයක් පහළොවක් වැනි දීර්ඝකාලයක් තිස්සේ හෙරොයින් පාවිච්චි කරන අයකුට මේ ක්‍රමවේදය ගැළපෙන්නෙ නෑ. ඔවුන්ව තමයි පුනරුත්ථාපන කඳවුරුවලට යොමු කරන්නේ. ඒවායේදි දැඩි ආරක්ෂාවක්, යටතේ තමයි පුනරුත්ථාපනය කරන්නෙ.

මේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව තියෙනවද?

දැනට බන්ධනාගාරවල පුනරුත්ථාපන නිලධාරීන් කියල පිරිසක් ඉන්නව. පසුගිය සමයේ අලුතින් කිසිදු පුනරුත්ථාපන නිලධාරියෙක් බඳවා ගැනීමට කටයුතු කර නෑ. පසුගිය පාලන සමයේ කිසිදු අනාගතවාදී දැක්මකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක නව රජය යන ගමනේ මාස හයක කෙටිකාලීන සැලසුම් , මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් මේ සම්බන්ධයෙන් තියෙනව. මත්ද්‍රව්‍ය නැතිකරල, බන්ධනාගාරවල තදබදය අඩුකිරීම වැනි දේවල් දීර්ඝ කාලීන සැලසුමේ තියෙන දේවල්.

බන්ධනාගාරය තුළ සිටින මත්ද්‍රව්‍ය භාවිත කරන රැඳවූවන්, බන්ධනාගාර තුළ තියෙන මානසික සෞඛ්‍ය සායනවලට යොමුකරල, ඖෂධ ලබාදීමට සිදුකළත් ඔවුන් පුනරුත්ථාපනයක් වෙන්නෙ නෑ. මොකද ඔවුන් ආපසු යන්නෙ අර පරණ සිරමැදිරියටමයි. එතන ඉන්නෙ හෙරොයින්, ගංජාවලට ඇබ්බැහිවූවන් නිසා ඒ කරන කිසි දෙයක් ඵලදායී වෙන්නෙ නෑ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ලංකාවෙ පාසල්වල වෛද්‍ය සායන පවත්වනව. ලංකාව පුරාම වෙන මේ ක්‍රියාවලිය හරහා පුළුවන් අපේ අලුත් පරම්පරාව නැත්නම් ළමයින් දැනුවත් කරන්න මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සිටීමට. ඒ මගින් ඉදිරියේදි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමට තියෙන ප්‍රවණතාව අඩුවෙනව. ඒ වගේව ජනාධිපතිවරයාගේ අපරාධ වැළැක්වීමේ වැඩපිළිවෙළ යටතේ පාසල් අසල මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර තියෙනව.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක්ට ස්වයංවම ඉන් මිදීමට අවශ්‍යතාවක් තියෙනවා නම්, ඒ සඳහා අවශ්‍ය උපදේශන සේවාවක් සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය කෙබඳුද?

ඔව්, එවැනි සේවාවක් අත්‍යවශ්‍යයි. එවැනි උපදේශයක් ලබාගැනීමට පුද්ගලයෙක්ට අවශ්‍ය වුණත් ඒ සඳහා ක්‍රමවේදයක් තාම නෑ. මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ අයෙක් රෝහල්වල ක්‍රියාත්මක සාමාන්‍ය සායනවලට යෑමේ මැළිකමක් දක්වනව. ඒකට හේතුව ‘කුඩ්ඩෙක්’, ‘ගංජාකාරයෙක්’ කියල සමාජය තුළ හංවඩු ගැහෙන නිසා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනව නොමිලේ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක අංකයක් සහිත දුරකථන උපදේශන සේවාවක් ක්‍රියාත්මක කිරීමට. ඒක උපදේශන සේවාවකටම සීමාවෙන්නෙ නැතිව, අවශ්‍යතාව අනුව පුනරුත්ථාපනයට යොමු කිරීමටත් බලාපොරොත්තු වෙනව. එතනදි පෞද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි සියලු කටයුතු සිදුකෙරෙනව.

අපේ සමාජයේ බොහොම සුළු පිරිසක් තමයි හෙරොයින්වලට ඇබ්බැහිවෙලා තියෙන්නෙ. නමුත් වෙලා තියෙන්නෙ අත්අඩංගුවට ගන්න එවැනි පුද්ගලයන් බන්ධනාගාරයෙන් මිදීල නැවත හෙරොයින් භාවිත කරල ආයෙත්මත් බන්ධනාගාර ගත වීමයි. එක රැඳවූවෙක් බන්ධනාගාරයක් තුළ දවසක් නඩත්තු කිරීමට රජයට රුපියල් 800ක වගේ මුදලක් වැයවෙනව. එක පුද්ගලයෙක් අවුරුදු ගාණක් බන්ධනාගාර ගත වෙලා හිටියොත් කෙතරම් මුදලක් ඔහු වෙනුවෙන් රජයට වැයවෙනවද? ඒ වියදම් කරලත්, නැවතත් ඒ පුද්ගලයා කුඩුකාරයෙක් වෙනව නම්, මොකක්ද ඒ වියදමේ ප්‍රතිඵලය. දැන් තියෙන ක්‍රමය අනුව ඒ වියදමේ කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒ යන වියදමින් රැඳවූවන් පුනරුත්ථාපනය කරල, ඒ පුද්ගලයත් ආදායම් උපද්දවන පුද්ගලයෙක් බවට පත්කළොත් ඒක ඔහුගේ පමණක් නෙමේ රටේ ආර්ථිකයටත් විශාල රුකුලක්. රැඳවූවන් වෙනුවෙන් කරන වියදම ආයෝජනයක් වෙනව.

බන්ධනාගාරය තුළ සිටින රැඳවූවන් හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන බවට පැවැසෙනව. මත්ද්‍රව්‍ය නැති නිසා පසුගිය දිනෙක රැඳවූවන් සිය දිවි නසාගත් බවටත් වාර්තා වුණා. බන්ධනාගාරය තුළත් එලෙස සිදුවීම ගැටලු සහගතයි. මෙවැනි දේ පිළිබඳ නව වැඩපිළිවෙළ යටතේ තියෙන අවධානය කෙබඳුද?

මත්ද්‍රව්‍ය භාවිත කර ඇති රැඳවූවන් හඳුනාගන්න ජෝරජ් ස්ටුවඩ් ආයතනයෙන් පරිත්‍යාග වශයෙන් උපකරණ දාහක් අපට ලබාදී තියෙනව. එතනදි අපි රැඳවූවන්ගෙ මුත්‍රා සාම්පල අරගෙන ඒවා පරීක්ෂණගාරවලට යවල භාවිත කර ඇති මත්ද්‍රව්‍ය හඳුනාගන්නව. ඒ විතරක් නෙමෙයි අදාළ පුද්ගලයා කෙතරම් කාලයක් තිස්සේ එම මත්ද්‍රව්‍ය භාවිත කරනවද කියල හොයාගන්නත් පුළුවන්. රැඳවූවන්ගෙ කෙළ සාම්පල මගිනුත් භාවිත කර ඇති මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ හැකියාව තියෙනව.

මේ ප්‍රශ්නය විශේෂයෙන්ම තියෙන්නෙ කොළඹ මැගසින්, වැලිකඩ, මහර, කළුතර, මීගමුව කියන බන්ධනාගාරවල. අපි බලාපොරොත්තු වෙනව මේ බන්ධනාගාරවල සතියකට වරක් සම්භාවි ලෙස පුද්ගල නියැදි අරගෙන, හෙරොයින් පාවිච්චි කරන අයව සොයාගන්න. එලෙස ලබාගත් නියැදි පොසිටිව් වෙනව නම්, ඒ කියන්නෙ කෙතරම් ආරක්ෂාකාරී විධිවිධාන තිබුණත් බන්ධනාගාරයට කුඩු එනව කියන එක. එහෙම මත්ද්‍රව්‍ය ශරීරගත වෙලා තියෙන පුද්ගලයන් ආරක්ෂක අංශවෙත භාරදීල බන්ධනාගාරයට හෙරොයින් එන්නෙ කොහෙන්ද කියල සොයාගන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී තව මාස දෙකක් තුනක් යද්දි බන්ධනාගාරවලට කුඩු එන එක සම්පූර්ණයෙන් නවත්වන්න පුළුවන් වෙයි.

රැඳවූවන්ගේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් විවිධ චෝදනා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එල්ල වෙනව…

සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම පොඩි හෝ බන්ධනාගාර රෝහලක් තියෙනව. ඒ හැම බන්ධනාගාරයකටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ඉන්නව. හෙද කාර්ය මණ්ඩලයක් ඉන්නව. ඖෂධ සංයෝජකයො ඉන්නව. බන්ධනාගාරවල මුළු රැඳවූවන්ගෙන් 40%ක් විතර ඉන්නෙ කොළඹ. එකෙ හැම සතියකටම වරක් මානසික සායනයක් පවත්වනව. අක්ෂි, හෘද, සමාජ රෝග සායන ආදී සියලු වෛද්‍ය සායන පවත්වනව. සිරගත වී ඉන්න ගර්භණී කාන්තාවක් ඉන්නවා නම් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදෙනව. ඊට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු පවා බාහිරෙන් එනව. ඒ වෛද්‍යවරු වැඩිදුරටත් යම් යම් සෞඛ්‍ය පහසුකම් නිර්දේශ කරනවා නම්, අදාළ රෝහල්වලට සිරකරුවන් යනව. එතනදි අපට යම් යම් ප්‍රායෝගික ගැටලුවලට මුහුණදීමට සිදුවෙනව.

ඒ මොනවාද?

එක රැඳවූවෙක් බාහිර රෝහලකට රැගෙන යාමේදී ඔහු සමග ආරක්ෂක නිලධාරීන් පස්දෙනෙක්වත් යන්න ඕන. දවසකට එවැනි රෝගීන් 30ක් රෝහල්වලට යවන්න වෙනවා නම්, නිලධාරීන් 150ක් අවශ්‍ය වෙනව. ඒක අපට දරාගන්න අමාරුයි. මොකද එවැනි මානව සම්පතක් අපට නෑ. ඒ වගේම නිලධාරීන් එක්ක යවන්න වාහන නෑ.

ඒනිසා ඉදිරියෙදි උත්සාහ කරනවා බන්ධනාගාර රෝහල්වල තියෙන පහසුකම් වැඩිදියුණු කිරීමට. බයිපාස් එකක්, වකුගඩු බද්ධ කිරීමක් වැනි බරපතළ ආකාරයේ ශල්‍යකර්ම හැරෙන්න ඉතුරු සියලු දේ බන්ධනාගාර ආශ්‍රිත රෝහල්වලින් කරගන්න පුළුවන් නම් ඒ අපහසුතා මගහරවා ගන්න පුළුවන් වෙනව. ඉන් ‘සිරකරුවෝද මනුෂ්‍යයෝ’ යන සංකල්පය යටතේ හොඳ සෞඛ්‍ය පහසුකමක් සපයන්න පුළුල්වෙනව. දැනටමත් අපි හොඳ සෞඛ්‍ය පහසුකම් ලබාදෙනව.

බන්ධනාගාර රෝහල් පිළිබඳ කතාවෙදි මතක් වෙන එක තමයි යම් වැරැද්දකට දේශපාලකයෙක් බන්ධනාගාරගත වෙද්දිම රෝගීවීම. ඔවුන් කෙළින් යන්නෙ බන්ධනාගාරයට නෙමෙයි, බන්ධනාගාර රෝහලට. මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ තියෙන්නෙ දැඩි විරෝධයක්. විවේචනයක්…

හැම බන්ධනාගාරයකම තියෙන රෝහල්වල ආයතන බාර නිලධාරියෙක් ඉන්නව. ඔහු තමයි බන්ධනාගාරගත වෙන හැම රැඳවූවෙක්ම පරීක්ෂා කරන්නෙ. දේශපාලකයන් පිළිබඳ ඔය තියෙන විවේචනය ගැන කිව්වොත්, බන්ධනාගාරගත වන බොහෝ දේශපාලනඥයෝ වයස අවුරුදු හැට ඉක්ම වූවන් හෝ ඒ වයසේ පසුවන්නන්. ඒ හැම කෙනෙක්ටම බෝ නොවන රෝග තියෙනව. දියවැඩියාව, හෘද රෝග කියන මොනම හෝ රෝගයක් තියෙනව. නමුත් ඒ දේශපාලනඥයා සාමාන්‍ය සමාජයේදී ඒ ලෙඩ තියෙන බව කියන්නෙ නෑ. පසුගිය රජය සමයෙ හිටපු ඇමැතිවරයෙක් බන්ධනාගාරගත කළාම ඔහුව දැම්මෙ බන්ධනාගාරයට. ඔහු හෘද සැත්කමකට භාජන වූ කෙනෙක්. එහෙම හෘද සැත්කම් කළ කිසිම කෙනෙක් කෙළින්ම බන්ධනාගාරයට දාන්නෙ නෑ. සාමාන්‍ය පුද්ගලයෙක්ම වුණත් එහෙම සැත්කමක් කරල තියෙනව නම්, බන්ධනාගාර රෝහලේ තමයි තියන්නෙ. ඒකයි ක්‍රමවේදය. කවුරුවත් විශේෂ නෑ.

අනෙක් කාරණය තමයි ජනතාව හිතනව බන්ධනාගාර රෝහල කියන්නෙ තරු පහේ හෝටලයක තියෙන පහසුකම් තියෙන තැනක් විදිහට. එහෙම නෑ. ඒකත් ලොකු තාප්පවලින් වටවුණු සිර කඳවුර ඇතුළෙ තියෙන කාමර වගේ ඇඳන් කීපයක් දාපු පොඩි තැනක්. බන්ධනාගාර මැදිරියකට වඩා වෙනස් වෙන්නෙ පරණ මෙට්ටත් එක්ක ඇඳන් තියෙනව. ඉන් එහා කිසිදු පහසුකමක් නෑ.

ඕනම කෙනෙක් බන්ධනාගාර බිත්ති හතරට කොටු වුණාම විශාල ආතතියකට පත්වෙනව. කොච්චර සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වුණත් බන්ධනාගාර වුණාට පස්සෙ මානසිකව පිරිහිලා සෞඛ්‍යමය වශයෙන් ඇදවැටෙනව. එවැනි අයට ප්‍රතිකාර අවශ්‍යයි. ජනතාවගේ මතය මොකක් වුණත් හැමදේම වෙන්නෙ ක්‍රමවේදයකට අනුවයි. සාමාන්‍ය ජනයා එහෙම හිතන්න තවත් හේතුවක් තමයි එහෙම බන්ධනාගාර රෝහලට යන දේශපාලනඥයන් ගැන පමණඛක් මාධ්‍යයේ සඳහන් කිරීම සහ සාමාන්‍ය පුද්ගලයන් කෙතරම් බන්ධනාගාර රෝහල්වලට ගියත් ඒවා මාධ්‍යයේ සඳහන් නොවීම. බන්ධනාගාර රෝහලකට ගිහින් බැලුවොත් ඒකෙ ඉන්න 200කින් දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි ඔය කියන දේශපාලනඥයන් හෝ යම් රජයේ නිලතල දැරුවෙක් ඉන්නෙ. අන් සියලු දෙනාම සාමාන්‍ය රැඳවූවන්.

•සංවාදය – ලක්මාල් බෝගහවත්ත

බන්ධනාගාර සෞඛ්‍ය සේවා

නියෝජ්‍ය අධ්‍යක්ෂ

වෛද්‍ය හේමන්ත බණ්ඩාර



from රට තොට – Colombo Tribune https://ift.tt/2EzZ6sg
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages