රජයේ සේවකයන්ට බැරි බැරියාව වැලඳෙන්න කලින් නායකත්ව පුහුණුවක් දීම! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-29

රජයේ සේවකයන්ට බැරි බැරියාව වැලඳෙන්න කලින් නායකත්ව පුහුණුවක් දීම!

උපාධිධාරීන් හැටඑක්දහසක් ලබන සැප්තැම්බර් මස 02 දා සිට රාජ්‍ය සේවයට එක්වීමට නියමිතය. මීට පෙර ද මේ ආකාරයට දස දහස් ගණන් උපාධිධාරීන් එකවර රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇතත් මෙවර බඳවා ගැනීමේ වෙනසක් තිබේ. මීට පෙර සිදු වූයේ ඍජුවම ඔවුන් සේවා ස්ථාන සඳහා අනුයුක්ත කිරීමය. එසේ වුවත් එලෙස බඳවාගත් බහුතරයකට නිශ්චිත රාජකාරී පැවරුමක් තිබුණේ නැත. මේ නිසා ඔවුන්ට ප්‍රාදේශීය කාර්යාලවල කාලය කා දමමින් රටට බරක් වී සිටින්නට සිදුව තිබිණ. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක උපාධිධාරී පත්වීම් ලැබූවන්ට ඉඳගන්නට පුටුවක්, මේසයක් පවා තිබුණේ නැත.

මේ නිසා මෙවර උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහනද එවැනිම, රටට බරක්වන නිශ්ඵල වැඩක් වනු ඇතැයි ඇතැමෙක් අනාවැකි පළ කළහ. නමුත් එම අනාවැකි බොරු බවක් දක්නට ඇත්තේ මෙවර බඳවා ගන්නා උපාධිධාරීන්ට නායකත්ව පුහුණුවක් ඇතුළුව මාස තුනක පුහුණුවක් ලබා දීමට තීරණය කර ඇති බැවිනි.

අපේ රාජ්‍ය සේවය සුද්දාගේ පාලන කාලයෙන් පසු හොඳක් ඇසුවේ නැති තරම්ය. රාජ්‍ය සේවයට එරෙහිව නැගෙන ප්‍රධාන චෝදනාව වන්නේ අකාර්යක්ෂමතාවයි. රාජ්‍ය සේවයේ ඇති කම්මැලි, කුසීත, අලස ස්වභාවය නිසා 1977 න් පසු පත් වූ ඇතැම් ආණ්ඩුවල උපක්‍රමය වූයේ රාජ්‍ය සේවය හැකි තරම් හකුළා දැමීමය. දස දහස් ගණනින් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ජනතා මුදල් කාබාසිනියා කරන දේශපාලන උප්පරවැට්ටියක් බවට ඇතැමුන් තර්ක කරන්නේ මේ නිසාය.

රස්සා දිය යුතු නිසා උපාධිධාරීන් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගතහොත් ඉදිරියටත් එම තත්ත්වය පවතිනු බවට සැකයක් නැත. අලුතෙන් රාජ්‍ය සේවයට එක්වන අයට ආදර්ශයට ගැනීමට ඇත්තේ දැනට තිබෙන රාජ්‍ය සේවයම නිසා ඔවුන්ටද අපේ රාජ්‍ය සේවයට ආවේණික බැරි බැරියාව වැලඳීම වැළැක්විය නොහැකි වනු ඇත. එසේම ඔවුන්ද රාජ්‍ය සේවය ඔටුන්නක් කර ගෙන සිටින නිලධාරිවාදය ඔවුන්ද පැලඳ ගන්නවාට නියතය.

අලුතෙන් රාජ්‍ය සේවයට එක්වන උපාධිධාරීන්ට සේවයට පෙර පුහුණුවක් ලබා දීමට තීරණය කර ඇත්තේ මේ නිසාය. එසේ වුවත් මෙම වැඩපිළිවෙළ ගැනද බොරු බිල්ලන් මවන අය සිටිති. ඒ අයට අනුව මෙම වැඩපිළිවෙළ නිසා රට හමුදාකරණයකට ලක්විය හැකිය. එසේ විය හැකිද යන්න තීන්දු කළ හැක්කේ මෙම පුහුණුවේ අන්තර්ගතය ගැන දැන ගැනීමෙනි.

යෝජිත පුහුණුවේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ නායකත්ව පුහුණුවටය. කළමනාකරණ පුහුණුවක්ද ලබා දෙනු ඇත. එපමණක් නොව පෞද්ගලික අංශය තුළ ක්ෂේත්‍රගත පුහුණුවක් ලබා දීමටද නියමිතය. සම්පූර්ණ පුහුණු කාලය මාස තුනකි. එහෙත් ඔවුන්ට ආයුධ පුහුණුවක් ලබාදෙන බවක් වාර්තා වී නැත. මීට පෙර සරසවි සිසුන්ටද මෙවැනි පුහුණුවක් ලබා දී තිබේ. එහෙත් ඒ පුහුණුව ලැබූ සිසුන් විශ්වවිද්‍යාල තුළ ‘හමුදා පාට්’ දැමූ බවක් හෝ රට අල්ලන්නට සූදානම් වූ බවක් වාර්තා වී නැත.

රජයේ රැකියා සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ට නායකත්ව පුහුණුවක් ලබා දීම වැදගත් වන්නේ ඇයි? රාජ්‍ය සේවයේ ඇති ප්‍රධානම දුර්වලතාවක් වන්නේ සෑම නිලධාරියකුම පාහේ අවශ්‍ය තැන අවශ්‍ය තීන්දු තීරණ නොගැනීමය. ඊට හේතුව ලෙස අප දකින්නේ රාජ්‍ය නිලධාරින් බොහෝ දෙනකු තුළ නායකත්ව ගුණාංග නැති කමය. නායකත්ව පුහුණුවක් තුළින් සෑම කෙනකුම නායකයකු, ප්‍රධානියකු කිරීමට අපේක්ෂා නොකළත් අවශ්‍ය තීරණ ගැනීමට පිරිසක් මෙහෙයවීමට ප්‍රශ්නයක් හඳුනාගැනීමට අවදානමක් ගැනීමට හැකිවීම වැනි නායකත්ව ගුණාංග හඳුන්වා දිය හැකිය. එසේම පිරිස් කළමනාකරණය මෙන්ම කාල කළමනාකරණයද රාජ්‍ය නිලධාරින්ට අත්‍යවශ්‍ය කුසලතාවන්ය.

අපේ රාජ්‍ය සේවයේ ඇති තවත් ප්‍රධානම දුර්වලතාවක් වන්නේ සන්නිවේදනයේ නොහැකියාවය. රජයේ ආයතනයකින් යම් සේවයක් ලබා ගැනීමට යන බොහෝ දෙනාට සිතෙන්නේ එම නිලධාරින් තමන් නොදන්නා හේතුවක් නිසා තමන් සමග අමනාපව සිටින බවය. මේ තත්ත්වය වෙනස් කර රාජ්‍ය ආයතන ජනතාවට ප්‍රිය මනාප සේවා ස්ථාන බවට පත්කිරීමටද මෙම පුහුණුව හේතුවනු ඇතැයි අපි කල්පනා කරමු.

රජයේ සේවකයන්ට පෞද්ගලික අංශය තුළ පුහුණුවක් ලබා දීමට පියවර ගෙන තිබෙන්නේ පළමුවරටය. රාජ්‍ය අංශය පෞද්ගලික අංශය දෙස පිටිතින් සිට බැලීමෙන් වුවත් බොහෝ දේ උගත හැකි යැයි අපි විශ්වාස කරමු. ලබන මාසයේ රාජ්‍ය සේවයට එක්වන උපාධිධාරීන්ට පෞද්ගලික අංශයට පිටතින් සිට නොව ඇතුළට ගොස්ම ඒ ගැන අධ්‍යයනයක් කිරීමට, අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ. එපමණක් නොව උදෑසනින් අවදි වීම වැනි පෞද්ගලික චර්යාව හැඩගස්වා ගැනීමට පවා මෙම පුහුණුවේදී උපාධිධාරීන්ට අවස්ථාව හිමිවනු ඇත.

ආණ්ඩුව මේ ආකාරයට නවක රජයේ සේවකයන්ට විධිමත් පුහුණුවක් ලබා දෙන්නට තීරණය කර ඇත්තේ ප්‍රශස්ත රාජ්‍ය සේවයක් බිහිකර ගැනීම සඳහාය. එවැනි රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ ජනතාවට උසස් සේවයක් ඉටුකිරීමටය. එසේ වුවත් රාජ්‍ය සේවකයන් උපරිම මහජන සේවයක් ඉටුකිරීමට බාධාකාරීවන මෙන්ම රාජ්‍ය නිලධාරින්ට අධිකාරී බලයක් ලැබෙන නීතිරීති අණපනත් කාලීනව සංශෝධනය කිරීම කෙරෙහිද ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බව සඳහන් කරන්නට කැමැත්තෙමු.

එසේ වුවහොත් සත්‍ය වශයෙන්ම උපරිම මහජන සේවාවක් සැලසෙන, ප්‍රශස්ත රාජ්‍ය සේවයක් බිහිකර ගැනීමටත් එය රටේ සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් බවට පත් කර ගැනීමටත් හැකිවනු ඇත.



from රට තොට – Colombo Tribune https://ift.tt/3gEOXHN
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages