අලුත් ආණ්ඩුව හමුවේ ඇති අභියෝග - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-08

අලුත් ආණ්ඩුව හමුවේ ඇති අභියෝග

8 අගෝස්තු, 2020

හ මැතිවරණයේ ජයග්‍රහණය මේ වන විට සටහන් වී හමාරය. පොදු ජන එක්සත් පෙරමුණෙහි ජයග්‍රහණයත් සමඟ ඉන් අනතුරුව තේරී පත්වන රාජ්‍ය මන්ත්‍රණ සභාව හෙවත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ නව වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයා හැකි පිරිසක් වීම අත්‍යවශ්‍යය. පුර්ව මැතිවරණ සමයෙන් පසුව පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂවලින් දුටු පොදු කාරණාව වන්නේ වසර හැත්තෑවක කාලයක සිට විශාල වශයෙන් සමාජ සංස්කෘතිකමය වශයෙන් සමස්ත පාලන රටාව අසාර්ථක බවය. මේ කාලපරාසයේදී යම් අවස්ථාවලදී ඇතැම් නායකත්වයන් යටතේ යම් යම් සාධනීය අවස්ථා ද දක්නට ලැබිණි. පොදුවේ ලාංකේය ජන සමාජයේ සියලු දේශපාලනික ක්‍රියාවලිය ඇතුළත අඩු වැඩි වශයෙන් එකඟත්වයට පැමිණිය යුතු කාරණාවක් තිබිණි. අසාර්ථක තැන් නිවැරදි කරගැනීමේ ක්‍රියාවලියේදී අභිනව පාර්ලිමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී ඇත. මේ සියලු දෙනා සතුව විශාල වගකීමක් ද ඇත. ඒ සඳහා නව දැක්මක් අවශ්‍යයි.

පාර්ලිමේන්තුවට වෘත්තිකයන් සහ බුද්ධිමතුන් අවශ්‍ය යන කාරණාව සහ රාජ්‍ය ගොඩනැඟීමට නම් එය මුල්කරගත් ආර්ථික සහ සමාජීය සංස්කෘතික නව ක්‍රියාවලියක් නිර්මාණය විය යුතුයි යන සංකල්පය නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ ගොඩනැඟුණු ප්‍රධාන සංවාදයකි. මේ සඳහා ප්‍රබුද්ධ කොටස්වල තීරණාත්මක සහයෝගය සහ මතවාදය ගුණාත්මක ආකාරයෙන් අවශ්‍යය යන කාරණාව ද නිරන්තර කතා බහට ලක්විය. මෙරට ආණ්ඩු පාලනය පසුගිය දශක කිහිපයක ගතවූ කාලයේ එකම ආකාරයට සිදු විය. මේ මඟ වෙනස් කළ යුතු වන්නේ කෙසේද කියන කාරණාව සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළ යුතුය. අභිනව පාර්ලිමේන්තුවේ ගමන් මඟ කුමක් විය යුතුද එහි ස්වභාවය කුමක් විය යුතුද කියන කාරණාව තීන්දු වන්නේ එක් එක් පුද්ගලයාගේ මනෝ මුලික කාරණාවලට එහා ගිය කාරණාවකිනි. විශේෂයෙන් වර්තමානය වන විට ගෝලීය වශයෙන් මනුස්ස වර්ගයාටම සිදුවෙමින් පවතින සමාජ පරිණාමයේ සමාජ සංස්කෘතික වර්ධනයේ යම් කිසි සංධිස්ථානයකට අද පැමිණ ඇත. එහි ඇති මුලික බරපතළ කාරණා වන්නේ එහි නව දිශානතීන්, ප්‍රවණතා සහ ගතික සැලැසුම් තේරුම් ගැනීමට අවශ්‍ය වීමයි. එමෙන්ම ආර්ථික වශයෙන් පසුගිය වසර හැත්තෑවක කාලයක් ඇතුළත රාජ්‍ය ගොඩනැඟීමේ ක්‍රියාවලියේ අප අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ සහ එහි ඇති තත්ත්ව සහ මේ මොහොත වන විට අපි පසුවන තත්ත්ව කුමක්ද යන කාරණා සම්බන්ධයෙන් නිවැරදි සහ විද්‍යාත්මක නිගමන සහ තක්සේරුවක් අවශ්‍යයි.

විශේෂයෙන්ම පසුගිය වසර හතළිහක කාලය පුරා කැපී පෙනෙන ආකාරයට මේ නව ආර්ථික මොඩලය වර්ධනය විය. සමස්ත වශයෙන් නව ලිබරල් වාදය ආර්ථික සහ දේශපාලනික සමාජ සහ සංස්කෘති වශයෙන් හඳුන්වා දීමට උත්සාහ කළ අතර රාජ්‍ය ව්‍යුහය දෙස මේ නව ප්‍රතිපත්තිය ඉතිහාසය තුළ කැපී පෙනෙන ආකාරයට වර්ධනය විය. නමුත් මේ ප්‍රතිපත්තිය ආර්ථිකය අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය සහ රාජ්‍ය ව්‍යුහය අපේ සමාජය තුළ ගොඩ නැඟී ඇති ආකාරය පසුගිය කාලය පුරා රාජ්‍ය යන්ත්‍රණයෙහි කාර්යක්ෂමව තිබුණාද යන කාරණාව පිළිබඳ සැලකිලිමත්විය යුතුය. එමෙන්ම ලාංකේය සමාජයේ විවිධ ජනකොටස් සහ කණ්ඩායම් නියෝජනය වන ආකාරයේ ජන කණ්ඩායම්වල මතවාදී සහ ප්‍රතිවාදී වැඩපිළිවෙළ සඳහා කොතෙක් දුරට එය ගොඩ නඟාගෙන ඇති ද කියන කාරණාව ද වැදගත් වේ. එමෙන් ම එය කෙතරම් දුරට සාර්ථක වන්නේද යන කරුණ සම්බන්ධයෙන් අප සැලකිලිමත් විය යුතුය. මේ පාලන තන්ත්‍ර පිළිබඳ උගතුන්, බුද්ධිමතුන් සහ සාමාන්‍ය ජනයා අතර කිසිදු පැහැදීමක්, සෑහිමක් නොතිබිණි. අභිනව ආණ්ඩුවට පරණ වැඩපිළිවෙළ ඒ අකාරයෙන්ම ඉදිරියට ගෙන නොයා යුතුය. ලංකා ඉතිහාසය පුරා එයට එම පාලන ක්‍රමවේදයන්ගේ නිශේධනීය සහ එම වැඩපිළිවෙළ අනුව අත්පත් කරගත් සාර්ථකත්වයක් නැති නිසාම සැලකිය යුතු ජනප්‍රියත්වයක් ජන ආකර්ෂණයක් හිමි නොවේ. එබැවින් පැරණි මොඩලයම නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ඉතා අසාර්ථක වන බව මගේ හැඟීමයි. ගෝලීය ලිබරල් ධනවාදි ආර්ථික යාන්ත්‍රණය බිඳ වැටෙමින් පැවැති අතර කොරෝනා වසංගතයක් සමඟ එහි අවසානය සඳහා ප්‍රවිෂ්ට විය. එම නිසා නැවත වරක් ඒ වැඩපිළිවෙළට පණ දීමට යෑම ජාතික සහ ගෝලීය වශයෙන් අසාර්ථක ප්‍රයත්නයකි. එබැවින් නව ආණ්ඩුවට පවතිනුයේ පෙර ආණ්ඩුවලට නොතිබූ ඉතා බාරදුර සහ අභියෝගාත්මක කාර්යභාරයකි. මින් පෙර පැවැති ආණ්ඩු සමාජ ආර්ථික මොඩලයට යම් යම් සංශෝධන ඇතුළත් කළ ද ඒ මොඩලය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කටයුතු කළහ. නමුත් එම ක්‍රමවේද තවදුරටත් කරගෙන යා නොහැකි සමාජ වටපිටාවක් අභිනව ආණ්ඩුව හමුවේ තිබේ.

මේ අභිනව ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය ව්‍යුහය සහ මෙරට සමාජ, සංස්කෘතිමය දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා යම් ප්‍රවිෂ්ටයක් ගැනීමේදි පසුගිය කාලය පුරා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තුලනාත්මක, විද්‍යාත්මක සහ ජාතික වශයෙන් කේන්ද්‍රගත වූ අධ්‍යයනයට යා යුතුයි. පැවැති ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කිරීම සහ එහි සාධනීය ලක්ෂණ මොනවාද යන කාරණාව සහ අපට අපේ අරමුණු ඉටු කරගැනීමට නම් මූලික ගති ලක්ෂණ මොනවාද යන කාරණාව මතු කරගත යුතුය. මුලික වශයෙන් නව කලාපීය සහ ගෝලීය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කළ යුතුය. කොරෝනා අවදිය සහ පශ්චාත් කොරෝනා අවදිය සම්බන්ධයෙන් අධ්‍යයනය කර එහි ඇති ගතිකයන් මොනවාද යන කරුණු සම්බන්ධයෙන් කතා කළ යුතුය. මේ කාරණා පදනම් කරගනිමින් ඉදිරි පාර්ලිමේන්තුව සැලැසුම් විය යුතුය. ආර්ථීක වශයෙන් ගත් විට ජනතාව කැමැති බහුවිධ ආර්ථිකයක් සැලසුම් කළ යුතුය. රටේ ඇති සම්පත් අමුද්‍රව්‍ය සමායෝජනය කිරීම මඟින් ආර්ථීක ක්‍රියාවලියට සම්බන්ධ කිරිමට සහ එම යාන්ත්‍රණයට යොදා ගැනීමේදී කෙතරම් කාර්යක්ෂම ද කෙතරම් සක්‍රිය ද යන කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. ඒ අනුව රටේ විවිධ තලවල සහ විවිධ ව්‍යුහවල ක්‍රියාත්මක වන, ඒවා ශක්තිමත් වන ආර්ථීක ප්‍රතිපත්තියක් ගොඩනැඟිය යුතුය.

මේ ක්‍රියාවලිය නව ආණ්ඩුවට ඉතා භාරදුරකාර්යක් වන්නේ මේ වෙනස් ක්‍රමවේද ගැන නිදහසින් පසුව කතාකර නැති වීම නිසාය. එදා සිට අද දක්වා අප ක්‍රියාත්මක කර තිබුණේ බාහිරින් සකස් කරන ලද ආර්ථික මොඩලයක් සහ බාහිරින් ගෙනඑන වෙළඳපොළ ආර්ථික ක්‍රමයකි. මේ රටේ ආර්ථිකය නැවත නගා සිටුවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සැලකිලිමත්විය යුතුයි.

නිදහසින් පසු අපේ රටට ගැළපෙන රාජ්‍ය ව්‍යුහයක් තවදුරටත් සකස් වී නැත. මෙහිදී ප්‍රබලම කාර්යය වන්නේ අසමත් එමෙන්ම අක්‍රීය රාජ්‍ය ව්‍යුහය යන්ත්‍රණය, රාජ්‍ය ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කරගැනීමයි. එම වෙනස කිරීමට නම් ප්‍රධාන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමක් අවශ්‍ය වෙයි. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ නෛතික සහ මුලික ක්‍රියාවලි තීරණය කර ගැනීමයි. එහිදී රටේ ආර්ථීක සහ සමාජ ක්‍රියාවලිය හැඩගස් වන සහ යම් දිශානතියක් තිරණය කරනු ලබන නිසා ජනතා කේන්ද්‍රීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වේ. ජාතික අභිලාෂයන් පෙරදැරි කර ගනිමින් ජනතාවගේ සහ සමාජ බලවේගවල වුවමනාවන් සඵල වන ආකාරයේ ව්‍යවස්ථාවක් මඟින් රාජ්‍ය ශක්තිමත් වන ක්‍රියාවලිය සිදු වෙයි. පසුගිය රජය සමයේ සිදුවූයේ බලෙන් මෙන් ආරෝපණය කරන සංශෝධන ය. ලාංකේය සමාජ දැක්මට සහ ජනතාවගේ මුලික අවශ්‍යතාවලට නොගැළපෙන විවිධ සංකල්ප එහි අන්තර්ගතය. රාජ්‍ය ප්‍රතිසංස්කරණ රාජ්‍ය හා ආර්ථික ක්‍රියාවලිය තුළ ඒකීය සමස්තයක් ලෙස එකට ගොඩනැඟිය යුතුය. ජනතා කේන්ද්‍රීය පාර්ලිමේන්තුවක් සහ එවැනි අාකෘතියකට ගොඩනැගුණු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණක් ඔස්සේ ගමන් කළ යුතුය. එමෙන්ම රටේ විවිධ සමාජ ස්ථර සහ විවිධ ජනකොටස් නියෝජනය වන සමාජයක් සහිත ලාංකේය මතවාදයක් ඇතිකරමින් අපේ ඉදිරි පරපුර හැඩගැස්වීමේ වැඩපිළිවෙළක් වත්මන් රජයට තිබිය යුතුය.

එළැඹී ඇති පශ්චාත් ගෝලීය යුගයේදී වසර ගණනාවක් පුරා පැවැති ලෝක ගෝලීය ආර්ථික ක්‍රමය බිඳ වැටෙමින් තිබේ. මේ වනවිට කලාපීය රාජ්‍ය මුල්‍ය ඉදිරියට ඒමටත් කලාපීය රාජ්‍ය බිහිවීමටත් පටන් ගැනීමත් සමඟ ඩොලරය බිඳ වැටීමත් සිදුව ඇත. කලාපීයකරණය තුළ අපට ද විශාල ආර්ථික අවකාශයකට අවස්ථාවක් ලැබේ. එබැවින් නව ආර්ථික මාදිලියට අප සුදානම් විය යුතුය. මේ වනවිට ආර්ථික යුද්ධය උත්සන්න වී ඇත. මහ විශාල අර්බුදයට අපි සුදානම් විය යුතුය. මේ ඒකීය ජනතා කේන්ද්‍රීය ආර්ථික සංකිර්ණයක් ගොඩනැඟිය යුතු වන්නේ මේ කරුණු නිසාවෙනි. ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වයට සුදානම් වී ඇත. අපේ රටෙත් විශාල ආර්ථික සම්පත් ප්‍රමාණයක් විශේෂයෙන් මානව ආර්ථික සම්පත් ප්‍රමාණයක් ඇත. එමෙන්ම රට ගොඩනැඟිය හැකි ප්‍රබල නායකත්වයක් සහ නායකත්වය සතු සංකල්ප මේ වන විට අපිට ලැබී ඇත. අභිනව ආණ්ඩුව ද තේරුම් ගත යුතු වන්නේ පසුගිය කාලය පුරා මේ රට මෙහෙය වනු ලැබුයේ ගෝලීය සුපිරි සමාජයේ ඩොලරය මුල්කරගත් නව ලිබරල්වාදී ආර්ථික සැලසුම් සහ ආර්ථික උපාය මාර්ග සැලසුම් ක්‍රියාත්මක කිරීමෙනි. අධ්‍යාපනය ලබා ඇති පිරිසක් තවදුරටත් මේ රටේ ආර්ථිකය හසුරුවනු ලැබිණි. ඒ අය එය සිදු කරනු ලබනුයේ ඒ ඒ රටවල බැංකු පද්ධතිය විශේෂයෙන් මහ බැංකු පද්ධතිය හරහාය. මේ වන විට සියලු බැංකු පද්ධතින් පාලනය වනුයේ මේ ට්‍රාන්ස් නැෂනල් බැංකු පද්ධතිය හරහාය. එය අපේ රටටත් පොදු ධර්මතාවකි. ජාතික අවශ්‍යතා අනුව අපේ මුල්‍ය පද්ධතිය ක්‍රියාවලිය වෙළෙඳපොළ නිෂ්පාදන සහ වෙළෙඳපොළ ආර්ථිකය සුළු පරිමාණ, මහ පරිමාණ, මධ්‍ය පරිමාණ උත්තේජන කරන ප්‍රධානම ඒකකය විය යුතුය. අද වනවිටත් එය සිදුවී නැත. නව ලිබරල් ආර්ථිකයේ උපාංගයක් බවට පත්වීමෙන් අප මිදිය යුතුය. ඉදිරියේදී මේ ක්‍රමය තවත් උත්සන්න වන අතර නව ලිබරල් ආර්ථික ක්‍රමවේද බිඳ වැටෙමින් පැවැතිය ද එය තවත් අඩුවැඩි වශයෙන් පවතී. මේ ජාතික රාජ්‍ය මඟින් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළ අතර විරෝධතා සහ ගැටුම් උත්සන්න වීමට ඉඩ ඇත. ගෝලීය වශයෙන් ඇති අර්බුදය මත මේ ක්‍රමය බිඳ වැටෙමින් ඒ තත්ත්වය උත්සන්න වන විට අපට අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් ශක්තිමත් දේශපාලන නායකත්වයයි.

ඒ සඳහා අවශ්‍ය වන කළමනාකාරීත්වය සහ ප්‍රබල බුද්ධිමය නායකත්වයක් අප සතු වෙයි. ඒ නායකත්වයට ගාමක බලය දිය හැකි සුදුසු රාජ්‍ය මන්ත්‍රණ සභාවක අවශ්‍යතාව මතු වී ඇත. ජනාධිපතිවරයා විසින් ගෙන යන මේ සාර්ථක වැඩපිළිවෙළට අභිනව ආණ්ඩුව ද සහාය ලබා දිය වන්නේ ඉදිරියේදී එළැඹෙන පශ්චාත් කොරෝනා අවදියට එනම් පශ්චාත් ගෝලීය අවදියට සාර්ථකව මුහුණ දීමට අපිට සිදුවන හෙයිනි.

 



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages