පෙරළිකාර යුගයක් කරා රග්බි ඔසවා තැබීමට සභාපති ඉල්යාස් වැඩ අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-08-31

පෙරළිකාර යුගයක් කරා රග්බි ඔසවා තැබීමට සභාපති ඉල්යාස් වැඩ අරඹයි

දේශීය රග්බි ක්‍රීඩාවේ පෙරළිකාර යුගයක් ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ඉදිරියේදි ගන්නා බව ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභිනව සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය. කොළඹ රාමඩා හෝටලයේ පෙරේදා දහවල් පැවැති වාර්ෂික මහ සභාවෙන් පසු මාධ්‍යවේදින් ඇමැතූ නව සභාපතිවරයා කියා සිටියේ වසර 2021 මෙරට රග්බි ක්‍රීඩාවේ පෙරළිකාර වසරක ඇරැඹුම සටහන් කෙරෙනු ඇති බවය.

තුන්සියයකට ආසන්න දිස්ත්‍රික්, පළාත්, ත්‍රිවිධ හමුදා, පාසල් සහ ක්‍රීඩා සමාජ නිලධාරීන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබපැතුම් මැද සභාපති තනතුරට නිල වශයෙන් පත්වූ වැල්ලවත්ත පීටර්සන් ක්‍රීඩා සමාජයේ හිටපු අංක අට ක්‍රීඩකයකු ද වූ රිස්ලි ඉල්යාස් මහතා සිය සභාපතිත්වය යටතේ මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් උපරිම සේවාවක නිරතවීම එකම අරමුණ බව ද පැවැසීය.

‘දේශීය වශයෙන් රග්බි ක්‍රීඩාව නඟා සිටුවීම වගේම ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්වීම සඳහා දස්කම් සපිරි යොවුන් ක්‍රීඩකයන් සොයා ගැනීම වගේම ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් අප හමුවේ ඇති විශාල අභියෝගයක්. මේ වසරේ මුල් භාගයේදීම කොවිඩ් වසංගතය හේතුවෙන් අන් සියලු ක්‍රීඩා මෙන්ම රග්බි ක්‍රීඩාවත් දැඩි පසුබෑමකට ලක් වුණා. ඒ නිසා නැවත අනුග්‍රාහකයන් සමග අප නැගී සිටිය යුතුයි. ඒ සඳහා නිවැරැදි සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. ‘ ඔහු පැවැසීය.

ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන නාමල් රාජපක්ෂ මහතා නව ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පත් වීම මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරිමට රග්බි ආයතනයට විශාල ශක්තියක් වනු ඇතැයි ද ඒ මහතා කීවේය.

‘මම රග්බි ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ වගේම, බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ නව ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාවේ නිරතවූවා. එතුමාගේ ක්‍රීඩා දස්කම් වගේම අත්දැකීම් ද, දැනුම් සම්භාරය ද මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල ශක්තියක් වන බව මට විශ්වාසයි. ‘ ඉල්යාස් මහතා සඳහන් කළේය.

මෙරට කාන්තා රග්බි ක්‍රීඩාවට මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාවට ද රග්බි ආයතනයේ සහයෝගය සහ දායකත්වය නොඅඩුව ලබා දෙන බව ඔහු පැවැසීය. කාන්තා රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සහ පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් හිටපු සභාපති ලසිත ගුණරත්න මහතා විසින් සිය ධුර කාලය ආරම්භයේදී පත් කරන ලද තනතුරු තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට රග්බි ආයතනය පියවර ගෙන ඇත. ඒ අනුව කාන්තා රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මිය රග්බි විධායක කමිටුවට පත්වී සිටින අතර, පාසල් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පසුගිය වාරයේ උපසභාපතිධුරයෙහි කටයුතු කළ පාසල් රග්බි සංගමයේ නියෝජ්‍ය සහාපති, ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ විදුහල්පති සුසන්ත මෙන්ඩිස් මහතා නැවත එම තනතුරට පත් කර ඇත.

මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් හිටපු ක්‍රීඩකයන් සහ නිලධාරීන් 11කට රග්බි ආයතනයේ යාවජීව සාමාජිකත්වය ලබාදීමට ද වාර්ෂික මහා සභා රැස්වීමේදී තීරණය කෙරිණි.

රග්බි ආයතනයේ නව නිලධාරී මඬුල්ල මෙසේය.

සභාපති -රිස්ලි ඉල්යාස්, නියෝජ්‍ය සභාපති - නසීම් මොහොමඩ්, උපසභාපතිවරු - රියර් අද්මිරාල් එච්.ඒ.යූ.ඩී. හෙට්ටිආරච්චි, සුසන්ත මෙන්ඩිස්, ලේකම් - ජූඩ් පිල්ලේ, භාණ්ඩාගාරික - දිනේෂ් පෙරේරා, කමිටු සාමාජික - ආචාර්ය සමන්තා නානායක්කාර, ෆසාල් මොහොමඩ්, රොෂාන් ඩීන්, සහකාර පොලිස් අධිකාරී නිරන්ජන් අබේවර්ධන, ජීවන් ගුණතිලක, බන්දුල මල්ලිකාරච්චි, පවිත්‍ර ප්‍රනාන්දු, ප්‍රදීප් බස්නායක.

 

ෆවුස් මොහොමඩ්

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages