කොරෝනා නැති රටවල් 12ක්: බේරුණේ කොහොමද ? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

කොරෝනා නැති රටවල් 12ක්: බේරුණේ කොහොමද ?

 

බාහිර ලෝකයෙන් සමඟ සම්පූර්ණයෙන්ම  හුදෙකලාව පවතින උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගයෙන් තොර යැයි ඔවුන් කරන  ප්‍රකාශයද සත්‍ය වීමට වැඩි ඉඩක් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා පරිදි ලෝකයේ රටවල් 193ක් පවතින අතර වර්තමාන ලෝකයේ මානවයා මුහුණ දෙන විශාලතම අභියෝගය වන කොරෝනා වසංගතයෙන් මේ රටවල් වැඩි ප්‍රමාණයක් බැට කයි. සමස්ත වශයෙන් ලෝකයේ කොරෝනා ආසාදිතයින් කෝටි දෙකහමාරකට වඩා සිටින අතර එම රෝගය නිසා මරණයට පත් වූ ගණන ලක්ෂ අට හමාර ඉක්මවා ගොස් ඇත. කොරෝනා වැලඳුණු පිරිස අතරින් එක්කෝටි අසූ ලක්ෂයක් සුවය ලබා තිබේ.

මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 ලෙස ද හඳුන්වන කොරෝනා වසංගතය කිසිසේත්ම ව්‍යාප්ත නොවූ හෝ ඉතාම අල්ප වශයෙන් ව්‍යාප්ත වූ රටවල් 12ක් ද තවමත් ලොව පවතින බව විදෙස් මාධ්‍යවල කතාබහට ලක් වී ඇත. ඒ රටවල් වන්නේ උතුරු කොරියාව, ටර්ක්මෙනිස්තානය, සොලමොන් දූපත්, වනුවාටු, සමෝවා, කිරිබටි, මයික්‍රොනීසියා ෆෙඩරල් ජනපදය, ටොංගා, මාර්ෂල් දූපත්, පලාවු, තුවාලු සහ නාවුරු ය.

දැන් ඒ ඒ රටවල්වල තත්ත්වය සැකෙවින් විමසා බලමු. උතුරු කොරියාවේ මුලින්ම කොරෝනා යැයි සැකකටයුතු රෝගියකු වාර්තා වූයේ ජූලි 26 වැනිදාය. මේ සමඟ කේසොන් ප්‍රදේශයම පූර්ණ ලෙස සීරුවෙන් තබා වසා දැමීම සිදු කළ අතර ඒ රෝගියා කොරෝනා ආසාදිතයකු නොවන බව පසුව අනාවරණය විය. කොරෝනා හේතුවෙන් තමන්ගේ දේශසීමා වසා දැමූ මුල්ම රට වන්නේ උතුරු කොරියාවයි. විදේශිකයින් සහ ස්වදේශිකයින් අරඹයා දැඩි ප්‍රතිපත්තියක් එරට ක්‍රියාත්මක කළේය.

කොරෝනා වසංගතය බහුලව පවතින කසකස්තානය, උස්බෙකිස්තානය, ටජිකිස්තානය, ඉරානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල්වලින් වට වී පවතින ටර්ක්මෙනිස්තානයට කොරෝනා වසංගතය පැමිණියේ නැත. පෙබරවාරි මුල් කාලයේ මාසයකට පෙරදීම තමන්ගේ භෞමික දේශසීමා වසා දැමූ ටර්ක්මෙනිස්තානය ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් සහ චීනයට යාමට සහ ඒමට තිබූ සියලු ගුවන් ගමන් අවලංගු කළේය.

සොලමන් දූපත් ලොව අඩුවෙන්ම සංචාරකයන් පැමිණෙන රටකි. ඕස්ට්‍රේලියාව, පැපුවා නිව් ගිනියාව සහ වනවාටු හරහා ගුවනින් මෙහි පැමිණිය හැකිය. පෙබරවාරි මුල් කාලයේ සිටම මෙහි පැමිණෙන අයට වෛද්‍ය සහතිකයක් රැගෙන ඒම අනිවාර්ය වූ අතර කොරෝනා රෝගය පවතින රටවල්වලින් පැමිණෙන විදේශිකයින් සියලු දෙනා දින 14ක නිරෝධායනයේ නිරත වීම අනිවාර්ය විය.

පෙබරවාරි මස සිටම විදේශ රටවල්වලින් පැමිණෙන අයට දැඩි ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කළ වනුවාටුහි කොරෝනා රෝගය හමු වූයේ ම නැත. එරටට ඇතුළු වීමට ද වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙරිණි.

මාර්තු 25 වැනිදා සිට සැමෝවාහි වසා දැමීම් ක්‍රියාත්මක වූ අතර රටෙන් පිටවීමට හෝ රටට ඇතුළු වීමට කිසිවකුට අවසර දුන්නේ නැත.

කිරිබටි රාජ්‍යයේ කොරෝනා ආසාදනය වාර්තා වූයේ නැති වුවත් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර පාසල් සති දෙකකට වසා දැමිණි.

මයික්‍රොනීසියා ෆෙඩරල් රාජ්‍යය සංචාරක තහනමක් ක්‍රියාත්මක කළ අතර විශේෂයෙන්ම චීනයේ සිට පැමිණෙන අයට සහ චීන ජාතිකයින්ට තම රටට පැමිණීම තහනම් කළේය.

පෙබරවාරි සිට ටොංගා වෙත පැමිණෙන සංචාරක කටයුතු සම්බන්ධ දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරිණි. විදේශිකයන්ට දේශසීමා වසා දැමූ ටොංගා රාජ්‍යය, රටේ සිටි විදේශිකයින්ට රටෙන් පිට වීමට පමණක් අවසර ලබා දුන්නේය. ගුවන් යානයක සිටින මඟීන් ගණන 60කට සීමා කළ අතර හෝටල්වලට දැඩි පොලිස් ආරක්ෂා යොදවනු ලැබිණි. කොරෝනා ඇතැයි සැකකළ 8 දෙනෙක් සොයාගත් අතර පරීක්ෂණවලදී ඒ අයට රෝගය නැති බව පසුව අනාවණය විය.

මාර්ෂල් දූපත් බාහිර ලෝකයට සම්බන්ධ කළ එකම ගුවන් මාර්ගය සති 3ක කාලයකට නතර කෙරිණි.

පලාවුවල එකම කොරෝනා සැකකරුවකු හමු වූ අතර ඔහු ගුවාම්වල සිට පැමිණි අයෙක් විය. කෙසේ වෙතත් පරීක්ෂණවල දී ඔහු ද නිරෝගී අයකු බව අනාවරණය විය. දැන් පලාවු රාජ්‍යයේ කිසිදු කොරෝනා ආසාදිතයකු නැත.

ඉතාම අඩුවෙන් සංචාරකයින් පැමිණෙන රටක් වන තාවුලුවලට වර්ෂයකට පැමිණෙන්නේ සංචාරකයින් 200කට අඩු පිරිසකි. 11,793ක ජනගහනයක් සිටින එරට කොරෝනා වසංගතයෙන් තොර වීමට එය ප්‍රධාන හේතුවක් විය.

එක් දිනකින් සංචාරය කොට අවසන් කළ හැකි කුඩා රාජ්‍යයක් වන නාවුරු ද කොරෝනාවලින් තොර රටකි. එරට ද ඉතාම අඩුවෙන් සංචාරකයින් පැමිණෙන රටකි.

කොරෝනා රහිත රටවල් මේ ආකාරයෙන් දැක්වෙන විට ඇතැම් විචාරකයෝ ඒ සම්බන්ධයෙන් සැකපහළ කරති. විශේෂයෙන්ම සංවෘත තත්ත්වයක් පවතින උතුරු කොරියාවේ තොරතුරු ගැන මේ සැකය වැඩියෙන්ම යොමු වේ. එරට අසහාය නායක කිම් ජොන් උන් දින 20ක පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිටියේ කොරෝනා වසංගතයට බියේ යැයි විචාරකයෝ මත පළ කරති. එරට කේසොන් ප්‍රදේශයේ සති තුනක කාලයකට වසා දැමීම් ක්‍රියාත්මක කළේ ද එහි වසංගතය පැවැති නිසා යැයි මතයක් ඇත. කෙසේ වෙතත් බාහිර ලෝකය සමඟ සම්පූර්ණයෙන්ම හුදෙකලාව පවතින උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගයෙන් තොර යැයි ඔවුන් කරන ප්‍රකාශයද සත්‍ය වීමට වැඩි ඉඩක් තිබේ.

කොරෝනා රෝගයේ රෝග ලක්ෂණවලට සමානකම් ඇති කිහිපදෙනෙක් මේ ඇතැම් රටවල්වල දී ද මරණයට පත් වී ඇති අතර ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කර නැතැයිද මතයක් ඇත. කෙසේ වෙතත් මේ රටවල් අතරින් බහුතරය දූපත් රාජ්‍ය වීම ද කොරෝනා රෝගයෙන් තොර වීමට ප්‍රධාන ලෙස බලපාන කාරණයකි. මේ රටවල් බහුතරයක ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය වන බැවින් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හරහා නැවත සුරක්ෂිත සංචාරක කොරිඩෝවක් ඇති කර ගැනීමට මේ කුඩා රාජ්‍යයන් දැන් කටයුතු කරමින් සිටියි. එනමුත් එය තවමත් පවතින්නේ වැට උඩ මට්ටමකය. කෙසේ වෙතත් තායිවානය හරහා ගුවනින් සම්බන්ධතා ඇති කර ගැනීමට යම් දුරකට සාර්ථක පියවරක් ඇති කර ගනිමින් පසු වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages