විනාඩි 20න් බත්තරමුල්ල සිට වැල්ලවත්තට යන්න බෝට්ටු සේවයක් ඇරඹෙයි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

විනාඩි 20න් බත්තරමුල්ල සිට වැල්ලවත්තට යන්න බෝට්ටු සේවයක් ඇරඹෙයි!

බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා දිවෙන මාර්ගයේ රථවාහන තදබදය සහ පරිසර දූෂණය මගහරිමින් බෝට්ටුවෙන් පාසල් යන සිසු සිසුවියන් පිරිසක් වැල්ලවත්ත බෝට්ටු සේවා තොටුපළේදී අපට දැකගත හැකිවිය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් නාවික හමුදාවේ විශ්‍රාමික නාවිකයන් යොදවමින් ආරම්භ කර ඇති මෙම බෝට්ටු සේවය කොළඹ පාසල් චලට යන දරුවන් අතර ඉතා ජනප්‍රිය තත්වයට පත්ව ඇත. මිලියන ගණන් වැයකොට ගුවන් පාලම් හැදුවද අධිකව පවතින රථවාහන තදබදය මගහරවා ගත නොහැකිවූ කලාපයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුළ හඳුනා ගැනෙන බත්තරමුල්ල, කෝට්ටේ, කොහුවල, නුගේගොඩ, දෙහිවල යන ප්‍රදේශයන්හි තදබදය මගහරිමින් ප්‍රවාහන කටයුතු සිදුකර ගැනීමට මෙම බෝට්ටු සේවය මනා පිටිවහලක් බව අනාවරණය විය.

එක් පුද්ගලයෙකුට රුපියල් සීයක් වැනි මුදලක් අයකරමින් වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා ගමන් කිරීමට මෙම බෝට්ටු සේවාවේ පහසුකම් ඇත. මෙම සේවාව මාර්ග තදබදයට විසඳුමක් ලෙස ඉතා කාර්යක්ෂම ලෙස දියුණු කිරීමට ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතාගෙත් අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ යොදවා ඇති බෝට්ටු සංඛ්‍යාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම අනුව මෙවැනි සේවාවන් අනාගත පරපුරට ඉතා ඵලදායී ලෙස දායාද කළ හැකි බවද සොයිසා මහතා පැවසීය. සාමාන්‍ය ලෙස බසයෙන් ගමන් ගන්නා මගියෙකුට මෙම බෝට්ටු සේවාව මගින් විනාඩි විස්සක් වැනි කාලයකින් බත්තරමුල්ල පරිපාලන කලාපයට ළඟාවීමට හැකි බව පෙන්වාදෙන සොයිසා මහතා ඉදිරියේ දී තව තවත් තොටුපළවල් නිර්මාණය කරමින් එය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

මේ සඳහා පාසල් සිසුන්ගේ ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඇතැම් කාර්යාල සේවකයින්ද මෙම ප්‍රවාහන සේවය භාවිතා කරන බවත් සොයිසා මහතා පැවසීය. මේ වනවිට බෝට්ටු හයක් සේවාවට එක්කර ඇති බව සඳහන් කළ සොයිසා මහතා වැල්ලවත්ත තොටුපොළෙන් ගමන් අරඹන මගියෙකුට නාවල සහ බත්තරමුල්ල යන තොටුපොළවල් වලින් ගොඩබිමට පිවිසිය හැකි බව පැවසීය.

මාර්ග තදබදය මගහරවා ගනිමින් බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය, ඉසුරුපාය, විදේශ සේවා නියුක්ති කාර්යංශය, විදේශ ගමන් බලපත් කාර්යාලය, හැදුනුම්පත් කාර්යාලය, බස්නාහිර පළාත් සභා පරිශ්‍රය යන පරිපාලන කේන්ද්‍රයේ ඇති සියලු කාර්යාලයන් වෙත කඩිනමින් ළගාවීමේ පහසුකම මෙම ප්‍රවාහන සේවයෙන් සැලසී ඇති බවද සොයිසා මහතා පැවසීය.

දුර බැහැර සිට කොළඹට පැමිණ විවිධ කාර්යාලයීය කටයුතු සඳහා බත්තරමුල්ලට යෑමට අදහස් කරන මගියෙකුට වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසලින් බැස මෙම බෝට්ටු ප්‍රවාහන සේවයට සම්බන්ධ වීමෙන් විනාඩි 20 ක් වැනි කාලයකදී බත්තරමුල්ල සේවාවන් කලාපයට ළඟාවීමට හැකියාව පවතින බවද ඒ මහතා පැවසීය.

විශ්‍රාමික නාවික නිලධාරින් සේවයට යොදා ගනිමින් සකසා ඇති මෙම කාර්ය මණ්ඩලයෙන් ඉතා විනීත සහ ආරක්ෂිත සේවාවක් ලැබෙනු ඇත. මේ සම්බන්ධයෙන් අප බෝට්ටු සේවයේ නිතර ගමන් ගන්නා මගියෙකු වන සොනාලි ජයවර්ධන මෙනෙවිය ගෙන් විමසීමක් කළ අතර ඇය පැවසුවේ මෙම සේවාව ඉතා වටිනා සේවාවක් බවයි. වැල්ලවත්තේ සිට බත්තරමුල්ලටම පමණක් යා හැකි වන ලෙස සලසා ඇති මෙම සේවාව රට පුරා ඇති ඇළ මාර්ග ඔස්සේ යාමට හැකිවන ලෙස පහසුකම් සලසන්නේ නම් ඉතා වටිනා බව ද ඇය පැවසීය. දුම්රිය නැවතුම්පොළට යාබද කලාපය දක්වා තොටුපළක් නිර්මාණය වන්නේ නම් එයද ඉතා අනර්ඝ බව සඳහන් කළ ඇය දුම්රියෙන් බැස බෝට්ටුවෙන් සිය ගමනාත්තයට ළගා විය හැකි ආකාරයට තොටුපළවල් නිර්මාණය කර දිය හැකි නම් මාර්ග තදබදයට මෙන්ම වෙනස්ම වූ ගමනාගමන අත්දැකීමක් ලැබිමට කොළඹ වැනි නගර ජනතාවට ඉඩ සැලසෙන බවද පැවසීය.

මේ පිළිබඳව අප තවත් මගියෙකු වූ තුෂාරි ප්‍රනාන්දු මහත්මියගෙන් විමසා සිටි අතර ඇය සඳහන් කළේ පාසැල් යන සිය පුතුට මෙය වෙනස්ම අත්දැකීමක් වූ බවයි. බසයකින් පාසලට පැමිණීමට විනාඩි 45 ක්, පැයක් පමණ වන සේ ගත වන කාලය මෙම බෝට්ටු සේවාව ඔස්සේ ගමන් කිරීම නිසා විනාඩි විස්සක් වැනි කාලයකින් ප්‍රමාදයකින් තොරව ආරක්ෂාකාරීව නිම කිරීමට හැකිබවද පැවසීය. මෙම සේවය උදෑසන 6.50 ට ආරම්භ කෙරෙන අතර සවස 17.40 දක්වා ගමනාගමනයේ යොදවා ඇත.

– රේඛා තරංගනී ෆොන්සේකා –



from රට තොට – Colombo Tribune https://ift.tt/3bFMgoq
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages