මහනුවර පොළොව හෙල්ලුනේ ඇයි? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

මහනුවර පොළොව හෙල්ලුනේ ඇයි?

ඉකුත් අගෝස්තු 29 වැනි (සෙනසුරාදා) රාත්‍රී 8.30 ට පමණ මහනුවර, තෙල්දෙණිය සහ දිගන යන පෙදෙස්වලට දැනුණු ‘අබිරහස් පිපිරුම’ සහ ’කම්පනය’ හට ගන්නා විට, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙනිගල ආදී ජලාශවල සියයට 60-65ක වත් ජලස්කන්ධයක් රඳවා ගෙන තිබෙන්නට ඇත.

මුලින් දැනුණේ මහා බෝම්බ පිපිරීමක් බඳු ශබ්දයකි. ඉන් පසුව විනාඩියකටත් අඩු කාලයක් තිස්සේ කම්පනීය තත්ත්වයක් පැවතිණි. එය හරියට ‘පොළොව හෙල්ලෙනවා’ වාගේ ය. කම්පනීය තත්ත්වයෙන් මහනුවර, අනුරගම, හාරගම, තෙල්දෙණිය, මැණික්හින්න, බලගොල්ල, හිජ්රාපුර සහ දිගන ආදී වික්ටෝරියා මහා ජලාශය අවට ප්‍රදේශවල මහජනතාව භීතියට පත්ව සිටියහ. ජනේල වීදුරු සහ රාක්කවල බෝතල් සෙලවිණි. කම්පනය පහව ගිය විට ඇතැම් නිවසක දක්නට ලැබුණේ බිත්ති ද ඉරිතලා ඇති බවයි.

‘පිපිරුම එදා (1998. 01. 25)) දළදා මාළිගාවට කොටි බෝම්බ ගහපු දවසේ විදිහට ම, පොළොව යටින් වගේ ඇහුණා’, මාධ්‍යට කරුණු දක්වමින් ප්‍රදේශවාසීහු පැවසූහ!

අබිරහස් පිපිරුම සහ කම්පනීය තත්ත්වය, මහනුවර වික්ටෝරියා මහා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවලට හොඳින් ම දැනී තිබිණි.

වර්තමානයේ භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ සභාපති ධුරය හොබවන්නේ ඉංජිනේරු ඩී. සජ්ජන ද සිල්වා ය. හෙතෙම ජන මාධ්‍ය හමුවේ කියා සිටියේ, මහනුවර ප්‍රදේශයෙහි යම් පිපිරීමක ශබ්දයක් හට ගෙන ඇති බවත්, එය භූ චලනයක් ද? යන්න තවමත් කිව නො හැකි බවත් ය. යම් කම්පනයක් සම්බන්ධයෙන් ‘පල්ලේකැලේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ’ ද සටහන්ව ඇති නමුත්, එය භූ කම්පනයක් ද? යන්න කිව හැක්කේ වැඩිදුරටත් පර්‌යේෂණ කිරීමෙන් පමණක් බවත්, ඔහුගේ අදහස විය. ඒ සඳහා කොළඹින් නිලධාරීන් කණ්ඩායමක් පිටත්කර හැරුණු බවත් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, ප්‍රථම අබිරහස් පිපිරුමෙන් සහ කම්පනීය තත්ත්වයට පසුව එළඹි හතර වැනි දිනයේ (සැප්තැම්බර් 02) උදෑසන ද, මහනුවර අවට ප්‍රදේශයෙහි තවත් එවන් පිපිරුමක් සහ කම්පනයක් හට ගත්තේ ය. එය ද වික්ටෝරියා මහා ජලාශය ආශ්‍රිත තෙල්දෙණිය සහ දිගන අවට පිහිටි අලුපත, අඹකොටේ සහ හාරගම ආදී පෙදෙස්වලට දැනී තිබිණි. දෙවැනි පිපිරුමේ විශේෂත්වයක් විය. එහි ශබ්දය සහ කම්පනය හට ගෙන තිබුණේ, භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ නිරීක්ෂණ නිලධාරීන් ද හාරගම ප්‍රදේශයේ රෑඳී සිටිය දී ය. ශබ්දය සහ කම්පනය දැනුණේ එදින පෙරවරු 7.30ට පමණ ය.

එය ද පල්ලේකැලේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන්ව තිබිණි. කම්පනයේ ‘අප කේන්ද්‍රය’ (නාභිය) අලුපත සහ අඹකොටේ ආශ්‍රිතව සටහන්ව තිබිණි. ඉකුත් 29 වැනි සෙනසුරාදා හට ගෙන තිබුණු භූ කම්පනයේ ‘අප කේන්ද්‍රය’ ද ඊට සමාන බවක් පෙන්නුම් කළේ ය. කෙසේ වෙතත්, භූ විද්‍යා නිලධාරීහු, මෙවන් පිපිරුම් ශබ්දයක් සහිත කම්පනයක් ඇති වීමට නිශ්චිත හේතු දැක් වීමෙහි අපොහොසත් වූහ!

‘මේ ප්‍රදේශය අවට හුණු ගල් (ඩොලමයිට්) කඩනවා. ඒවායින් පොළොවේ පීඩනය පිටතට එන්න පුළුවන්. ඒත් ‘බෝර දැමීම්’ නිසා මෙබඳු කම්පනයක් හට ගත්තා ය කියන්න අසීරුයි. වික්ටෝරියා ජලාශය වැනි මහා ජලාශවල වතුර මට්ටම අඩු වෙන කොට නාය යාම් වගේ තත්ත්වයන් ඇති වෙනවා. අපි තවදුරටත් සොයා බලනවා’, යයි භූ විද්‍යා නිලධාරීහු පවසා සිටියහ.

පිට පිට ම, භූ කම්පන දෙකක් හට ගැනීම නිසා මේ දිනවල මහනුවර අවට ප්‍රදේශවාසීහු භීතියෙන් පසු වෙති. ඉකුත් අඟහරුවාදා (01වැනිදා) පටන් රටේ නිරිත දිග ප්‍රදේශවලට මහ වැසි ඇද හැලීමේ තත්ත්වයක් උද්ගත වීම, ඊට හේතුවයි. ඇතැම් කඳුකර පෙදෙස් සඳහා, මේ වන විට ‘නාය යාමේ රතු නිවේදන’ පවා නිකුත්කර තිබේ.

කෙටි කාල පරාසයක් තුළ මිලි මීටර් සියයකට නො අඩු වර්ෂාවක් ලැබෙන්නේ නම් එය නාය යාම්වලට තුඩු දෙන බව, විද්වත් මතයයි. එබැවින් තද වර්ෂා සමයක හට ගන්නා සුළු හෝ භූ කම්පන නිසා බුරුල් වන කඳුකර පස් තට්ටු, පහළට නාය යන්නට ද බැරි නැත!

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය සී. බී. දිසානායක වරක් පවසා තිබුණේ, ලංකාවේ උස් බිම්වලින් සියයට 20-25ත් අතර ප්‍රමාණයක් නාය යාමේ අවදානමට මුහුණපා සිටින බවයි. එසේම, ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ නාය යාම් පර්‌යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්.එම්.එස්. බණ්ඩාර ද වරක් ප්‍රකාශකර තිබුණේ, ලංකාවේ දිස්ත්‍රික්ක දහයක පිහිටි වර්ග කිලෝමීටර් 20,000ක පමණ භූමියකට, නාය යාමේ අවදානම බලපාන බවයි. අවදානම බලපාන, කළුතර, ගාල්ල, හම්බන්තොට, මාතර, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල නාය යාම්වලට ගොදුරු වියහැකි ප්‍රදේශ දැක්වෙන සිතියම් පවා ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය මගින් සකස්කර ඇත. ඒ, ඉහත කී දිස්ත්‍රික්ක එතරම් ම අවදානම් නිසාය.

එයින් මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන රටේ මධ්‍යම කඳුකරයට අයත් දිස්ත්‍රික්ක අතිශයින් ම වැදගත් ය. රටේ මහා ජලාශ බොහොමයක් ඒවායෙහි ඉදිකර තිබීම, ඊට හේතුවයි. ඒවා ගණන් ගැනෙන්නේ ‘ඉහළ ජලාධාර ප්‍රදේශ’ වශයෙනි. මහවැලි, කැලණි, කළු සහ වලවේ යන සිවු මහා ගංගාවන් උපත ලබන්නේ ද, පෝෂණය ලබන්නේ ද ‘ඉහළ ජලාධාර පෙදෙස්’ මුල්කර ගනිමිනි.

කඳුකර මහා ජලාශ වන, කොත්මලේ (ඝන මීටර් මිලියන 172.9), පොල්ගොල්ල (ඝ.මී.මි. 4.1), වික්ටෝරියා (ඝ.මී.මි. 721.2), රන්දෙණිගල (ඝ.මී.මි 861.4), රන්ටැඹේ (ඝ.මී.මි. 22), බෝවතැන්න (ඝ.මී.මි. 52), කාසල්රී (ඝ.මී.මි. 48.3), මාඋස්සාකැලේ (ඝ.මී.මි. 123.6) සහ සමනලවැව (ඝ.මී.මි. 278.0) යන මහා ජලාශ සියල්ල ම පාහේ, ‘ඉහළ ජලාධාර පෙදෙස්’ යයි ගණන් ගැනෙන මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පිහිටා තිබේ. ඒවායෙහි සාමාන්‍යයෙන්, ජලය ඝන මීටර් මිලියන 2283.5ක් පමණ රඳවා ගනියි. කඳුකර මහා ජලාශ ආශ්‍රිතව මහා වේලි, ඇළ මාර්ග, ජලය ගෙන යන භූගත උමං මාර්ග සහ විදුලිබලාගාර ද පිහිටා තිබේ. වර්තමානයේ ඉදි වෙමින් පවතින ‘උමා ඔය ව්‍යාපෘතිය’ ද එවැන්නකි. වඩාත් සැලකිය යුතු කාරණය වන්නේ, මේවා ජනාවාස ප්‍රදේශ වීම ය!

ඉහළ ජලාධාර පෙදෙස්වලට පරිවාරයෙන් පිහිටි රත්නපුරය, කෑගල්ල, මාතර, ගාල්ල, හම්බන්තොට සහ කළුතර යන දිස්ත්‍රික්ක ද කඳුකර ලක්ෂණ පෙන්නුම් කරන්නේ ය. ඒවා ද බොහෝ විට වැසි සමයට නාය යමේ තර්ජනයට ලක් වෙන්නේ ය.

කඳුකරයේ නාය යාම් අවදානමක් සහිත භූමියට, භූ චලන අවදානමක් ද පැන නැගීම නරක ලක්ෂණයකි. එහි මහා ජලාශ ද බැඳ ඇති බැවින් තත්ත්වය වඩාත් බරපතළ වන්නේ ය.

අපේ රටේ මධ්‍යම කඳුකරය පුරාවට ඇති ‘භූ පැලුම්’ සහ ‘කුස්තුර’, මේ අවදානම තවදුරටත් තීව්‍ර කරවයි. මේවා ප්‍රථමයෙන් හඳුනා ගෙන ඇත්තේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු වන, අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ ය.
භූ විද්‍යාඥයෝ ශ්‍රී ලංකාවේ භූමිය කොටස් තුනකට බෙදා දක්වති. ඒ, වන්නි සංකීර්ණය (WVC), උස් බිම් සංකීර්ණය (HC) සහ විජයානු සංකීර්ණය (VC) වශයෙනි. මේ සමස්ත භූමියෙහි ස්වාභාවික පැලුම් 80,000ක් පමණ ඇති බවත්, ඉන් 09ක් ප්‍රධාන පැලුම් බවත්, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ 1965 වසරේ දී සොයා ගත්තේ ය. ‘ලංකා භූමිය, ඉන්දියානු ප්ලේටයෙන්’ වෙන්වී, වසර මිලියන 126ක් මුළුල්ලේ වයඹ සිට ගිනිකොන දෙසට (යාල-කිරින්ද දෙසට) පාවී යන බවත්, එයින් හට ගන්නා භූ විපර්යාස නිසා රටේ මධ්‍ය කඳුකර භූමිය ඉහළට එසවෙමින් (UPLIFT) යන බවත් ඔහු හෙළි කළේ ය. ඔහු කියන හැටියට, වසරකට මිලිමීටර් 01-02 පමණ ප්‍රමාණයකින් ලංකා භූමිය ගිනිකොන දෙසට පාවී යමින් තිබේ.

ඔහුගේ හැදෑරීම් අනුව, ලංකාවේ විශාලතම භූ පැලුම, ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශයෙන් පටන් ගෙන, මහවැලි ගඟ, මහියංගණය සහ මොනරාගල ඔස්සේ විහිදී ගොස්, හපුතලේ, වලවේ ගඟ සහ හම්බන්තොට දෙසින් මුහුද දෙසට දිවෙයි. මාතලේ, උකුවෙල, වත්තේගම, තෙල්දෙණිය, දිගන, අධිකාරිගම, කිඹුලන්තොට සහ නිල්දණ්ඩාහින්න දෙසට තවත් පැලුමක් විහිදෙයි. එය ගමන් කරන්නේ මහනුවර වික්ටෝරියා මහා ජලාශය ආශ්‍රිතව ය. ලංකාවේ වයඹත් ගිනිකොනත් අතර කඳුකරය මැදින් වැටී ඇති පැලුම් ගණන එකොළහකි. මේවා මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ සූරීන්ගේ වාර්තාවල සඳහන් පැලුම් අතරින් කිහිපයක් පමණි.

‘සතිඅග අරුණ’ කළ විමසීමක දී සුප්‍රකට භූ විද්‍යාඥයෙකු වන, මහාචාර්ය සී. බී. දිසානායක මෙසේ පැහැදිලි කළේ ය.

‘‘මහාචාර්ය විතානගේ මහත්තයාගේ සොයා ගැනීම ඉතා වටිනා එකක්. මේ භූ පැලුම් රටේ මධ්‍යම කඳුකරය පුරා හරියට මකුළු දැලක් වගේ පැතිර පවතිනවා. දවස් 3-4ක් වැස්සොත් බෑවුම් සහිත භූමියක නාය යාම් ඇතිවෙන්න පුළුවන්. ඒක සුලබ සිද්ධියක්. ඒත් භූ චලනයක් බඳු බාහිර ක්‍රියාවලියක් මගින් ‘තල්ලුවක්’ ඇතිකරනවා නම්, ස්ථාවර පස් හෝ පාෂාණ තට්ටු පවා භූ පැලුම් දිගේ නාය යන්නට පුළුවන්. භූ පැලුම් සහිත කඳුකරයේ අපි මහා ජලාශ රාශියක් ඉදිකරලා තියෙනවා. ලංකාවට බලපාන යම් භූමි කම්පාවකදී භූ පැලුම් ඔස්සේ එන පීඩනය නිසා ඔය ජලාශ පවා නාය යාමට ඉඩ තිබෙනවා. එහෙම දෙයක් වුණොත් ඇති විය හැකි විනාශය හිතාගන්නත් බෑ. ඒක හින්දා අපි සෑම කඳුකර ජලාශයකම භූ කම්පන මාන සවිකරලා, ඇතිවන සුළු භූ කම්පන පවා අධ්‍යනය කළ යුතුයි. අපි මේක හැමදාමත් කියනවා. මහාචාර්ය විතානගේ මහත්තයාත් දිගින් දිගට ම මේක කිව්වා. ඒත් හරියට කෙරෙන බවක් පෙනෙන්නේ නෑ’’.

වික්ටෝරියා වැනි මහා ජලාශවල, වරින් වර ජල තලයේ විවිධ වෙනස්කම් හට ගනියි. එවන් අවස්ථාවල පොළොවේ හෝ ජල තලයේ පීඩනය මතුපිටට පැමිණීමට ඉඩ තිබේ. අගෝස්තු 29 රාත්‍රියේ සහ සැප්තැම්බර් 02 උදෑසන මහනුවර වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව දැනුණු භූ කම්පනය ද එවැන්නක් විය හැකි බව, මහාචාර්ය සී. බී. දිසානායකයන්ගේ අදහසයි.

එවන් අපදාවක් පැමිණිය හොත් මිනිස් ජීවිත බේරා ගැනීම, නිසැකව ම සැබෑ අභියෝගයක් වනු ඇත්තේ ය. ඒ සඳහා වෙන් කළ භූමි භාග සහ එහි යාමට මග පෙන්වන පුවරු රන්දෙණිගල ප්‍රදේශයේ දක්වා තිබේ.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර



from රට තොට – Colombo Tribune https://ift.tt/2R19V9n
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages