රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරයා ලක්ෂිත මධුෂාන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරයා ලක්ෂිත මධුෂාන්

අසංක සංජීව විවෘත තරගය ජය ගනී: ශූරිය  දකුණු  අප්‍රිකාවෙන්

මෙරට සංචාරක ව්‍යාපාරයේ නව පිබිදීමකට කදිම ආරම්භයක් ලබා දෙමින් ආරුගම්බේ මුහුදු තීරයේ ඊයේ නිමාවට පත්වූ රළ මත ලිස්සා යෑමේ තරගාවලියේ දී වැලිගම සර්ෆර්ස් ක්‍රීඩා සමාජයේ ලක්ෂිත මධුෂාන් ජාතික ශූරයා ලෙස අභිෂේක ලැබුවේය. තරගාවලියට ඉදිරිපත් වන විට රළ මත ලිස්සා යෑමේ ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වූ මේ යොවුන් ක්‍රීඩකයා ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමඟ සිය සමස්ත ලකුණු 3000ක් ලබා සිය ස්ථානය රැක ගැනීමට ද සමත් විය.

තරගකරුවන් 64 දෙනකු සහභාගි වූ ජාතික ශූරතාවලියේ අවසන් තරගයේදී ආරුගම්බේ සර්ෆින් ක්‍රීඩා සමාජයේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන ප්‍රනීත් සඳරුවන්, අසංක සංජීව සහ 2018 වසරේ ජාතික සර්ෆින් ශූරතාව දිනූ ලසිත් ප්‍රභාත් අබිබවා යෑමට සමත් වූ 21 හැවිරිදි ලක්ෂිත ආරුගම්බේ රළ මත ඉතා අලංකාර පිමි කිහිපයක් පනිමින් රළ පහර අතර එක දිගට ආකර්ෂණීය ලෙස ලිස්සා යමින් රළ පහර මත සිය සර්ෆින් පුවරුව (Serfing Board) ඉතා සාර්ථකව සමබර කරගත්තේය.

පළමු වරට 2018දී පැවැති රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලියේ අනුශූරයා ද වන ලක්ෂිත මේ වසරේ ජනවාරියේ මාතර මඩිහේ පැවැති තරගාවලියත් මාර්තු මාසයේ හික්කඩුවේ පැවැති තරගාවලියත් ජයගත් ක්‍රීඩකයාද වේ.

ජාතික ශූරතාවලියේ දෙවැනි ස්ථානය හිමිවූයේ විවෘත ශූරතාව දිනා ගත් අසංක සංජීවටය. ලසිත් ප්‍රභාත් තුන්වැනි ස්ථානයටත් ප්‍රනීත් සඳරුවන් සිව්වැනි ස්ථානයටත් පත්වූහ.

රළ මත ලිස්සා යෑමේ සංගමය සමඟ එක්ව ශ්‍රී ලංකා ස්පෝර්ට්ස්රයිසින් ආයතනය විසින් සංවිධාන කරනු ලැබූ ශ්‍රී ලංකා රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය සහ විවෘත තරගාවලිය ‘සර්ෆින් පැරඩයිස්’ ලෙස හඳුන්වන ආරුගම්බේ සුන්දර මුහුදු තීරයේ පැවැත්වූයේ දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

ජාතික ශූරතාවලියට සමගාමීව පැවැති විවෘත තරගාවලියට විදෙස් තරගකරුවන් විශාල පිරිසක් එක් වී සිටි අතර, කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් තරගකරුවන්ට මේ සඳහා සහභාගි වීමට නොහැකි වුවත් දැනට රට තුළ සිටින විදේශිකයෝ විශාල පිරිසක් විවෘත තරගාවලියට එක් වී සිටියහ.

විදෙස් ක්‍රීඩකයන් සහභාගි වූ විවෘත තරගාවලියේ පළමු ස්ථානය දිනා ගැනීමට අසංක සංජීව සමත්වූ අතර, දෙවැනි ස්ථානය ඊශ්‍රාලයේ බාර්ට හිමි විය. තුන්වැනි ස්ථානයට පත් වූයේ ඔස්ට්‍රේලියාවේ ලියාම් මුරාඩ්ටය. දකුණු අප්‍රිකාවේ නිකිටා රොබ් විවෘත කාන්තා තරගය ජයගත් අතර, එස්ටෝනියාවේ කෘට් ලීසන් දෙවැනි ස්ථානයටත්, ශ්‍රී ලංකාවේ ඈන් සුනාරා ජයමාන්න තුන්වැනි ස්ථානයටත් පත් වූහ.

ආරුගම්බේ මුහුදු තීරය අවට පදිංචි ජනතාව අතර දැඩි උනන්දුවක් සහ අවධානයක් යොමු වූ මේ තරගාවලිය නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයෝ අතිවිශාල සංඛ්‍යාවක් රැස්ව සිටියහ.

 

ෆවුස් මොහොමඩ්

ආරුගම්බේ සිට...

No comments:

Post a Comment

Post Bottom Ad

Pages