විදෙස් රටක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා කැලුම් පෙරේරා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

විදෙස් රටක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා කැලුම් පෙරේරා

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ නම රැන්දූ ලක් මාතාවගේ දූ පුතුන් අපමණය. නමුත් විදෙස් රටක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉහළම ආයතනවල උසස් තනතුරු දෙකක්ම ඉසිලීමට තරම් භාග්‍යයක් ශ්‍රී ලාංකිකයකුට ලැබීම ගෞරවයකි. එවැනි විරල අවස්ථාවක් ලැබූ පළමු හා එකම ශ්‍රී ලාංකිකයා කැලුම් පෙරේරාය. හෙතෙම ඉතාලියේ ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩා කොමිසමේ උප සභාපතිවරයා ලෙසත්, එරට ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් ඉතාලියේ අතිශය ජනප්‍රිය හා ගෞරවයට පාත්‍රව සිටී.

තවමත් 36 හැවිරිදි වියෙහි පසු වන කැලුම් පෙරේරා එරට ඔලිම්පික් කමිටුවේ නිලයක් දරන ළාබාලතම පුද්ගලයා ද වේ. එමෙන්ම එවැනි ගෞරවනීය තනතුරකට පත් වූ එකම විදෙස් ජාතිකයා ද වේ.

ඔහු ඉතාලියේ ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ලැබුවේ වසර 2009දීය. දසදහසකට ආසන්න ක්‍රීඩා සමාජ සහ මිලියන දහයකට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වගකීම කරපින්නා ගත් ඉතාලි ඔලිම්පික් කමිටුවේ තනතුරට පත්වීමට පෙර කැලුම් පෙරේරා එරට ජාතික ක්‍රිකට් පිලේ ප්‍රබල සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය.

කැලුම් පෙරේරා උපන්නේ ද ඉතාලියේය. ඔහුගේ පියා කුමාරදාස පෙරේරාත්, මව අශෝකාත් ඉතාලියට සංක්‍රමණය වූයේ 70 දශකයේ අගභාගයේදීය. කැලුම් පෙරේරා යනු 70 දශකයේ දී මෙරට වෙළෙඳ සේවා ක්‍රිකට් තරග බිමේ දීප්තිමත් ක්‍රීඩකයකු වූ කුමාරදාස පෙරේරා මහතාගේ එකම පුත්‍රයාය. කුමාරදාස පෙරේරා මහතා ආනන්දයෙන් බිහි වූ ක්‍රීඩකයකු වන අතර, පසුකාලීනව ලේක්හවුස් ආයතනයේ සේවයට එක්වෙමින් 1975, 76 සහ 77 වසරවලදී වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ දස්කම් පෑවේය.

“මම අධ්‍යාපනය ලැබුවේ ඉතාලියේ. පොඩි කාලේදිම මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ මගේ තාත්තා. පිතිකරුවකු ලෙසත්, කඩුලු රකින්නකු ලෙසත් මට මගේ ක්‍රිකට් ජීවිතය ඉදිරියට ගෙන යාමට පසුකාලීනව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයන් වන ජේ.සී.ගමගේ, නිරෝෂන් රාමනායක (චම්පක රාමනායකගේ සොයුරා) වගේම අනූෂ සමරනායක මහත්වරුන්ගෙන් විශාල දායකත්වයක් ලැබුණා. නිරෝෂන් රාමනායක මහතා දැන් ජීවතුන් අතර නෑ.” කැලුම් පෙරේරා සිය මතකය අවදි කළේ එලෙසය.

“මම ඉතාලියේ ක්‍රීඩා සමාජ කිහිපයක් නියෝජනය කළා. ඉතාලියේ අවුරුදු 15න් පහළ, 17න් පහළ, 19න් පහළ හා 23න් පහළ කණ්ඩායම්වල නායකත්වය දැරුවා. ඉතාලි ජාතික කණ්ඩායමට වසර කිහිපයක්ම ක්‍රීඩා කළා. 2010 දී මම ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසු 2012 සිට 2016 දක්වා ඉතාලි ජාතික ක්‍රිකට් පිලේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළා. 2016 සිට මේ වසර දක්වා ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. ඉන් පසු මේ වසරේදී තමයි ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්වුණේ. ඒක ක්‍රිකට් සභාපතිවරයා විසින් සිදු කරනු ලැබූ පත්වීමක්. ඊට අමතරව මම එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවෙත් වසර කිහිපයක්ම ක්‍රීඩාවේ නිරත වුණා.” ඔහු කීවේය.

ක්‍රීඩකයකුට අමතරව පුහුණුකරුවකු ලෙසත් සිය කාර්ය භාරය ඉටු කළ කැලුම් පෙරේරා එංගලන්තයේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ පාඨමාලා ත්‍රිත්වයම හදාරමින් තෙවැනි මට්ටමේ (Level 3) සහතිකලාභියකු ද විය.

25 හැවිරිදි වියේදී ඉතාලියේ ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ලෙස පළමුවරට පත් වූ කැලුම් පෙරේරා මේ වන විට එහි කටයුතු කරමින් සිටින්නේ අඛණ්ඩව 11 වැනි වසරේය.

“ඔලිම්පික් කමිටුවේ තනතුරුවලට පත්වෙන්නේ ඡන්දයෙන්. තනතුරුවල සිටින අනිත් අය සියලුදෙනාම වගේ ඔලිම්පික් පදක්කම්ලාභී ඉතාලි ජාතිකයන්. ක්‍රීඩා අමාත්‍යාංශයක් ඉතාලියේ නැති නිසා ඔලිම්පික් කමිටුව තමයි ඉහළම ක්‍රීඩා ආයතනය වෙන්නේ. මට තරුණ වියේදීම එම තනතුරට පත්වීමට තරම් වාසනාව තිබුණා. මගේ ක්‍රීඩා ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වයත් පසුපස නිරතුරුවම සිටින්නේ මගේ ආදරණීය මව්පියන්. ඔවුන්ට මම සදා ණයගැතියි.” කැලුම් පෙරේරා අවසන් වශයෙන් කියා සිටියේය.

- ෆවුස් මොහොමඩ්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages