දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා

ඇමැති විමල් වීරවංශ

දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ට කඩිනමින් රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා දීමට කැපවෙන බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම සම්බන්ධව කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති විශේෂ වැඩසටහනේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේද කීවේය.

“ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රටේ සුවිශේෂී අවධානයට ලක් නොවුණු විවිධ කර්මාන්ත නිසි අවධානයට ගැනීම සඳහා කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශයක් හදනවා වගේම ඒ යටතේ රාජ්‍ය අමාත්‍යාංශ තුනකුත් නිර්මාණය කර තියෙනවා. එකක් මූලික වශයෙන් මේ රටේ රෙදිපිළි නිෂ්පාදකයන්ව ඉහළට ඔසවාලීමටයි. අනික ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ උන්නතිය අත්කර දීමටයි. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා යටතේ වඩු හා මැටි කර්මාන්තය ඇතුළු සුවිශේෂී කර්මාන්තවලට වැඩි අවධානය යොමු කර තිබෙනවා. එමඟින් කාලයක් තිස්සේ නිසි අවධානයට හා සැලකිල්ලකට ලක් නොවුණු දේශීය පාරම්පරික කර්මාන්ත වැඩිදියුණු කරන්න අපේ රජය ඉතා ඉහළ අවධානයක් යොමු කර තිබෙන බව කිව යුතුයි.

වෙනත් රටවල්වලින් මේ රටේ වෙළෙඳපොළ ආක්‍රමණය කළ බොහෝ නිෂ්පාදන අපට නිපදවන්න පුළුවන් ඒවා අඩපණ වුණ හේතුව තමයි චීනයෙන් හෝ වෙනත් රටකින් හෝ අඩු මිලට එන නිෂ්පාදන එක්ක අපට මේ වෙළෙඳපොළ තුළ තරග කරන්න බැරිවීම. ඒ ගැටලුවටත් අද එක්තරා ආකාරයකට පිළිතුරු ලැබී තිබෙනවා. නමුත් මේ තත්ත්වය දිගටම පවතින්නේ ලැබී තිබෙන වාසිදායක අවස්ථාව නියමානුකූලව යොදා ගත්තොත් පමණයි. නැත්නම් මේ රටේ පාරිභෝගික ජනතාවට ‘පිටරට පුටුවත් නැහැ, ලංකාවේ පුටුවත් නැහැ’ කියන වාතාවරණය නිර්මාණය වීමයි.

ඉදිරියේදී කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව කටයුතු කරන මණ්ඩපයක් අප හැදුවාම මෙම ගැටලු ඉතාම කඩිනමින් විසඳගන්න පුළුවන්. මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික යන මහත්වරුන් ද, රාජ්‍ය දැව සංස්ථාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු ද එක්ව සිටියහ.

 

 

රක්ෂණ ශ්‍රියන්ත

No comments:

Post a Comment

Post Bottom Ad

Pages