මාගේ ධුර කාලයේ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම මගේ අධිෂ්ඨානයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

මාගේ ධුර කාලයේ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම මගේ අධිෂ්ඨානයක්

ජනපති කියයි

සෞඛ්‍ය අර්බුදයකදී පහසුවෙන්  ප්‍රයෝජනයට ගත හැකි ප්‍රමාණවත්  රෝහල් සංඛ්‍යාවක් අමාත්‍යාංශ  කළමනාකරණය යටතේ පවතිනවා

අධ්‍යාපනයත් මුළුමනින්ම  මධ්‍යම ආණ්ඩුව යටතේ  තිබීම ඉතා වැදගත්

'යහපත් සීමාවාසිකයා'  දෙදින වැඩමුළුවේ  ආරාධිත දේශනය  ජනපතිගෙන්

නීරෝගි ජාතියක් නිර්මාණය කිරීම සඳහා තමාගේ ධුර කාලයේ කැප වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

සංවර්ධ‍නයේ මූලික කුලුනුවලින් එකක් වන්නේ නීරෝගි ජනතාවක් නඩත්තු කිරීම බවත් නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ ප්‍රධාන වගකීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ පෙරේදා (5) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩමුළුවේ ආරාධිත දේශනය කරමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව සෞඛ්‍ය පර්යේෂණ හා නවෝත්පාදන සංගමය ක්‍රියාත්මක කරන “2020 යහපත් සීමාවාසිකයා වැඩසටහන” වැඩමුළුවේදී ඔබ ආමන්ත්‍රණය කිරීමට ලැබීම මට සතුටක්.

අපේ සමාජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ තීරණාත්මක වැදගත්කම දැනට ලොව පුරා පැතිර යන කොවිඩ් - 19 වසංගතය හමුවේ දැඩි ලෙස අවධාරණයට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව බොහෝ දුරට මේ වසංගතයෙන් ආරක්ෂා වී ඇත්තේ මූලික වශයෙන් රජයේ විවිධ අංශ විසින් ගන්නා ලද තීරණාත්මක හා කඩිනම් පියවර සහ අපගේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සැබැවින්ම කැපී පෙනෙන ප්‍රයත්න නිසායි.

අ‍පගේ රෝහල්, රසායනාගාර, නිරෝධායන මධ්‍යස්ථාන හා ප්‍රජා මට්ටමෙන් සේවයේ නියුතු වෛද්‍යවරු, හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, තාක්ෂණ ශිල්පීන් හා වෙනත් බොහෝ කාර්යය මණ්ඩල සාමාජිකයන් අපගේ හමුදාවේ ක්‍රියාකාරී සහයෝගය ඇතිව මේ වෛරසය පැතිරීම පාලනය කිරීමට කැප වී සිටිනවා.

කොවිඩ් - 19 වසංගතය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට ප්‍රශංසා කිරීමට, උපහාර දැක්වීමට සහ මාගේ අවංක කෘතඥතාව පළ කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

මේ ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන සාර්ථකත්වයක් අත් කර ගත්තේ ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා වසංගතයට ප්‍රමාණවත් පරිදි ප්‍රතිචාර දැක්වීමට අසමත් වූ අවස්ථාවකය.

ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීමේ සිට සර්වජන සෞඛ්‍ය රක්ෂණයක් නොතිබීම, එම රටවල සෞඛ්‍ය සේවා ආයතනවල පෙර සූදානමක් නොවීම, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීම, කළමනාකරණ පද්ධති ප්‍රමාණවත් නොවීම ආදී විවිධාකාර හේතු ගණනාවක් නිසා වෛරසය පැතිරීම පාලනය කිරීමට බොහෝ සංවර්ධිත රටවල් පවා අසමත් වුණා.

බොහෝ රටවල වයිරසයට ගොදුරු වූ රෝගීන් රෝහලට බාර නොගත් අතර, තමා රැක බලා ගැනීම රෝගීයාටම පැවරුවා. නැතහොත් ප්‍රමාණවත් සැලකිල්ලකින් ප්‍රතිකාර ඔවුන්ට ලැබුනේ නෑ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රජාවට රෝගය සම්ප්‍රේෂණය වූ අතර, අවසානයේදී මෙම රටවල ආසාදිතයන් හා මරණ සංඛ්‍යාමව ඉතා වේගයෙන් ඉහළ ගියා.

මේ සන්දර්භය තුළ, කොවිඩ් - 19 වසංගතය නිසා පීඩා විඳින එකී ජාතීන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටින අතර, අපගේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා සංවර්ධනය වෙමින් පවතින රටක් වූවද ශ්‍රී ලංකාව මේ උවඳුරට ඉතා සාර්ථකව මුහුණ දුන් බව මම ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් - 19 ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගීයෙක් හෝ අපගේ සේවා පද්ධතියෙන් හරවා යවා නැහැ. සෑම රෝගියකුටම රජයේ වියදමෙන් අපගේ රජයේ රෝහල්වල දී ප්‍රතිකාර කරන අතර, තහවුරු වූ රෝගීන් 3110 අතරින් මේ දක්වා 2888ක් සාර්ථකව සුවය ලබා තිබෙනවා. මේ වන විට සිදුව ඇත්තේ මරණ 12ක් පමණයි.

කෙටි කාලයක් ඇතුළත අපට ස්ථාපිත කිරීමට හැකි වූ ශක්තිමත් පරීක්ෂණ යාන්ත්‍රණය සැක කටයුතු ලක්ෂණ සහිත රෝගීන් හඳුනාගෙන ඔවුන් වෙන් කර නිසි සත්කාර ලබාදීම තහවුරු කිරීමෙන් මේ ප්‍රයත්නයන්ට සහය වුණා. වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන රටවල සිට අප අපේ පුරවැසියන් දහස් ගණනක් ආපසු මෙරටට ගෙන්වා ගත්තා. නැවත පැමිණෙන්නන් රට පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබෙන අතර, ඔවුන් අපගේ හමුදා නිලධාරීන් ඉමහත් සැලකිල්ලෙන් රැක බලා ගන්නවා. මේ මධ්‍යස්ථාන බොහොමයක් මුළුමනින් කළමනාකරණය කරන්නේ රජයේ වියදමෙන්. මේ සියල්ල කවර මිනුම් දඬුවකින් මැන බැලුව ද කැපී පෙනෙන ජයග්‍රහණ බව කිව යුතුයි.

කොවිඩ් - 19 වසංගතයපාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම බොහෝ විදෙස් රටවල්, විචාරකයන් සහ පුද්ගලයන් ප්‍රශංසාවට ලක් කර ඇත්තේ මේ ජයග්‍රහණ හේතුවෙනි.

කොවිඩ් - 19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පෙන්නුම් කරන්නේ අපගේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියේ ශක්තිමත් භාවයයි. මෙවන් තත්ත්වයක් තුළ අපගේ පුරවැසියන් බොහෝ දෙනෙක් බාහිරව සෞඛ්‍ය සේවා අපේක්ෂා කරන්නේ කුමන හේතුවක් නිසා දැයි මට ප්‍රහේලිකාවක්.

බොහෝ අවස්ථාවල, ජනාධිපති අරමුදල සහ රජයේ වෙනත් සුබසාධන යෝජනා ක්‍රම ලබා දෙන ප්‍රදාන පවා පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගැනීම සඳහා භාවිත කරනවා.

රාජ්‍ය සෞඛ්‍යසේවා පද්ධතිය තව දුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව නිසැකවම පවතින අතර, මේ ක්‍රමවේදය තුළ අපට ඇති පහසුකම් වැඩි වශයෙන් භාවිත කිරීම දිරි ගැන්විය යුතු කාලය මෙය බැව් මාගේ විශ්වාසයයි.

කොවිඩ් - 19 වසංගතය උගන්වන තවත් වැදගත් පාඩමක් වන්නේ මධ්‍ය ගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යෑමේ වැදගත්කමයි. ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල්වල පරිපාලනය පළාත් සභාවලට පැවරී ඇතත්, වාසනාවකට මෙන් වසංගතයේ උච්ඡ අවස්ථාවන්හි දී දුෂ්කරතාවකින් තොරව ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරීත්වය යටතේ රට පුරා පැවතුණා.

සෞඛ්‍යාරක්ෂාව පළාත් සභාවලට සම්පූර්ණයෙන් පවරන ලද තත්ත්වයක අප සිටියේ නම් වසංගතයට ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව මීට බොහෝ සෙයින් වෙනස් විය හැකිව තිබුණා.

ඇතැම් කාර්යයන් සඳහා මධ්‍යම රජය සමඟ වගකීම පවත්වාගෙන යෑමේ ඇති වැදගත්කම අපගේ මෑත කාලීන අත්දැකීම් තහවුරු කරයි. අධ්‍යාපනය මේ හා සමාන ආකාරයෙන් විස්තර කළ හැකි පොදු ජන ජීවිතයේ තවත් වැදගත් අංශයක්.

අප මුහුණ දෙන අභියෝග සහ අවස්ථා සැබෑ ලෙස වටහා ගැනීම සහ ඒවාට අපගේ ප්‍රතිචාර නිසි ලෙස සැලසුම් කිරීම ජාතියක් වශයෙන් අපට වැදගත්. මීට මාසයකට පෙර පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව රජයට දුන් ජනවරමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකේය ජනතාව සංවර්ධනය පිළිබඳ පිපාසයෙන් සිටින බවයි. ඒ වගේම නිදහසට හේතු දැක්වීම් තුළින් ඔවුන් වෙහෙසට පත්ව සිටින බවයි.

සංවර්ධ‍නයේ මූලික කුලුනුවලින් එකක් වන්නේ නිරෝගී ජනගහනයක් නඩත්තු කිරීමයි. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ ප්‍රධාන වගකීමයි. මේ රටේ ජනාධිපති වශයෙන් මගේ ධුර කාලයේ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමෙහි ලා ක්‍රියා කිරීමට මා අදිටන් කර ගෙන සිටිනවා.

පසුගිය කාලවකවානුවේ මා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම කළ චාරිකාවලින්, අප සහෝදර ජනතාව මුහුණ පා සිටින සැබෑ ගැටලු පිළිබඳ අවබෝධයක් මා ලබා ගත්තා. බිම් මට්ටමේ ගැටලු, පිරිසුදු පානීය ජල හිඟයේ සිට නිසි අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් නොතිබීම දක්වා පුළුල් පරාසයක් තුළ විහිද යනවා.

තමන්ගේ විවිධ රෝගාබාධ සඳහා වෛද්‍යවරයකු මුණගැසීමට බොහෝ දුරක් ගමන් කරන පිරිස් අප රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල තාමත් සිටිනවා. විශේෂයෙන්ම වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ විමසීමේදී, මේ පුද්ගලයන්ගේ අවශ්‍යතා ප්‍රමාණවත් පරිදි සැපියීම සඳහා අවශ්‍ය රෝහල් ගොඩනැගීම හෝ වෙනත් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීම සාධාරණීකරණයට මේ ප්‍රදේශවල පහළ ජන ගණත්වය බාධාවක්ව පවතී. කෙසේ වෙතත්, වඩාත් සක්‍රීය, ප්‍රායෝගික මනසකින් මේ ගැටලු දෙස බැලුවහොත් පහසු ආකාරයෙන් විසඳුම් සොයා ගත හැකියි.

බොහෝ ග්‍රාමීය සමාජවල ගෘහස්ත මට්ටමින් කාන්තාවන් හා දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත්වීම සහ උපදෙස් දීම සිදුකරන ඉදිරි පෙළ සෞඛ්‍ය සේවා සපයන්නන් වන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්.

අපට නව සංකල්පයක් හඳුන්වාදීමට කාලය එළඹ තිබෙනවා. සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ප්‍රවේශවිය නොහැකි ඉතා ග්‍රාමීය සමාජවල ජනතාවට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් සැලසීම මහජන සෞඛ්‍ය හෙදියන්ට කළ හැකිය. ප්‍රමාණවත් පුහුණුවලත්, සුදුසුකම් සහිත හෙදියන්ට සරල ලෙඩරෝග හඳුනා ගැනීම සඳහා ජනතාවට සහාය විය හැකි අතර වෛද්‍ය උපදෙස් කෙරෙහි ඉහළ අවධානයක් අවශ්‍ය නම් ඒ සඳහා යොමු කරවීමට ඔවුන්ට පිළුවනි.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවල රෝගීන් ප්‍රදේශයේ සිටින වෛද්‍යවරයා වෙත යොමු කළ හැකියි. මෙවැනි ආරම්භයක් ග්‍රාමීය සමාජයේ වැසියන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති ඉඩප්‍රස්තා වර්ධනය කරනවා. එමඟින් ජාතික වශයෙන් වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ස්ථාපනයට මඟ පෑදෙන බව කිව යුතුයි.

මේ ක්‍රියාවලියට සමඟාමීව බොහෝ ග්‍රාමීය බෙහෙත් ශාලා නැවත සක්‍රිය කිරීමෙන් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු සඳහා මූලික මෙන්ම සරල විසඳුම් සැපයිය හැකියි. මෙවැනි ප්‍රජා මට්ටමේ සෞඛ්‍ය පහසුකම් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකිරීමට විශාල වශයෙන් දායකත්වය සපයයි.

අපේ විශ්වවිද්‍යලවලින් මෑතකදී පිට වූ වෛද්‍ය උපාධිධාරීන් වන වෛද්‍ය සීමාවාසික පුහුණුවට සුදුසුකම් ලැබ “යහපත් සීමාවාසිකයා” වැඩමුළුවට එක්ව සිටින තරුණ ඔබ ඇමතීමට මා විශේෂයෙන් කැමතියි.

වෛද්‍ය කේෂ්ත්‍රය යනු පුද්ගලයකුට පිවිසීමට හැකි වඩාත් උතුම් වෘත්තීන්ගෙන් එකක්. තරුණ වෛද්‍යවරු වූවද ඔබ අනෙක් පුද්ගලයන්ගේ ජීවිතවලට වගකිව යුතුයි. සමහර අවස්ථාවලදී රෝගියකුගේ රෝගී තත්ත්වය පිළිබඳ ඔබ දෙන විනිශ්චය එම පුද්ගලයාගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක නිගමනයක් වීමට හැකියි.

ඔබ දෙන තීරණය පුද්ගලයකුගේ ජීවිතය හෝ මරණය අතර දෝලනය විය හැකියි. සත්‍ය වශයෙන්ම මෙය සරලව ගත හැකි වගකීමක් නොවේ. එම්.බී.බී.එස්.වෛද්‍යවරයකු වීමට ප්‍රථම ඔබ වසර ගණනක් ලබන අධ්‍යාපනය සහ පුහුණුව ඔබගේ වෘත්තීය භූමිකාව කොතරම් වගකීම් සහගත දැයි පෙන්වා දෙනවා. සමාජයේ සෞඛ්‍ය සේවා සපයන්නෙක් යනු අතිවිශාල ගෞරවයකට පාත්‍ර වන්නෙකි.

මේ වාතාවරණය තුළ, වඩා හොඳ වෛද්‍ය ප්‍රතිපත්ති සහ ඔවුන්ගෙන් සමාජයට ඇති විශාල වගකීම පිළිබඳ තරුණ වෛද්‍යවරුන්ගේ දැනුවත්භාවය වර්ධනය කර සෞඛ්‍ය සේවා සැපයුමේ ගුණාත්මක වර්ධනය අරමුණු කොට පවත්වන “යහපත් සීමාවාසිකයා” වැඩසටහනට තෝරාගත් ඔබ සියලු දෙනාට මා සුබ පතනවා.

“ආරෝග්‍ය පරමා ලාභා” නීරෝගි බව උතුම්ම සැපතයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ ද දේශනා කර ඇත. ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට ඔබ කරන කැපවීම තුළින් සහෝදර ජනයාගේ අභිවෘද්ධිය සැලසීමට ඉමහත් සේ දායක වීමට ඔබට හැකියි.

විශිෂ්ට තරුණ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ලෙස ඔබ සැම හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාවට සේවය කරනු ඇතැයි මා අපේක්ෂා කරනවා.

සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සහ සෞඛ්‍ය නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ සංගමයේ සාමාජිකයන් සහ සෞඛ්‍ය පර්යේෂණ හා නවෝත්පාදන සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩමුළුවේ සමාරම්භයට එක්ව සිටියහ.

වැඩමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැලණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුරුවක් ද තිළිණ කළහ.

ජනාධිපතිවරයා මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයේ මෙහෙණින් වහන්සේ, ආයතන කාර්ය මණ්ඩලය සහ ධර්මචක්‍ර ළමා පදනමේ දැරියන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

 

නුවන් කොඩිකාර

No comments:

Post a Comment

Post Bottom Ad

Pages