ගුරුවරුන්ට නම් වරුවයි සුභාට නම් දවසම... - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-17

ගුරුවරුන්ට නම් වරුවයි සුභාට නම් දවසම...

සැප්තැම්බර් 17, 2020

ප පරම්පරාවට හුරු කටවහර ඇන්ටි අංකල් නොව නැන්දා මාමාය. සුබා නැන්දා යැයි කතා නායිකාවට මා අමතන්නට වූයේ ඒ හුරුවටය. මට ඇය මුලින්ම මුණ ගැසෙන්නේ සෙක්කුව නාට්‍යයෙනි. මෑතක අප අතරින් වියෝ වූ ගාමිණි (හෙට්ටිආරච්චි) මාමා සෙක්කුවේ රාළ ලෙස වේදිකාව මත රඟද්දී මගේ තාත්තා සංගීතවත් කළ සෙක්කුව නාට්‍යයේ ගායන වෘන්දයේ සිටි ගායිකාවන් තිදෙනා අතරින් කෙනෙකු වූයේ සුභාෂිණී හෙට්ටිආරච්චි නැන්දාය. පිරිමින් පමණක් රඟන සෙක්කුවේ මේ කතුන්ගේ සහභාගීත්වයට අවසරය වු‌යේ ඔවුන් එහි සාමාජිකයන් සමඟ විවාහ වී සිටීමය. අත දරුවකු ලෙස සුබා නැන්දාගේ තුරුලේ සිටි මට මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට සමත් වූ පසු කොරිඩෝවකදී සුබා මිස් හමුවිය. එහෙත් ඇයගේ ආමන්ත්‍රණය වෙනස් නොවිණි.

හය හතර තේරෙන සිසුවියක වන විට සුබාෂිණි මිස් කොළඹ බාලිකා විදුහල්වලට පූර්වාදර්ශයක් සපයමින් අප පාසලෙන් නාට්‍ය හා රංගකලාව ඉගැන්වීම ආරම්භ කළේ නිකම්ම ලද පත්වීමක් නිසා නොවේ යැයි වැටහිණ. ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් රංගනය හදාරා වයස අවුරුදු දාහතක පමණ යුවතියකව සිටියදීම දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයේ ගම දුව වූ ඇය ඉන්පසු විවිධ අධ්‍යක්ෂවරුන්ගේ වේදිකා නාට්‍යවල විවිධ චරිතවලට පණ පෙව්වාය. ඒ අතරින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය සුවිශේෂ විය. එපමණකින් නොනැවතුණු ඇගේ රංග ප්‍රතිභාව ටෙලි නාට්‍ය ඔස්සේද අපි දුටිමු. පාසල් සමයෙන් පසු මට ඇය හමු වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදීය. ඒ නාට්‍ය හා රංගකලා ශාස්ත්‍රපති උපාධිය හදාරන්නියක් ලෙසය. ප්‍රවීණ රංගන ශිල්පිනයක වූ සුභාෂිණී හෙට්ටිආරච්චි දයාබර බිරිඳක්, සෙනෙහෙබර මවක් මෙන්ම ආදරණීය ගුරුවරියක් ලෙස සිය යුතුකම් සියල්ල නොපිරිහෙළා ඉටු කළාය. දීප උදාන පාසල් නාට්‍යයට පුරෝගාමී චරිතය වූ ඇය පාසල් නාට්‍ය පිටපත්, ටෙලි නාට්‍ය පිටපත් මෙන්ම විවිධ ආයතන වෙනුවෙන් වාර්තා වැඩසටහන් සඳහා තිර පිටපත් ද සම්පාදනය කළාය. මෑතකදී ගුරු වෘත්තියට විශ්‍රාම දුන් ඇය දුෂ්කර සේවයේ සිට කොළඹ බාලිකා පාසල් දක්වා සතළිස් වසරක් ගුරු සේවයේ ලද අත්දැකීම් කැටි කොට සිය ප්‍රථම ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළි දැක්වූයේ පෙරේදා සවස බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටරයේදීය. එය ඔබත් මමත් ඇයත් අප සැම දෙනාමත් ආදරය කරන අපේ පාසල් අත්දැකීම් සහ අපේ දෙවැනි මවුපියන් වූ ගුරුවර ගුරුවරියන් පිළිබඳ ඇය ලද අතදැකීම් සමුදායක සම්පිණ්ඩනයක් ලෙසිනි. 'ගුරුවරුන්ට නම් වරුවයි' නමින් වූ එහි චරිත අතර වරෙක සිටින්නේ ඔබය. තවත් වරෙක මමය යැයි සිතෙන තරමට එය අපට සමීපය. ඒ අතර වරුවෙන් අවසන් වන, තුන් මසක නිවාඩුවක් සහිත පහසු වෘත්තියක් ලෙස ගැනෙන ගුරු වෘත්තිය තුළ සැඟවුණු දුක් කඳුළු වේදනා මෙන්ම සතුට සැපතද කැපිලි කෙටිලිද හාස්‍යෝත්පාදක අවස්ථා සහ මානුෂීය ගුණාංග ඇය මතු කරන්නේ ඇයට හුරු නාට්‍යානුසාරී ස්වරූපයෙනි.

මේ ඉන් කොටසකි. වයස විසිගණන්වලදී බොහෝ දුෂ්කර පෙදෙසක විද්‍යා ගුරුවරියක් ලෙස සිය පළමු පත්වීම ලබන කතා නායිකාවට මෙල්ල කළ නොහැකි පහේ පන්තියක් බාරවෙයි. පාසලේ ලොකු ටීචර් තරමක් තරබාරු මඳක් සැරපරුෂ මුහුණකින් සැරසුණු ඇත්තියකි. පළමු වැනි ශ්‍රේණියේ පන්ති කලින් ඇරුණු වහා සිය බත්පත දිගහැරගෙන කෑම ලොකු ටීචර්ගේ සිරිතයි. ඒ අතර දඟයන් තමන් අසලින් දණ ගස්වා දඬුවම් දීමටද අමතක නොකරයි. උපතින්ම රංගනය උරුම කරගත් සුබා ටීචර්ගේ සිත එවැනි දඬුවම්වලට යා නොදේ. දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් මෙල්ල කිරීම ඇගේ උත්සාහයයි. ඒ නිසා දවසට කරන හොඳ වැඩ පහක් ලියන ලෙස සුබා ටීචර් ළමයින් පොළඹවයි. එය බෝල අත්අකුරු ලිවීමටද පුරුදු කරවන උපක්‍රමයකි. හොඳ වැඩ කරන්නන්ට ටීචර්ගෙන් ටොපියක්ද තෑගි ලැබීමට නියමිත නිසා සිසුවෝ එකිනෙකාට කරගත් උදවු පදවු පොතක ලියා පෙන්වති. එය තවත් ගුරු භවතකුගේ බලවත් අවධානයට සහ ප්‍රසාදයටද හේතු වෙයි. එහෙත් එක් ළමයෙකු ලියූ හොඳ වැඩක් සුබා ටීචර්ට නරකට හිටි අපූරුව ඇය දක්වන ආකාරය අපූර්වය.

1. චන්දනගේ වැටුණු පොත අහුලා දුන්නා... ආදි වශයෙන් වන එහි 5. ලොකු ටීචර් කාපු තැන ගොඩක් බත් හැලිලා නිසා සුද්ද කරා.

ඇය එහි ප්‍රතිඵලය වින්දේ ලොකු ටීචර්ගෙන් පමණක් නොව ඇයගේ උත්සාහය අගය කළා සේ පෙන්වා මේ කේලම ලොකු ටීචර්ගේ කනේ තැබූ පසු එය විමසද්දී කිසිදාක නොදුටුවෙක් ලෙස අඹගසක් දෙස බලා උන් ගුරුවරයාගෙනි. සුභාෂිණී හෙට්ටිආරච්චි ලේඛිකාවගේ උපහාසය මතු වන්නේ එලෙසය. ඇය සමඟ ලොකු ටීචර්ගේ වැරැද්දට සිනාසුණු ගුරුවරයා නිසා ඇය ජීවිත කාලයටම වැදගත් වූ රුවන් වැකියක්ද තනා ගන්නේ මෙසේය. "එක්ව සිනාසෙන කේලාම්කාරයා ජයගනී"

වෘත්තීය කාලපරිච්ඡේදය තුළ කියාගත නොහැකි වූ මෙවන් කතා රැගත් පරිච්ජේද තිහකින් යුතු ගුරුවරුන්ට නම් වරුවයි ලියන්නට පාදක වූ නිමිත්ත ඇය පැවසුවේ මෙසේය.

"මගේ ගුරු ජීවිතේ දශක හතරක සත්‍ය අත්දැකීම් පාදක කරගෙන වුවත් කිසිවකුට හානියක් නොවන පරිදි මේ කෘතිය ලියන්න මම උත්සාහ කළා. මේ කතා තුළ තම තම නැණ පමණින් දැනගත යුතු යටි පෙළක් තිබෙන්න පුළුවන්. පාසල් පද්ධතියේ සමාජයට විවෘත නොවන කොටස් තිබෙනවා. වැටුප් ප්‍රශ්න ආදිය කතා කිරීමට වෘත්තීය සමිති තිබුණත් ගුරුවරුන්ට වන ගැටලු ආදිය කතා කිරීමට අවස්ථාවක් නෑ. මවුපියන්, සිසුසිසුවියන් වගේම ගුරුවරගුරුවරියන් සජීවී පිරිස නිසා ඔවුන්ට පෞද්ගලිකව සිදුවන අසාධාරණකම් ආදිය තමයි මෙසේ විවෘතව කතා කළේ.

සමහර විට ගුරුවරයකුට තමන් ප්‍රගුණ කළ විෂයය උගන්වන්න ලැබෙන්නේ නැහැ. හැබැයි පැවැත්ම වෙනුවෙන් නිහඬව ඉන්න සිදු වෙනවා. දරුවන්ටත් එහෙමයි. තමන්ගේ දක්ෂතාව අනුව ක්‍රීඩා කණ්ඩායමකට බැඳෙන්න බැරි වන අවස්ථා තිබෙනවා. ඒත් ඒවා විවෘතව කියන්න ගියොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා නිහඬව ඉන්නවා. ඕගොල්ලන්ටත් ඒ වගේ අත්දැකීම් ඕනේ තරම් ඇති. පාසල් පහ හයක සිටි නිසා විවිධ සමාජ මට්ටම්වල විවිධ අත්දැකීම් තිබෙනවා.

සාමාන්‍ය ගුරුවරුන්ට වඩා අපි රංගන ශිල්පිනියන් හැටියට පිටපළාත්වලට ගියාම ඒ ප්‍රදේශවල ගුරුවරුන්ගේ අත්දැකීම්වලට සවන්දෙන්න වන අවස්ථාත් තිබෙනවා. ඔවුන් නාට්‍ය බලන්න ආවාම ඔවුන් සමඟ කරන කතාබහවලින් ලැබෙන තොරතුරුත් අපේ අත්දැකීම් හා සැසඳෙනවා වෙලාවකට"

එසේ කියද්දි ඇය රංගන ශිල්පිනයකගේත් ගෘහණියකගේත් ගුරුවරියකගේත් භූමිකා තුලනය කරගත් ආකාරයද ඇසිය යුතුමය.

"සමහර දවස්වලට ඈත පළාත්වල නාට්‍ය පෙන්නලා උදේ හතරට කොළඹට සේන්දු වෙන්නේ. ඒත් අපට ළමයින්ගේ අධ්‍යාපනය නතර කරන්න බැහැ. ඒ නිසා එහෙම්ම මූණ කට හෝදලා අලුත් ඇඳුමක් ඇඳගෙන ඉස්කෝලේ ගිහින් උගන්වනවා. අපේ යුතුකම අපි කොහොම හරි ඉටු කළා. කාල කලමනාකරණය දැඩිව නොකළා නම් අවුල් වෙන්න තිබුණා. ගුරු වෘත්තිය කියන්නේ උසස්වීම්, ගමන් වියදම්, බෝනස්, ඔවර් ටයිම් මේ කිසිදෙයක් නැති වෘත්තියක්. හැමෝම හිතාගෙන ඉන්නේ උදේ රතු ඉරට කලින් ඉස්කෝලේ ගිහින් එකහමාරට ගෙදර යන්න පුළුවන්. වාර පරීක්ෂණවලදි උත්තර පත්තර බලලා ලකුණු දුන්නාම වගකීම ඉවර වන ලේසි ජොබ් එකක් කියලා. ඒත් ඒ ඇතුළාන්තේ තිබෙන ගැටලු, මමත්වය නිසා ඇතිවන දේවල්, මිනිස්කම් අමතක කරලා වැඩ කරන පිරිස් නිසා පීඩාවට පත්වන අය කොච්චර ඉන්නවාද? ඒවා අපි දරාගත්තා. හැබැයි මේ හැමදේටම ගාමිණි මට උදවු කළා. ඒ වගේම මට මේ පොත ලියන්න උනන්දු කළෙත් ගාමිණි."

ඇයගේ හඬ බිඳී යන්නේ ඒ සෙනෙහස අහිමි වී වැඩි කලක් නැති බැවිනි.

මම ඇයගෙන් භාෂාව හා ආකෘතිය ගැන විමසමින් මඟ වෙනස් කළෙමි.

"මම මෙහිදී භාෂාව හා සාහිත්‍යමය පැත්තට වඩා නාටකීය ආකෘතියකින් රසවත්ව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයි තිබුණෙ. ගුරුවරුන්ට නම් වරුවයි කියන නමත් යෙදුවේ පොදුවේ සමාජයේ තිබෙන කතාව එය නිසා. ඒත් කාර්යාලයක ලිපිගොනුවක් වගේ දරුවන්ගේ බැඳීම සවස 1.30න් පස්සේ අවසන් කරන්න බැහැ. ඒක වගකීමක්. අනෙක ගුරුවරියන්ට විශේෂිත වූ වෘත්තිය හා ගෘහස්ථ ප්‍රශ්න ආදිය ගැන වගේම සිසුන්ට ගුරුවරුන් අතින් සිදුවන දේවලුත් කතා කළා. ලෝක ගුරු දිනය සම්බන්ධ පරිච්ඡේදයකදී ගුරුවරුන්ට තිබෙන සතුටක් තමයි යන ඕනෑම තැනක අඳුනන ගෝලයකු සිටීම. ඒ සියලු දේ කෙටි වාක්‍ය යොදාගත් ශෛලියකින් ඉක්මනින් කියවා ගත හැකි ලෙසයි ලියන්න උත්සාහ කළේ"

ලියා පසෙක තැබූ ගුරුවරුන්ට නම් වරුවයි කෘතිය එළි දැක්වීමට ඇය උනන්දු කළ අයට ඇය කෘතගුණ පුද කරන්නටද මෙය අවස්ථාවක් කරගනී.

"ගාමිණි කීව නිසා පොත ලීවට ඒක මම පැත්තක තිබ්බා. ඒත් සුමිත්‍රා රාහුබද්ද මහත්මිය තමයි පොතේ වගකීම අරගෙන ඇගේ ප්‍රකාශනයක් ලෙස තමයි මෙය එළිදකින්නේ. මෙහි පිටකවරය ඇඳ දුන් නුවන් තේනුවරටත් මගේ හදවතින්ම ස්තූතිය පුද කරනවා." ඒ වගේම මගේ පුතා සහ ප්‍රතිභා දුවත් මට ශක්තියක් වුණා.

ඇය මා හා කතාව නිමකරමින් මෙසේ කීවාය.

"අනෙක් කොයි දේ ලියනවාටත් වඩා ලොකු තෘප්තියක් තිබෙනවා පොතක් මුද්‍රණයෙන් එළි දැක්කාම. මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් පොත් මගෙන් ලියැවේවි"

 

නිශ්ශංක විජේරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages