ලංකාවේ මුල්ම DIG නෝනා – පොලිස් කොමිසමටත් නීති වෙනස් කරන්න වුනු හැටි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

ලංකාවේ මුල්ම DIG නෝනා – පොලිස් කොමිසමටත් නීති වෙනස් කරන්න වුනු හැටි!

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය අලුත් කරමින් පළමු වතාවට පොලිස් නිලධාරිනියක නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට නියමිතය.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් මෙම තනතුරට පත්වීමට සුදුසුකම් සපුරා ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්සානි ජාසිංහආරච්චිය.

1997 වසරේ උප පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවයට එක්වූ බිම්සානි ජාසිංහආරච්චි 2017 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලැබුවාය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරට පත් මුල්ම නිලධාරිනිය ලෙස සැලකුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක ලෙස විශ්‍රාම ලැබූ ප්‍රමිලා දිවාකරය. ඇයට පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයට කාන්තාවෝ නවදෙනෙක් පත්වූහ. ඒ අතරින් නියෝජ්‍ය පොලිස්පති තනතුරට සුදුසුකම් සපිරූ ඉහළම නිලධාරිනිය වූයේ බිම්සානිය.

වීරකැටිය ගල්පොත්තයාය ගමේ උපන් බිම්සානිට, සහෝදර සහෝදරියන් දස දෙනෙකි. ඇය පවුලේ තෙවැන්නාය. ජිනසේන ජාසිංහආරච්චි පියාටත්, විමලා කුරුගමගේ මවටත් තිබූ අභියෝගය වූයේ තම දරු පැටවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමය. බිම්සානි කුඩාවියේ පටන්ම ක්‍රීඩාවට මෙන්ම පොතපතටද ඇලුම් කළාය.

මීගස්ආර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන අතරතුර ඕ ක්‍රීඩා ජයග්‍රහණ රැසක්ද ලැබුවාය. සාමාන්‍ය පෙළ උසස් අයුරින් සමත් වූ ඇය අනතුරුව ඇතුළත් වන්නේ තංගල්ල බාලිකාවටය. එහිදී උසස් පෙළ අභියෝගය සාර්ථකව ජයගෙන විශ්වවිද්‍යාල වරම් ලබන්නේ සිය සහෝදර සහෝදරියන්ගේ අඩිපාරේ යමිනි.

ඒ අනුව 1992 වසරේ රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලබන අතරතුර පොලිස් නිලධාරිනියක ලෙස එහි සේවයට එක්වන්නට තිබුණා නම් හොඳ යැයි සිතිවිල්ලක් බිම්සානිගේ සිතේ ඇතිවෙමින් තිබිණ.

‘‘මම කැම්පස් එකේ අවසන් වසරේ ඉන්න කාලේ පොලිසියට හරි කොතලාවල ඇකඩමියට හරි යන්න ආසාවක් තිබුණා. දවසක් හොස්ටල් එකේ පත්තරයක් බලද්දි ඒ.එස්.පී. කාන්තාවන් ගන්නවා කියලා දැන්වීමක් දාලා තිබුණා. උපාධිධාරීන් ගන්නවා කියලා තිබුණ නිසා මමත් අයැදුම් කළා’’ බිම්සානි සිය මතකය අවදි කරන්නට වූවාය.

1997 පෙබරවාරි 04 වැනිදා ආධුනික ​උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ඇය පොලිස් සේවයට එක්වන්නේ සරසවියේ අවසන් වසර ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපනය ලබමින් සිටියදීමය.

ඇය සමග පොලිස් ඉතිහාසයේ වැඩිම කණ්ඩායම වූ කාන්තා ​උප පොලිස් පරීක්ෂිකාවන් 167ක් පුහුණුව ලැබුවාය. පුහුණුවෙන් පසු බිම්සානි තේරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

ඇය පුහුණුව අවසන් කර විසිර යන උත්සවය දා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ එවකට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි අනුරුද්ධ රත්වත්තේය. ආරාධිත අමුත්තා එදින යෝජනා කළේ සියලු දෙනා යුද්ධයේ අත්දැකීම් ගන්නට පළමු මාස කිහිපය මෙහෙයුම් කලාපවලට යායුතු බවය.

‘‘ඒක සුන්දර කාලයක් නෙවෙයි. මම ගියේ වව්නියාවට. 1997 කියන්නේ යුද්ධය හොඳටම තිබුණු කාලයක්. රැයක් දවාලක් නැතිව අපි රාජකාරි කළා. මාස හතරක් පමණ ගියාට පස්සේ මට සී.අයි.ඩී. එකට එන්න හැකිවුණා.’’

රහස් පොලිස් නිලධාරිනියක් ලෙස අපරාධ විසඳීම, වාණිජමය අපරාධ විමර්ශනය මෙන්ම පොලිස් පුහුණු ක්ෂේත්‍රයේ දේශකවරුන් ලෙසද එක්වන්නට බිම්සානිට එවකට හැකි විය.

ඇය විශ්වවිද්‍යාලයේ පටන්ම දැකපු සිහිනය සැබෑ කරමින් 2000 වසරේදී සහකාර පොලිස් අධිකාරී බඳවා ගැනීම් විවෘත විභාගයද සමත් වූවාය. විභාගයෙන් ඉහළ ලකුණු ප්‍රතිශතයක් ලබා සමත් වුවත් ඇයට සිහිනය සැබෑ කරගන්නට නොහැකි විය. ඒ පිරිමි නිලධාරීන්ට පමණක් උසස්වීම් දීමට ගත් තීරණයක් හමුවේය.

පොලිස් ඉතිහාසය අලුත් කරන්නට ඇය තමාට වූ අසාධාරණයට එරෙහිව නීතියේ දෙවඟන හමුවට ගියාය. බාධක, කම්කටොලු මැද ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඇයට අයිතිවාසිකම් දිනා ගන්නට හැකිවන්නේ දීර්ඝ නඩු විභාගයකින් පසුවය. නඩු විභාගය අතරේ ඇය 2006දී කාන්තා පොලිස් පරීක්ෂක තනතුරටද උසස්වීම් ලැබුවාය.

රුහුණු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද හිමිකරගන්නේ පොලිස් සේවයේ සිටියදීමය.

2007 වසරේදී තමාගේ පළමු සිහිනය සැබෑ කරගන්නට බිම්සානි ජාසිංහආරච්චි සමත් වූවාය. පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස තරග විභාගයෙන් සමත් වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස ඇය පොලිස් ඉතිහාසයට එක්වූවාය.

2017 වසරේදී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක ලෙස තවත් අටදෙනකු සමග උසස්වීම් ලබන්නේ අයිතීන් දිනා ගන්නට කළ සටනක් නිසාය. ජාතික පොලිස් කොමිෂන් සභාව කාන්තා නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කරන්නේ මේ වෙනුවෙනි.

ශ්‍රී ලංකා පොලිසියේ අනුමත කාර්ය මණ්ඩලය (Approved Cadre) යටතේ පොලිස් කතුන්ට ලැබිය හැකි ඉහළම තනතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය ලෙස විය. එම සීමා මියිම් බිඳ දමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමට ජාතික පොලිස් කොමිසම මුල්වී කටයුතු කළේය.

මේ අයුරින් කාන්තා අයිතිය වෙනුවෙන් කළ සටන නිසාම බිම්සානි ජාසිංහආරච්චි පොලිස් ඉතිහාසය වෙනස් කරන්නට මුල්වී ඇත. ඒ අනුව ඇය පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය. ඒ සඳහා වූ නිර්දේශය පොලිස් කොමිසමට එවන්නැයි පසුගිය සතියේ වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න පොලිස් කොමිසමට නියෝග කළේය.



from රට තොට – Colombo Tribune https://ift.tt/36eDtcy
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages