මන්චි ජාතික වොලිබොල් ශූරතාවලිය 16 දා ඇර⁣ඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

මන්චි ජාතික වොලිබොල් ශූරතාවලිය 16 දා ඇර⁣ඹේ

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ආධුනික තරගාවලියේදී ස්ථිර පදිංචිකරුවන්ට වැඩි අවස්ථාවක්

ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනය සි⁣ලෝන් බිස්කට් සමාගමේ මන්චි අනුග්‍රහයෙන් සංවිධාන කරන 'මන්චි ජාතික වොලිබොල් ශූරතාවලිය' මේ මස 16 වැනිදා ආරම්භ වෙයි.

මේ ශූරතාවලියට මන්චි අනුග්‍රහය දෙන 13 වන අවස්ථාව මෙයයි. තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව සහ අනුග්‍රාහකත්වය පිරිනැමීම පෙරේදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක සහ ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ පසුගිය කාලය දෙස බැලීමේදී වොලිබොල් ක්‍රීඩාව ගැන මේ වසරේ සතුටට පත් විය හැකි බවයි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ඒමට හැකිවීම සහ සම්මේලනයක් ලෙස කලක් තිස්සේ පැවැති සිහිනයක් සැබෑ කර ගැනීමට හැකි වීම ඊට හේතු වූ බව ද ඒ මහතා කීය .

"ලෝකයේ රටවල් 222ක් වොලිබෝල් ක්‍රීඩා කරනවා. මීට වසර 9කට පමණ පෙර ශ්‍රී ලංකාව ඒ අතරේ 112 වැනි ස්ථානයේ පසු වුණා. වසර තුනකට පෙර අප ක්‍රීඩා භාර ගනිද්දී 70 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 60 වැනි ස්ථානය දක්වා ඉදිරියට ගෙන ඒමට හැකිවීම පැහැදිලි ජයග්‍රහණයක්." යැයි කී සියඹලාපිටිය මහතා වසර 13ක් පුරා ජාතික තරගාවලියට පූර්ණ සහයෝගය දීමෙන් මන්චි ආයතනය ද මෙහි කොටස්කරුවන් වූ බව ද පැවැසීය.

එමෙන්ම කොරෝනා වසංගතය හමුවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබියදී මේ වසරේ තරගාවලි පැවැත්වීමට මන්චි ආයතනය සහයෝගය ලබාදීම අගය කළ යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් සම්මේලනයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක අයිතිය පිරිනැමීම පිළිබඳ අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා "මෙරට වොලිබෝල් ක්‍රීඩකයන්ගෙන් 95%ක් එළිමහනේ පුහුණුවීම් කරන්නේ. ඒත් ලොව ජය ගැනීමට යෑමේදී මේ ක්‍රීඩකයන් පුහුණු කිරීම දැඩි අභියෝගයක් වුණා. ඒ රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවට සම්මේලනය සතුව ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නැති වීම නිසා. ඊට ඉඩමක් සොයමින් සිටියදී වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සමඟ පැවැති පළමු සාකච්ඡාවෙන්ම එතුමා අපට ගාල්ලෙන් අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් දුන්නා. ඒ ගැන එතුමාට ස්තූතිවන්ත වෙනවා." යැයි පැවැසීය.

ජාතික ශූරතාවලිය මෙවරත් කාන්තා/පිරිමි සුපර් ලීග් සහ ආධුනික ලෙස කොටස් දෙකකින් සමන්විතව පැවැත්වේ.

මෙරට ආයතන වශයෙන් ප්‍රබල පිරිමි කණ්ඩායම් 8ක් සහ කාන්තා කණ්ඩායම් 6ක් සුපිර් ලීග් තරගාවලියට එක් වෙයි. පිරිමි තරගාවලියට පසුගිය වසරේ ආධුනික ශූරයන් වූ ඕෂන් ලංකා ආයතනය එක්ව ඇති අතර, කාන්තා තරගාවලිය පසුගිය වසරේ ආධුනික අවසන් තරගයට සුදුසුකම් ලැබූ හයිඩ්‍රාමනී සහ මහඋස්වැව රතනපාල කණ්ඩායම් එක්ව සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කාන්තා පිරිමි දෙඅංශයෙන්ම තරග වදින අතර, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා පොලීසිය සහ ඕෂන් ලංකා පිරිමි තරගාවලියටත්, හයිඩ්‍රාමනී ආයතනය සහ මහඋස්වැව ක්‍රීඩා සමාජය කාන්තා තරගාවලියටත් එක් වෙයි.

ආධුනික තරගාවලියට අයැදුම්පත් පත් බාර ගැනීම මේ මස 15 වැනිදා අවසන් වන අතර, තරගාවලිය 16 දා ආරම්භ වෙයි. දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන මූලික තරග නොවැම්බර් 15 අවසන් වන අතර, එහි ජයග්‍රාහකයන් ජාතික තරගාවලියට සුදුසුකම් ලබයි. එම තරග නොවැම්බර් 21-22 දිනවල පැවැත්වෙයි. දිස්ත්‍රික් ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දීමේ අරමුණින් මෙවර ආධුනික තරගාවලියේ නීති සංශෝධනය කිරීමට වොලිබෝල් සම්මේලනය කටයුතු කර ඇත. ඒ අනුව දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචි ක්‍රීඩකයන් 9 දෙනෙකු කණ්ඩායමට එක් විය යුතු අතර, පිටතින් කණ්ඩායමට එක් විය හැක්කේ 5 දෙනකුට පමණි.

මේ සුපර් ලීග් සහ ආධුනික තරග ගාල්ලේදී පැවැත්වෙන අතර, අවසන් තරග නොවැම්බර් 28 මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් වොලිබොල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවැසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් තරග පැවැත්වෙන බැවින් දිනය සහ ස්ථානය වෙනස් විය හැකි බවයි.

සිලොන් බිස්කට්ස් සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී නලීන් කරුණාරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages