කැලණි ගඟ දෙපස පරිසර වාර්තා නොගත් කර්මාන්ත ශාලා 4000ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා නොගත් කර්මාන්ත ශාලා 4000ක්

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කැලණි ගඟ දෙපස කර්මාන්ත ශාලා 7000ක් පමණ පිහිටා ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබාගෙන ඉදි කර ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණ ප්‍රමාණයක් බවත් පරිසරවේදීහු පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාට තොරතුරු අනාවරණය කර ඇත.

පරිසර අමාත්‍යාංශයේ දී සියලුම පරිසර සංවිධාන නියෝජිතයන් සමඟ ඇමැතිවරයා ඉකුත් 29 වැනිදින පැවැත් වූ හමුවේදී මේ තොරතරු අනාවරණය කර තිබේ.

එහිදී පරිසරවේදීන් පෙන්වා දුන්නේ කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන ජල මුලාශ්‍රය වන කැලණි ගඟ අපවිත්‍රවීම වැළැක්වීමට පාරිසරික වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බවය.

මේ කර්මාන්ත ශාලාවලින් පිට කරන අප ජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය වහාම අධ්‍යයනය කළයුතු බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පැහැදිලි දායකත්වය ලබාදිය යුතු බවත් ඔවුහු අවධාරණය කර ඇත.

එමෙන්ම කැලණි ගග දෙපස පදිංචි ඇතැම් පුද්ගල නිවාස සඳහා විදිමත් වැසිකිළි පද්ධති නො තිබීමත් ඔවුන් විසින් බැහැර කරනඅපද්‍රව්‍ය කැළණි ගගේ ජලයට මුසුවීමට ඉඩ ඇති බවද, එම හේතුවෙන් ඊ-කොලි බැක්ටිරියාව පවා ජලයට එකතු වීමේ හැකියාවපවතින බවත් ඔවුන් විසින් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කැලණි ගග දෙපස ඇති පරිසර වාර්තා ලබා නො ගෙන ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කර ඊට අදාළ වාර්තා තමන්ට ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී ඇත.

එමෙන්ම පරිසර සංරක්ෂණය උදෙසා තමන් ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පරිසර ආරක්ෂණ බළකායක් අමාත්‍යාංශ 16ක ලේකම්වරුන්ගේ සාමාජිකත්වය යටතේ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බව ද ඇමැතිවරයා පවසා තිබේ.

ඒ යටතේ දිවයිනේ ගංගා 103ක් සංරක්ෂණය උදෙසා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ වන බැවින් කැලණි ගඟ මෙන්ම නාගරික පානීය ජල අවශ්‍යතා සපුරන අනෙකුත් ගංගාධාර සංරක්ෂණය උදෙසා පියවර ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

අමෝදා ජයමහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages