ලෝක ළමා දින සැමරුමට එක් වෙමින් ජනපති දිස්ත්‍රික්ක 5ක පාසල්වලට පුස්තකාල පරිත්‍යාග කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

ලෝක ළමා දින සැමරුමට එක් වෙමින් ජනපති දිස්ත්‍රික්ක 5ක පාසල්වලට පුස්තකාල පරිත්‍යාග කරයි

දිස්ත්‍රික්ක 5ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි.

සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරීරික නිරෝගීකම රැකගත හැකි බව තමා පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී වඩාත් පැහැදිලි වු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා පිටි රැසක් සංවර්ධනය කෙරෙමින් පවතින අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25ක් සඳහා පුස්තකාල පහසුකම්දීම ආරම්භ කෙරිණ.

'ලෝක ළමා දිනය' සැමරෙන ඔක්තෝබර් 1 වැනිදායින් 'කියවිමේ මාසය' ද ඇරඹෙන අතර අනාගත පරපුර පොත පතට නැඹුරු කරවීම ලෝක ළමා දිනයට සමගාමීව අරඹමින් ඊයේ (1) පෙරවරුවේ පාසල් 5ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුස්තකාල පරිත්‍යාග කෙළේය.

පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොළොස්භාගේ කනිෂ්ඨ විද්‍යාලය, ධර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල, පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණ.

ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබෙන අතර අංග සම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වේ.

මොබිටෙල් ආයතනය ඊ-පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ලැබේ. ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, මනුසත් දෙරණ සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය පුස්තකාල ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය සපයයි.

කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශකයන් විසින් පරිත්‍යාග කරන ලද ග්‍රන්ථ ද පුස්තකාල වෙත භාර දෙනු ලැබිණ. දරුවන් සමඟ පොත පත පිළිබඳ තොරතුරු සාකච්ඡා කරමින් කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලය නැරඹීමට ද ඔවුන්ට ආරාධනා කෙළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages