ප්‍රහාරයෙන් පසු එහි වරද තමන්ට යොමු කිරීම ඉතාම අසාධාරණයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

ප්‍රහාරයෙන් පසු එහි වරද තමන්ට යොමු කිරීම ඉතාම අසාධාරණයි

Author(s): 
සුභාෂිණී සේනානායක

- පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසම

ජාතික බුද්ධි ප්‍රධානියා මඟින් තමන්ට තොරතුරු ලැබිය යුතු අතර එවකට ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා තමන් වෙත වාර්තා යොමු කර නැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් යුද හමුදා බුද්ධි ප්‍රධානියාට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට කතා කර ‘මොනවා හරි වෙන්න පුළුවන්‘ යනුවෙන් ප්‍රහාරයක අවදානමක් පිළිබඳ දැනුවත් කර තිබුණද තමන්ව එලෙස දැනුවත් නොකළ බවත්, ප්‍රහාරයෙන් පසු එහි වරද තමන්ට යොමු කිරීම ඉතාම අසාධාරණ බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ පසුගියදා (29) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද කීය.

මා එලෙස දැනුවත් කළේ නම් කෙසේ හෝ ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත්වීමක් ලබාගැනීමට අවස්ථාව තිබුණා. ඇඳිරි නීතිය පැනවීමට, පොලීසිය සහ හමුදාව කැඳවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් මැදිහත්වීමට අවස්ථාව තිබුණා. ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුම්වත් කරනවා ද? රාජ්‍ය ආරක්ෂක ඇමැති දැනුම්වත් කරනවා ද? කියන දේත් විමසීමට තිබුණා.

ඒක ඇහුවා නම් දෙන උත්තරයත් මා දන්නවා. නමුත් එය දැනුම්වත් කරන්න පුළුවන්නේ.

අප්‍රේල් මස 20 වැනිදා ඉදිරි පැය 24ක කාලයේ නිශ්චිතව ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබුණු පසු මොහොතකට පෙර පැවසූ ආකාරයට ජනාධිපතිවරයාව දැනුවත් නොකළේ ඇයිද යන්න පිළිබඳව සාක්ෂි මෙහෙයවූ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේය.

එහිදී හේමසිරි ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසුවේය.

‘ඒ මොහොත වන විටත් ප්‍රමාද වී තිබෙන බව මගේ හිත පැවැසූවා. කෙසේ වෙතත් ප්‍රහාරයට සහරාන් ඇතුළු කණ්ඩායම කොළඹට පැමිණ ඇත්තේ අප්‍රේල් මස 20 වැනිදාට දින තුනකට පෙර. එහෙත් කිසිදු බුද්ධි අංශයකට ඔවුන් සොයාගැනීමට නොහැකි වුණා.

නමුත් මට නිලන්ත කියූ වෙලාවේ මා ඇහුවා මොකක් ද නිලන්ත දැන් කරන්න ඕනේ කියලා. මොකද මේ තොරතුරේ අයිතිකාරයා ඔහු. ඒ වෙලාවේ ප්‍රහාරය වළක්වා ගන්න හැකි වෙයි ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබුණත් යුද හමුදා බුද්ධි ප්‍රධානියාට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට පැවැසු මොහොතේ මටත් එය දැනුම්දීමට තිබුණා. ප්‍රහාරයේ හානිය අවම කර ගන්න හරි උත්සාහ කරන්න තිබුණා.‘

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් මස 20 වැනිදා ඔබව දුරකතන ඇමතුමකින් සම්බන්ධ කරගෙන තිබෙනවා නේද?

සාක්ෂිකරු:

ඔව් මට මතකයි. හවස 04න් පස්සේ වගේ කතා කළේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

කතා කරලා මොනවා ද ඔහු කිව්වේ?

සාක්ෂිකරු:

සර්, මම වට්ස්ඇප් පණිවිඩයක් එව්වා කියෙව්වාද කියලා ඇහුවේ. මම කිව්වා නෑ මම බලලා ගන්නම් කියලා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

ඔබට එය එවා තිබුණේ 16.53ට නේද?

සාක්ෂිකරු:

ඔව්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

20 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා කතා කළාට පසුව නේද ඔබ වට්ස්ඇප් පණිවිඩය බැලුවේ ?

සාක්ෂිකරු:

ඔව්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

ඔබේ දුරකතන වාර්තා අනුව ඔබ 20 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා පැය 18යි විනාඩි 2යි. තත්පර 16ට. තත්පර 202ක කාලයක් දක්වා ඇමතුම තිබෙනවා කිව්වොත් නිවැරැදි ද?

සාක්ෂිකරු:

වාර්තාවේ සඳහන් වෙනවා නම් නිවැරැදියි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

වට්ස්ඇප් පණිවිඩය ඔබ හොඳින් කියෙව්වා ද?

සාක්ෂිකරු:

ඉතා හොඳින් කියෙව්වා. තුන් හතර වතාවක් කියෙව්වා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

ඒ පණිවිඩය කියවද්දී මුල් තොරතුර ඔබට මතක් වුණා ද?

සාක්ෂිකරු:

ඔව් මතකයට ආවා. මුල් තොරතුර නිශ්චිත බැවින් අඩු වුවත් දෙවෙනි තොරතුර නිශ්චිත බව වැටහුණා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න උත්සාහ කළත් ඔහුගේ දුරකතනය කාර්යබහුල වෙලා තිබුණේ. පස්සේ මම well recieved කියලා මැසේජ් එකක් යැව්වා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

20 වැනිදා පණිවිඩය කියවද්දී ප්‍රහාරයක් ඉතා ඉක්මනින් විය හැකි බව වැටහුණා ද ?

සාක්ෂිකරු:

විය හැකි බව වැටහුණා ස්වාමීනි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

ස්ථාන ගැන අවබෝධයක් ලැබුණා ද ?

සාක්ෂිකරු:

ඔව්. මීට කලින් තිබුණ තොරතුරේ සඳහන්ව තිබු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දෙවෙනි පණිවිඩයෙන් ඉවත් වෙලා තිබුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

මෙය විශ්වාසදායක තොරතුරක් බවට ඔබට විශ්වාසයක් ඇති වුණා ද ?

සාක්ෂිකරු:

ඔව්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණයක් කරන බවට ඔබ සෑහීමකට පත් වුණා ද?

සාක්ෂිකරු:

ඔව්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

18 වැනිදා ඔබ සමඟ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සාකච්ජා කළ තාලම්කුඩා බයිසිකල් බෝම්බය පිපිරීම මේ ප්‍රහාරයට පෙරහුරුවක් බවට ඔබ සෑහීමකට පත් වුණා ද?

සාක්ෂිකරු:

ඔව්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

මේ ප්‍රහාරය අප්‍රේල් මස 21 හෝ ඊට පෙර කුමන හෝ වේලාවක සිදු විය හැකි බවට වැටහුණා ද ?

සාක්ෂිකරු:

ඒ පිළිබඳ මට උත්තරයක් දෙන්න අපහසුයි. කොච්චර නිශ්චිත වුණත් අවසන් මොහොතේ එය නොවෙන්නට පුළුවන්. කුච්චිවේලි නාවික කඳවුරට ගහනවා කියලා පළමු නිශ්චිත තොරතුර ආ දවසේ ගැහුවේ නෑ. ඊට දවස් පහකට පස්සේ ගැහුවේ. නමුත් මෙතැනදී ප්‍රහාරයක් වෙයි කියලා වැටහුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

මෙවන් තොරතුරක් සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් කියවනවාට වඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පුහුණුව ලත් නාවික හමුදාවේ නිලධාරියෙක් මෙය කියවන විට බරපතළ බවක් වැටහෙනවා නේද?

සාක්ෂිකරු:

ඔව් වෙනසක් තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

ඒ අනුව ඊළඟට ගත් පියවර කුමක් ද?

සාක්ෂිකරු:

නිලන්තට දුරකතනයෙන් කතා කරන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා. මා කම්පනයට පත් වෙලා හිටියේ. මේ තොරතුර අනුව යමක් සිදුවුවහොත් කොතරම් බරපතළ තත්ත්වයක් ඇති වෙයි ද කියලා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

සමා වෙන්න හේමසිරි ප්‍රනාන්දු මහත්මයා මම ඔබතුමාට බාධා කරනවා. 04 වැනිදා මුල් තොරතුර 08 වැනිදා ඔබ දැන ගත්ත වෙලාවේ ඔය වගේ කම්පනයක් ඔබට දැනුණේ නැහැනේ?

සාක්ෂිකරු:

ඔව්. මෙතැනදී තත්ත්වය වෙනස් ස්වාමීනි. මම ඒ වෙලාවේ නිලන්තට කතා කරන්න උත්සාහ කළාට බැරි වුණා. ටිකකින් මට වට්ස්ඇප් පණිවිඩයක් ආවා නිලන්තගෙන්. IGට සහ CNIට කතා කරලා මේක කිව්වා කියලා. පස්සේ මම නිලන්ත එක්ක කතා කළා. මට මතකයි මම එක ප්‍රශ්නයයි ඇහුවේ 'නිලන්ත මොනවා ද දැන් කෙරෙන්න ඕනේ ' කියලා. සර්, මම IGPට කතා කළා. සර්ත් කතා කරන්න කියලා තමයි කිව්වේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

පොලිස්පතිතුමාට එතුමා කතා කළා නම් ඇයි ඔබට කතා කරන්න කියන්නේ?

සාක්ෂිකරු:

ඒක එතුමාගෙන් අහන්න ඕනේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:

හේමසිරි ප්‍රනාන්දු මහත්මයා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා එහෙම නෙවෙයි නේද කිව්වේ? ඔහු කිව්වේ සර් මම IGට කිව්වා ඒත් IG ගණන් ගන්නේ නෑ වගේ සර් කතා කරලා කියන්න කියලා නේද කිව්වේ?

සාක්ෂිකරු:

මට එහෙම මතකයක් නෑ. මට මතක අර විදිහට.

පසුව මා පොලිස්පතිවරයාට කතා කළා. ඒ වන විටත් පූජිත් ජයසුන්දර මහතා සිය පහළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට කතා කරමින් උපදෙස් දෙමින් සිටියා. ඔහු එම පණිවිඩය බරපතළ ලෙස ගෙන තිබුණ බව මට හැඟී ගියා.

‘සර්, මම දැනටමත් කතා කරනවා. මට දැන් වෙන කරන්න දෙයක් නෑ. මම පුළුවන් දේ කරනවා. කතා කරලා අවශ්‍ය උපදෙස් දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් දැන් නෑ' යනුවෙන් පුජිත් ජයසුන්දර මහතා පැවැසූවා.

ඒ වන විටත් රාත්‍රී 09.00ත් පසු වී තිබුණා. මා අද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවන නමුත් දුරකතනය මා අසල පවතින අතර අවශ්‍ය ඕනෑම වේලාවක කතා කරන ලෙස පොලිස්පතිවරයාට පැවැසුවා.

මේ අතර යුද හමුදා බුද්ධි අංශය වෙතින් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබුණු වාර්තා සම්බන්ධයෙන් කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අවධානයට යොමු කළේය.

එම වාර්තාවල ඉස්ලාම් අන්තවාදය පිළිබඳව, සහරාන් හෂීම් සහ එම අනුගාමිකයන් පිළිබඳවත්, ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සිට එයින් වෙන් වූ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය සහ ඔවුන්ගේ හැසිරීම්, සමාජ ජාලා, වෙබ් අඩවි තුළ හැසිරෙන ආකාරයත්, ඔවුන් IS මතවාදය අනුව යමින් සිටින බවට වන තොරතුරු සවිස්තරාත්මක ඉදිරිපත් කර තිබුණි.

එහෙත් එම වාර්තා කිසිවක් ප්‍රහාරයට පෙර තමන් වෙත ලැබී නැති අතර ඒවා දකින්නේ ද මේ කොමිසමේදී බවයි හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

ජාතික බුද්ධි ප්‍රධානියා මඟින් තමන්ට තොරතුරු ලැබිය යුතු අතර එවකට ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා තමන් වෙත වාර්තා යොමු කර නැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

මෙහිදී සාක්ෂි මෙහෙයවූ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවැසුවේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාගේ එම වාර්තා නොලැබුණ ද රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් ආරක්ෂක ලේකම් වෙත යොමු කර තිබෙන වාර්තාවල ද එම තොරතුරු අඩංගුව පවතින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages