බ්‍රැන්ඩික්ස් වරද කාගෙද? වෛරසය ආවේ කොහොමද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-16

බ්‍රැන්ඩික්ස් වරද කාගෙද? වෛරසය ආවේ කොහොමද?

බ්‍රැන්ඩික්ස් යනු මෙරට තරුණ තරුණියන් රැසකට රැකියා උත්පාදනය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවකි. එසේම වැඩිම විදේශ විනිමයක් ලංකාවට රැගෙන එන ආයතනයකි. ඒ නිසා බ්‍රැන්ඩික්ස් යනු ජාත්‍යන්තර සන්නාමය සහිත දැවැන්ත ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. එවැනි ආයතනයක සාඩම්බර හිමිකම මේ භූමිය සතුවීම එක් පැත්තකින් ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටු විය යුතුය.

බ්‍රැන්ඩික්ස් ආයතනය පසුගිය දිනෙක මෙරට රජය හරහා මිලියන ගණනක් වටිනා මාස්ක් තොගයක් ඇමරිකා එක්සත් ජනපදයට පවා ලබාදුන්නේ එකී ජාත්‍යන්තර නාමය තව තවත් ලෝකයට සහතික කරමිනි. ඒ නිසා ඇතැම් රටවල “මේඩ් ඉන් ශ්‍රී ලංකා” වූයේ බ්‍රැන්ඩික්ස්ය. මේ සියල්ලේ ගෞරවය ආයතනයටත් වඩා අපේ රටේ සහෝදර සහෝදරියන්‍ට හිමිවිය යුතුය. ඔවුන්ගේ නොසැලෙන අධිෂ්ඨානයත් කැපවීමත් මේ සියල්ලෙහි ගෞරවය ඔවුන් සතුම විය‍‍‍‍‍‍‍‍‍‍‍යුතු බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැත

එහෙත් අද බ්‍රැන්ඩික්ස් ආයතනය මුහුණ දෙමින් සිටින්නේ විශාල අභියෝගයකටය. එසේම බ්‍රැන්ඩික්ස් ආයතනය නිසා අද රටද මුහුණ දී සිටින්නේ විශාල අභියෝගය රැසකටය. ඒ කොරෝනා වෛරසය නිසාය. එකවර අහම්බෙන් මතු වූ කොරෝනා රෝගියෙක් නිසා බ්‍රැන්ඩික්ස් ආයතනයෙත් රටෙත් ඉරණම එක රුයින් වෙනස් වී ගියේ නොසිතූ මොහොතකය. ඒ නිසා අද රටම කතා වෙන්නේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ගැනය. එහෙත් තවමත් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා ආ විදිහක් නැත. එය තවමත් ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය නිසා නොයෙක් කතාය, කටකතාය, චෝදනාය. ඒ නිසා අපි ඇත්තටම බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා ආවේ කෙසේද යන්න සොයා බැලීමක් සිදුකළෙමු. මේ ඒ කතාවයි.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ පළමු රෝගියා හමුවන්නේ පසුගිය සෙනසුරාදාය. එනම් ඒ ගම්පහ රෝහල මගින් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකට අනුවය. ඇය පසුගිය සැප්තැම්බර් 28 වැනිදා රෝගී වීමෙන් අනතුරුව පෞද්ගලික ප්‍රතිකාර ලබාගත්තත් ඇයගේ තත්ත්වය යහපත් නොවන නිසා සැප්තැම්බර් 30 වැනිදා ගම්පහ රෝහලට ඇතුළත් වේ. ඒ හුස්ම ගැනීමේ අපහසුතා නිසාය. එහිදී ඇයට ප්‍රතිකාර ලබාදුන්නත් මුල් කාලයේ ඇයට PCR පරීක්ෂණයක් සිදුකරන්නේ නැත. එහෙත් ඇය සුව වී රෝහලෙන් පිටවීමට සූදානම් වනවිට වෛද්‍යවරයකුට ඇතිවූ සැකය නිසා ඇයගෙන් PCR පරීක්ෂණයක් සිදුකළ බව දැනගන්නට ඇත. ඉන් පසුව ඇය නිවෙස බලා පිටත් පිටත් කර ඇත.

එසේ පිටවූ ඇයගේ පරීක්ෂණ වාර්තාව හමුවන්නේ ඔක්තෝබර් 03 දාය. ඒ දැක ක්‍රියාත්මක වන සෞඛ්‍ය අංශ වහාම ඇය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කරනු ලබයි. ඒ ඇය කොරෝනා ආසාධිතයකු ලෙස සටහන් වී තිබීම නිසාය. ඇය ඒ වනවිටත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර සිටින නිසා සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් තත්ත්වය බරපතළ බව හඳුනාගත්තෝය. ඒ නිසාම මෙය රහසක් ලෙස තබා ගනිමින් එම කාන්තාව සෙනසුරාදා සවස වනවිට ඇය ජීවත් වන දිවුලපිටිය ප්‍රදේශයේ නිවසින් ගෙන IDH රෝහල වෙත යොමුකරනු ලැබුවාය. එසේම ඇගේ ස්වාමිපුරුෂයාත් දරුවනුත් ගාල්ලේ හබරාදුවට පිටත් කර හරින්නේ නිරෝධායනය සඳහාය.

ඊට අමතරව වහාම බ්‍රැන්ඩික්ස් ආයතනය දැනුවත් කරන ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශත් එහි ගොස් ඇය සමඟ සමීපව කටයුතු කළ 40 දෙනකු හඳුනාගෙන ඔවුන්ව ද ස්වයං නිරෝධායනය කරනු ලැබුවේය. ඊට අමතරව පළමු කාන්තාවගේ ආශ්‍රිතයනුත්, හඳුනාගත් ආශ්‍රිතයන් 40 දෙනාගේ ආශ්‍රිතයනුත් සෙනසුරාදා රාත්‍රියේම නිරෝධායනයට ලක්කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබීය. මේ සියල්ල සිදුවුණත් ඒ වනවිට රටේ කිසිවකු මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේ නැත.

ඔක්තෝබර් 04 උදෑසන

ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශත් සිදුකළ සොයා බැලීමට අනුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ කිහිපදෙනකුටම රෝග ලක්ෂණ ඇති බව හඳුනා ගැනීමට හැකි විය. මේ නිසා වහාම සියලු දෙනාටම PCR පරීක්ෂණ සිදුකළ යුතු බව අවසන් තීන්දුව විය. 1500කට ආසන්න කර්මාන්ත ශාලාවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම ලෙහෙසි පහසු දෙයක් නොවුවත් ඒ අභියෝගය කෙසේ හෝ එක් දවසින් නිමා කිරීමට සියලු දෙනා තීරණය කළහ.

මේ අතර 4 වැනිදා උදෑසනම මේ පිළිබඳ ප්‍රවෘත්තිය රට පුරා ප්‍රසිද්ධ කරනු ලැබුවේ ඒ වනවිටත් තත්ත්වය හඳුනාගෙන ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය දැමීමට තීරණය කර තිබූ නිසාය. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලු දෙනා මිනුවන්ගොඩ නගරය පුරා සැරිසරන නිසාත්, බහුතරයක් දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින නිසාත් එම පොලිස් වසම් තුනට ඇඳිරි නිතීය දැමීමට පොලීසිය තීන්දු කර තිබුණේය. මේ නිසා කෝවිඩ් ප්‍රවෘත්තිය පිට වී පැය දෙක තුනක් යනවිට මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කළේය. එසේ ඇඳිරි නීතිය දමා සෞඛ්‍ය අංශ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ දිගටම සිදුකරගෙන ගියේය.

කටකතා

මේ සියල්ල සිදුවෙන අතර බ්‍රැන්ඩික්ස් කෝවිඩි සිද්ධියේ ආරම්භයක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂිකයක් ආක්ෂක අංශවලට හෝ සෞඛ්‍ය අංශ වෙත පැහැදිලිව නොපෙනෙන බව අහන අහන වගකිවයුත්තෝ කීහ. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවය. මේ නිසා සුපුරුදු ශ්‍රී ලාංකීය ක්‍රමය වූ “පහත් තැනින් යයි ගලා ජලේ” න්‍යාය ඒ වනවිටත් සමාජය පුරා ක්‍රියාත්මක වෙමින් තිබුණේය. එනම් මේ අපරාධයේ බර මුලින් හඳුනාගත් 39 හැවිරිදි කාන්තාවගේ පිටේ තැබීමට සමාජයේ කයිකතන්දකාරයෝ සූදානම් වී සිටියෝය. ඇයගේ හැසිරීම් බ්‍රැන්ඩික්ස් ආයතනයට මේ අපරාධය කළ බව එකිනෙකා අතර මහා ගින්නක් සේ පැතිරෙන්නට විය. එය තවත් වැඩිවූයේ ඇයගේ 16 හැවිරිදි දියණියගේ පී.සී.ආර්. පරීක්ෂණය ද පොසිටිව් වීම නිසාය. එහෙත් අනෙක් දරුවාටත් ඇගේ ස්වාමියාටත් කොරෝනා රෝගය වැළඳී තිබුණේ නැත. මේ නිසා එය හොඳම සාක්ෂිය කරගත් කයිකතන්දරකාරයෝ ඇය අමු අමුවේ වැරදිකාරයෙක් බවට එළිපිට සිදුකළහ. ශුද්ධවන්තයෝ ඇයට ගල් ගැසීමට පටන් ගත්හ. මේ නිසා බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරේ චූදිතයා වුණේ මෙලෝ හසරක් නොදත් මේ කාන්තාවය.

 

69යෙන් රටම කැළඹෙයි.

බ්‍රැන්ඩික්ස් පළමු කාන්තාවගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සෙනසුරාදම සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල පළමු වාර්තාව පස්වැනිදා නිකුත් විය. ඇගේ අශ්‍රිතයන් 80 දෙනකුගෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව 69 දෙනකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු විය. මේ නිසාම කර්මාන්ත ශාලාව දැඩි අවදානමකට ලක්ව ඇති නිසා එම කාර්මාන්ත ශාලාවේ සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබීය. ඒකී පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා එකින් එක එන්නට ගත්විට පස්වැනිදා රාත්‍රිය වනවිට කෝවිඩ් වෛරසයට ගොදුරු වූ සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගියේය. ඒ ලංකා ඉතිහාසයේ වැඩිම කොරෝනා වාර්තාව ලෙස එදා ඉතිහාස ගතවිය.

එහෙත් එය පසුදා උදෑසන කනපිට පෙරළිණි. එනම් උදෑසන නවයට පමණ රජයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට 220 ක් තවත් එකතු වූ බවය. එසේම එදිනම තවත් 246 දෙනකුට කොරෝනා වැළඳී ඇති බව සඳහන් කළේය.

එසේම ඊට පසු දින 139ක්ද, තවත් වෙලාවක 124ක්ද, ඊටත් පසු දින 190ක් ද වශයෙන් ක්‍රමයෙන් ක්‍රමය බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඉහළ යන්නට විය. මේ නිසා අවසානයේ ගම්පහ පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 14කත්, මීගමුව කොට්ඨාශයේ ජා ඇළ, කඳාන සහ කටාන ප්‍රදේශයන්ටත් දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය දැමීමට පොලීසිය තීන්දු කළේය. ඒ වනවිටත් ලැබී තිබූ පී.සී.ආර්. ප්‍රතිඵල අනුව රෝගීන් ගණන 1032 දක්වා ඉහළ ගොස් තිබූ නිසාය.

506ක් අතුරුදන්

මේ අතර හත්වැනිදා සවස වනවිට ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශත් අතර යම් මතබේදයක් ඇතිවන තැනට සිද්ධියක් මූලික වී තිබිණි. සෑම රෝගියෙක් ගැනම බුද්ධි අංශ විසින් වාර්තාවක් සකසන නිසා ඒ වනවිට පී.සී.ආර්. වාර්තා හරහා 1000 ඉක්මවා රෝගීන් සිටින බව කීමත් ඒ පිරිස රෝහල්වල සිටිනවාද යන්න සොයා බැලීමත් සිදුකෙරිණි. එහිදී අනාවරණය වුණේ රෝගීන් පන්සිය ගණනක් තවමත් රෝහල් ගත වී නැති බවය. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඉහළට කරුණු වාර්තා කළේය. එහිදී හෙළිවුණේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක් බුද්ධි අංශ වෙත ලබාදී නොමැති බවය. මේ නිසා තත්ත්වය නැවත බරපතළ විය.

කෙසේ හෝ අවසානයේ වාර්තාව කැඳවා අදාළ පුද්ගලයන් සොයා ආරක්ෂක අංශ අදාළ ලිපින සොයාගෙන ගියේය. එසේ යනවිට ඇතැම් අය එන ස්ථානවල සිටියේ නැත. ඇතැම් බෝඩිම් හිමිකරුවන් සඳහන් කළේ ඔවුන් ඉවත්ව ගොස් මාසයකටත් වඩා වැඩි බවය. ඒ නිසා ඔවුන්ට සිදු වූ දෙය ප්‍රශ්නයක් විය.

එහෙත් ඇත්තටම සිදුවී තිබුණේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කර නැවත ඔවුන්ගේ නිවෙස් වෙත යවා තිබීමය. මේ නිසා එයට බිය වූ තරුණ තරුණියෝ බෝඩිම් අතහැර ගමට ගොස් සිටියහ. තවත් අය බෝඩිමෙන් එළියට දමා තිබුණි. මේ නිසා ඔවුන් ද ගම්රටවල් බලා පිටත්ව ගොස් තිබිණි. අවසානයේ පිරිස සොයා ගැනීමට නොහැකි නිසා ආරකෂක අංශ නියෝග තුනක් නිකුත් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 14කට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ට එන ලෙස කළ දැනුම් දෙනු ලැබීය. ඒ පළමු නියෝගය විය. දෙවැනි නියෝගය වුණේ ගමේ සිටින අය වහාම ළඟම පිහිටි රෝහල වෙත හෝ පොලීසිය වෙත යන ලෙසය. තුන්වැනි නියෝගය වුණේ ඔවුන්ගේ පවුලේ අය නිවෙස්වලට වී සිටිය යුතු බවය. ඒ අනුව හැකි ඉක්මනින් ඉන්නා තැනකින් පිරිසට බාර වෙන ලෙස පොලීසිය නියෝග කළේය.

එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා වනවිට සැලකිය යුතු පිරිසක් බාර වී තිබුණත් සීයකට එහා පැමිණ තිබුණේ නැත. මේ නිසා පොලීසිය නියෝහයක් සිදුකරමින් පවසා සිටියේ යම් අයකු සැඟවී සිටීනම්, ඒ සඳහා අනුබල දේ නම් ඔවුන්ගේ දේපල රාජසන්තක කරනව බවය. එහෙත් එය සැබවින්ම ඇඟලුම් සේවිකාවන්ගේ වරදක් නොව සෞඛ්‍ය අංශ විසින් සිදුවුණු අතපසු වීමක් නිසා ඇතිවු ගැටලුවක් බව කිව යුතුමය.

 

බ්‍රැන්ඩික්ස් එකට කොරෝනා ආවේ කොහොමද?

මේ ගැටලුවට තවම පිළිතුරක් නැත. පිළිතුරක් නැති ප්‍රශ්න ඇති විට කටකතා රුසක්  ඇති වීම සාමාන්‍ය සිරිතකි. ඒ නිසාම අපි මේ කියන්නේ එවැනි කතා සහ ඒ වෙනුවෙන් ආයතනයෙන් ලබාදුන් පිළිතුරුය. “මාස්ක් මැහුවට පස්සේ අපිට හදිසි ඕඩර් එකක් ආවා ටීෂර්ට් වගයක් මහන්න. ඒ ඕඩරේ ඉන්දියාවෙ වහපු කොම්පැණියට ආපු එකක්. ඒ නිසා ඒ රෙදි සියල්ල අපිට එවලා තිබ්බේ. කොහොමහරි ඔය වැඩේ යන අතරේ ගොඩක් ළමයි අසනීප වුණා. උණ, කැස්ස, හෙම්බිරිස්සාව එහෙම. ඒත් හැමෝම හිතුවේ රෙද්දේ තිබ්බ ඩස්ට් එක නිසා එහෙම වෙන්න ඇති කියලයි. ඕඩරේ ලොකු නිසා මහන්සිය නිසා වෙන්න ඇති කියලයි. මොකද කාටවත් නිවාඩු ගන්න එපා කියලා තිබ්බා”

ඒ එහි සේවය කළ සේවිකාවක් බුද්ධි අංශ වෙත කළ ප්‍රකාශයකි. එනම් ඇය සඳහන් කරන්නේ ඉන්දියාවේ වසා දැමූ කර්මාන්ත ශාලාවේ හදිසි ඕඩරයක් මෙරට සිදුකළ බවත් ඊට අවශ්‍ය රෙදි මෙරටට ගෙන්වා ගත් බවත්ය. ඒ හරහා වෛරසය පැතිරුණු බව බහුතර දෙනාගේ මතය වී ඇත. එහෙත් ආරක්ෂක අංශ ආයතනයෙන් ප්‍රශ්න කළවිට ඔවුන් සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ කිසිදු භාණ්ඩයක් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට නොගෙනා බවත් එවැනි ඕඩරයක් එහි සිදුනොකළ බවත්ය. එසේම නිවාඩු ලබානොදුන් බව පැවසීම අසත්‍යයක් බව ද ඔවුන් ප්‍රකාශ කර තිබිණි.

සාමාන්‍යයෙන් මෙහේ මැෂින් බලන්න ඉන්දියාවෙන් එන්නේ. කට්ටියක් ළඟදි ආවා. හැබැයි ඒ අය ඉන්දියාවෙද දන්නේ නෑ. ඒත් හැමෝම කියන්නේ ඒ අය ඉන්දියාවෙන් කියලා”. මේ තවත් සේවිකාවක් ලබාදුන් ප්‍රකාශයක්ය. එහෙත් ආයතනයේ නිලධාරීන්  පවසන්නේ කිසිදු ඉන්දියානු ජාතිකයෙක් කර්මාන්ත ශාලාව වෙතට නොපැමිණි බවය.

මේ සියල්ල මැද කතාව උඩට 22 වැනිදා ගුවන් යානයකින් ඉන්දියාවේ සිට පිරිසක් ලංකාවට ගෙන්වා ගත් බවත් ඒ අය නිරෝධායනය නොකට පිටත් කළ හැරි බවත්ය. මේ කතාව ලැව් ගින්නක් සේ පැතිර ගිය අතර මේ ආකාරයෙන් නිරෝධායනය නොවී යාම හැමදෙනාටම ගැටලුවක් විය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ නිරෝධායනය වගකීම පැවරී ඇති යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යට පවසන්නේ 22 වැනිදා ඉන්දියාවේ විශාකාපට්නම් සිට පැමිණි පිරිස එම රටෙන් එනවිට ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණයේදී  කොරෝනා නෙගෙටිව් ලෙස සඳහන් වී ඇති බවත් නැවත මෙරටට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීකෂණයේදී එයද නෙගෙටිව් බව සඳහන් වූ බවත්ය. එසේම ඔවුන් නිරෝධායන සමය පසුගිය 6 වැනිදා නිම කළ බවත් එතෙක් කිසිවකු හමුදා බාරයෙන් නොගිය බවට සහතික කළ හැකි බවත් ඔහු වැඩි දුරටත් කීය.

බ්‍රැන්ඩික්ස් නිල නිවේදනය

මේ අතර මෙතක් කල් නිහඬව සිටි බ්‍රැන්ඩික්ස් ආයතනය මේ 22 වැනිදා සිද්ධිය ගැන ප්‍රකාශයක් නිකුත් කළේය. ඔවුන් සඳහන් කළේ නිරෝධායනයේ සිටි කිසිවකු මිනුවන්ගොඩ ආයතනයට නොපැමිණි බවය. එසේම කිසිදු ඉන්දියානු ජාතිකයෙක් නොපැමිණි බවත් මෙහිදී සඳහන් කර තිබුණි.

22 දා ගුවන් යානය ගැන සියලු දෙනා කතා කළත් බ්‍රැන්ඩික්ස් නිල නිවේදනය හරහා දැනුම් දෙන්නේ ඔවුන් පෞද්ගලික ගුවන් යානා තුනක් මාර්ගයෙන් ඉන්දියාවේ සිට පුද්ගලයන් රුගෙන ආ බවය. එනම් බොහෝ දෙනා කතා වෙන 22 වැනිදා ගුවන් යානයට අමතරව තවත් ගුවන් යානා දෙකක් පැමිණ ඇති බව තහවුරුය. එහෙත් බ්‍රැන්ඩික්ස් ආයතනය එම ගුවන් යානා පැමිණියේ කවදාද යන්න කිසිදු විස්තරයක් සඳහන් කරන්නේ නැත. එය හිතාමතාම මග හැරියේද යන්න ඇති ප්‍රශ්නයකි.

එසේනම් එකී ගුවන් යානා දෙක පැමිණියේ කවදාද? ඒ අය නිරෝධායනය වුණේ කවදාද? ඒ අය තවමත් ස්වයං නිරෝධායනය වෙමින් සිටිනවාද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලියුම්කරැ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ ඔවුන් පැමිණියේ කවදාද යන්න විමසුවේ නැති බවත් එහෙත් ඒ පැමිණියත්  නිරෝධායනය නීතියට පිටින් නොගොස් ඇති බවට සහතික කළ හැකි බවත්ය. එහෙත් ඒ පිළිතුර සැහීමකට පත්විය නොහැකි පිළිතුරක් බව කිවයුතුය.

විධායක නිලධාරී සාදය

මේ අතර තවත් කතාවක් පැතිරෙමින් තිබිණි. එනම් බ්‍රැන්ඩික්ස් ආයතනයේ විධායක ශ්‍රේණියේ සාදයක් කටුනායක ප්‍රදේශයේ ඉහළ මහලේ එක්තරා තරැ පන්තියේ හෝටලයක පවත්වා තිබීමය. මේ සඳහා සියලු නිලධාරීන් සම්බන්ධ වී ඇති බවත් එම හෝටලය නිරෝධායනය හෝටලයක් බවත් සඳහන් වේ. කෙසේ වෙතත් එම හෝටලයට සහභාගි වූ යක්කු නැමැති සංගීත කණ්ඩායමත්, ඒ සංගීත කණ්ඩායම ගිනිගත්හේන ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමත් නිසා එම ප්‍රදේශයේ පිරිසකුත් මේ වනවිට නිරෝධායනය වෙමින් ඇත. එහෙත් එම උත්සවය හේතුවෙන් මෙය සිදුවුණාද යන්න තවමත් නිශ්චිතව තහවුරු වී නැත.

වෛරසයේ ආරම්භය ගැන හමුදාපතිගෙන් ඉඟියක්

මේ වෛරසය කෙසේ බ්‍රැන්ඩික්ස් ආයතනය තුළට ගියේද යන්න හැමදෙනාටම ගැටලුවක් වී ඇති මොහොතක යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යට ප්‍රකාශයක් කළේය. මේ වෛරසය විදේශිකයකුගෙන් හෝ විදේශීය කණ්ඩායමකින් පැතිර ඇති බව ඔහු ඉගි පළ කළේය. එහෙත් එය ව්‍යාප්ත වූ හැටි තවම තමන්ට කිව නොහැකි බව කීය. ඒ හරහා බොහෝ දෙනා සැක කරන්නේ මේ සම්බන්ධයෙන් ඇත්‍ත කතාව ආරක්ෂක අංශ දැන සිටියත් හෙළි නොකරන බවය.
දිවුලපිටියේ කාන්තාව පළමු රෝගියා නෙවෙයි

මේ අතර දිවුලපිටියේ කාන්තාවට එරෙහිව විවිධ චෝදනා එල්ල කරන විට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා මාධ්‍යයට පවසා සිටියේ මේ කාන්තාව බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා නොවන බවය. මීට පෙර සැප්තැම්බර් 20 වැනිදා සිට ඇඟලුම් කම්හලේ සේවකයන්ට උණ කැස්ස හෙම්බිරිස්සාව තිබුණ බවත්ය. ඒ නිසා පළමු රෝගියා ඇය නොවන බව සෞඛ්‍ය අංශ කීය. මේ අතර පළමු රෝගී කාන්තාව ද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ බොහෝ ළමයින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබුණ බවත් ඇතැම් ඇය කලන්තය දා වැටුණ බවත්ය. කොරෝනා රෝග ලක්ෂණ ඇති අය බහුතරයක් ඒ අතර සිටි බවද ඇය කීය.

අපි වැඩකළා දිගටම. සමහර අය අසනීප වුණා. අපි මේ ගැන ලොකු අයට කිව්වා. කවුරුත් ගණන් ගත්තේ නෑ. අන්තිමේ පළවෙනි එක්කෙනා හම්බවුණ වුණ දවසෙත් අපි වැඩ කළා.” යැයි එම කර්මාන්ත ශාලාවේ නම කීමට අකමැති සේවිකාවක් කීය.
කෙසේ වෙතත් එය තවත් තීවුර කරමින් සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් පවා සංසරණය විය. එනම් බෝඩිමක හිමිකාර කාන්තාවක් බ්‍රැන්ඩික්ස් ආයතනය ඉදිරිපිටට පැමිණ එම ආයතනයේ බලධාරීන්‍ට බැන වදින සිද්ධියක්ය. එනම් ඇය පවසන්නේ මේ සිද්ධිය දැනගෙනත් තම බෝඩිමේ සිටි පිරිසිදු කරන්නියන් ඇමතුමක් ලබාදී රැකියාවට ගෙන්වා ගත් බව කියාය. මේ නිසා ඔවුන් දැන දැන අමාරැවේ වැටුණු බව ඇය චෝදනා කළාය. එහෙත් ඊට බ්‍රැන්ඩික්ස් ආයතනයේ පිළිතුර වූයේ පිරිසිදු අංශය තමන්ගේ ආයතනයේ නොව තුන්වැනි පාර්ශවයේ අය බවත් ඒ අය කොන්ත්‍රාත් පදනමෙන් ලබාගත් අය බවත්ය. එහෙත් බ්‍රැන්ඩික්ස් ආයතනයට තුන්වැනි පාර්ශ්ව යැයි සඳහන් කරමින් වගකීමෙන් ගැලවිය නොහැක. ඔවුන් මොනදේ කළත් ඔවුන් යටතේ ඔවුන්ගේ ආයතනයේ සේවය කරන අයය. ඒ නිසා ඔවුන්ට වගකීමෙන් මිදීමට හැකියාවක් නැත.

රට පුරා කොරෝනා රෝගීන්

දිවුලපිටියේ කාන්තාවගෙන් පසුව යාපනය, කුරුණෑගල, ගාල්ල, රත්නපුර, බදුල්ල, අම්පාර ආදී ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් වාර්තාවන්නට විය. ඒ එක් පැත්තකින් නිවාඩු ගිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ පිරිසය. තවත් පැත්තකින් ඔවුන්ගේ ආශ්‍රිතයන්ය. මේ නිසා එකින් එක පී.සී.ආර්. පරීක්ෂණ හරහා එම රෝගීන් ඉස්මතු වෙන්නට විය. ඒ හේතුවෙන් විවිධ දිස්ත්‍රික්ක 16ක පමණ රෝගීන් හා ආශ්‍රිතයන් විහිදී ඇති බවක් දැකගන්නට හැකිවිය.

මීට අමතරව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අයගේ දරුවන් ගිය පාසල්වල දරුවන් පවා නිරෝධායනයට මේ වනවිට යොමුකර ඇත. බොහොමයක් පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර සමීපතමයන් නිරෝධායන මධ්‍යාස්ථාන වෙත රගෙන යන්නට විය.

ගම්පහ මැද හිස් වෙයි.

බ්‍රැන්ඩික්ස් සිද්ධියත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ මැද හිස් වී ගියේය. වේයන්ගොඩ ප්‍රදේශය අධි අවදානම් කලාපයක් බවට පත්කර ඇත. මිනුවන්ගොඩ, දිවුලපිටිය පවා එකී අවදානමට ලක්විය. එය කෙතරම්ද කියතොත් අද ප්‍රධාන මාර්ගයේ දුම්රිය බුළුගහගොඩ දුම්රිය ස්ථානයේ නවත්වා නැවත නවත්වන්නේ රඹුක්කනින්ය. එසේම දුර බස් සේවා පවා නවතා දමා ඇත. අද එකම හුදෙකලා ප්‍රදේශයක් බවට ගම්පහ පත්කර ඇත. ඒ වෙන කිසි දෙයක් නිසා නොව ඇති අවදානම නිසාය. එහෙත් පුදුමය නම් ඒ අවදානම නොතකා පාර පුරා ඇවිද්දෝ ද එමට සිටිති. ඒ මොන අවදානම් තිබුණත් තමන්ට අදාළ නැති වගකීමක් නැති මිනිස්සුය.

ජනපතිගෙන් හමුදාපතිට නියෝගයක්

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පවසා ඇත්තේ පවතින ගැටලුව ඉරිදා (11) අද වනවිට විසඳා නිමකළ යුතු බවය. එනම් නිරෝධායන මධ්‍යස්ථාන වෙත අදාළ සමීපතමයන් යොමුකර වහාම ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ ආදී ප්‍රදේශ සාමාන්‍ය ජනජීවිතයට හැකි ඉක්මනින් සකස් කළයුතු බව දන්වා ඇත. උපරිම කැපවීම් කොට මේ රුල්ල මෙතනින් එහාට ව්‍යාප්ත නොවීමට කටයුතු කරන ලෙසත් දන්වා ඇත. ඒ අනුව යුද හමුදාව දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින බව දැන්විය යුතුමය.

බ්‍රැන්ඩික්ස් සියල්ලටම පී.සී.ආර්.

සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් සියල්ලන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් ඇත. එසේ සිදුකිරීමේදී වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් එක් සේවකයෙක් පවා සොයාගත් අතර පසුව අනාවරණය වුණේ ඔහු මිනුවන්ගොඩ ආශ්‍රිතයෙක් බවය. එහෙත් ඒ ගැන නිශ්චිත තොරතුරක් නැත. එමෙන්ම ගම්පහ ප්‍රදේශයේ පිහිටි සියලුම ඇඟලුම්හල්වල සේවක සේවිකාවන්ට ද පී.සි.ආර් සිදුකිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය තරමක් බරපතළය. බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ගණන 1080කට එහා බව මේ ලියනවිටත් වාර්තා වෙමින් ඇත. එහෙත් දැනට වෛරසය ව්‍යාප්ත විය හැකි ස්ථාන සහ පුද්ගලයන් හඳුනාගෙන ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි. ඒ නිසා යම් දුරට පාලනයක් කරගත හැකි බව ඔවුන්ගේ අරමුණ වී ඇත. එහෙත් යම් අයකුට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වහාම ළඟම රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතුබව ජනතාව වන අප සිහි තබා ගත යුතුය. එසේ නොවූ කළ රටක් කනපිට හැරීමේ ඉඩකඩට වැඩි වෙලාවක් ගත නොවුණු ඇත.

සමාජය එක පිට එක මඩ ගැසුවත් ඇත්තටම බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර අවසානයේ හෙළිවූයේ පළමු කාන්තාව නිසාය. ඇය නැති නම් අද වනවිට රටම ලෙඩ වීමට ඉඩ තිබිණි. ඊට හොඳම සාක්ෂිය වන්නේ ඒ ආකාරයෙන් සේවිකාවකට ප්‍රතිකාර කළ ගම්පහ රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා සැදී තිබීම නිසාය. ඊට අමතරම මිනුවන්ගොඩ පොලීසියේ අපනශාලවේ අයකුට ද කොරෝනාය. මේ සියල්ලෝම ආශ්‍රිතයන්ය. ඒ නිසා සිදුවන්නට ගිය මහ විනාසයක් හෝ මෙලෙසින් නතර වීම ලොකූ දෙයකි. එසේ නොවෙන්නට මෙය විශාලාවක් වන්නට ඉඩ තිබුණි.

ගයාන් ගාල්ලගේ
ඡායාරූප අන්තර්ජාලයෙන්



from රට තොට – Colombo Tribune https://ift.tt/3k74xia
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages