වැඩිහිටියන්ට සලකන සංස්කෘතියක් ඇති කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

වැඩිහිටියන්ට සලකන සංස්කෘතියක් ඇති කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි

වැඩිහිටියන්ට සලකන සංස්කෘතිය නැවතත් රට තුළ ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ලෝක වැඩිහිටි දින සැමරුම් දින උත්සවය අමතමින් සෞඛ්‍ය ඇමැතිනී නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.

'වසංගත හමුවේ වැඩිහිටි අභියෝග' යන තේමා කරගත් ලෝක වැඩිහිටි දිනය ඊයේ (1) යෙදී තිබුණ අතර ලොව පුරා වැඩිහිටි දිනය සමරා වැඩසටහන් පැවැත්වේ. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධානය කළ ජාතික වැඩිහිටි දින සැමරුම් උත්සවය සෞඛ්‍ය ඇමැතිනියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේද පැවසීය.

ජනාධිපතිතුමා ඇතුළු නව ආණ්ඩුව වැඩිහිටියන් ඉළක්ක කරගෙන ඔවුන්ට කායික සහ මානසික සහනදායි වටපිටාව හදන ප්‍රතිපත්තියක පිහිටලයි කටයුතු කරන්නේ. වැඩිහිටියෝ කියන්නේ තමන්ගේ තරුණ කාලයේ මාතෘ භූමියට විශාල කැප කිරීමක් කළ අය. අපි තාම වැඩිහිටියන්ට පරාදයි. ඔවුන් අවම පහසුකම් යටතේ කැපකිරීම් සිදුකර තරුණ පරපුර ඉදිරියට ගෙන ආවා. අපේ දරුවෝ භෞතික වටිනාකම් මත යැපෙන පිරිසක් බවට පත්වෙලා.

අපේ පළමු කර්තව්‍ය විය යුත්තේ වැඩිහිටියන්ට සළකන සංස්කෘතියක් අපේ රටේ තුළ නිර්මාණය කිරීමයි. අපේ රටේ එහෙම සංස්කෘතියක් අතීතයේ තිබුණා. ලෝකයේ වෙනත් රටවල එම සංස්කෘතිය නැහැ. අපේ රටේ මව්පියෝ තාමත් දරුවන්ට කියලා ඉතිරි කරනවා. දරුවා වෙනුවෙන් කැපවෙනවා. අපේ රටේ තිබුණ පැරණි සංස්කෘතිය වන වැඩිහිටියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය, වැඩිහිටියන්ට සළකන සංස්කෘතිය, මනෝභාවය නිර්මාණය කළ යුතුයි. එය නව පරම්පරාවේ වගකීමක් වෙනවා. මාධ්‍ය තුළ සමාජ මාධ්‍ය තුළ මෙන්ම වැඩිහිටි ලේකම් කාර්යාලය සහ ආයතනවල ද එය ප්‍රධාන වගකිමක් වෙනවා. අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය එයයි.

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි ජනගහනය අර්ථ දක්වන්නේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය ලෙසයි. වර්ෂ 2050 වන විට වැඩිහිටි ජනගහනය මුළු ජනගහනයෙන් සියයට 30 කට ආසන්න වනු ඇතැයි තක්සේරු කර තිබෙනවා. වැඩිහිටියන් අතර බහුල සෞඛ්‍ය ගැටලු වන්නේ බෝ නොවන රෝග, මානසික ආබාධ සහ දිගුකාලීන රෝග වේ. මෙම ගැටලු මගහැරවීම දෙස බලන විට විශේෂයෙන් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා නිසි පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න ජිවන රටා ජිවිත කාලය පුරාම වැදගත්.

වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සඳහා වන ජාතික වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි හා ආබාධ ඒකකයි. දිවිය පුරා ක්‍රියාශීලී වයස්ගතවිම පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම ඇතුළු වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා බොහෝ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් දියත් කොට ඇත. තවදුරටත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණූ කිරිම සඳහා වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය සේවා බෙදා හැරීමේ සැළැස්මට සමගාමීව පස් අවුරුදු සැළැස්මක් ද ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී වැඩිම දරුවන් සිටින මව්වරුන් පිදීම, ආදරයයි කරුණාවයි කෘතිය පිළිගැන්වීම, වැඩිහිටි නිවාස සඳහා මුදල් ආධාර සහ ලියාපදිංචි සහතික පිරිනැමීම, වැඩිහිටි හරසර ක්‍රීඩාවෙන් ජයගත් වයස්ගතම වැඩිහිටි ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙත උපහාර පිදීම ද සිදු විය. එහිදී වැඩිම දරුවන් දැයට දායාද කළ මාතාව ලෙස දරුවන් 18 දෙනෙක් දැයට දායාද කළ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ඩී.එම්. මැණික්හාමි මාතාව සෞඛ්‍ය අැමැතිතුමිය විසින් ඇගයීමට ලක්කර තිළිණයක් ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ සමාජික මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි ඇතුළු සර්වාගමික පූජකතුමන්ලා, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන රණවීරආරච්චි මහත්වරු, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ තුමා, කොළඹ විශ්වවිද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම වැඩිහිටි බලමණ්ඩල සාමාජිකයන් ඇතුළු වැඩිහිටි ප්‍රජාව එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages