මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක්

Author(s): 
මහින්ද අලුත්ගෙදර

2030 වන විට සියයට 70ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවන්න වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. මේ ඉලක්කය කරා යෑම අපේ අරමුණයි
- රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක

පුනර්ජනනීය බලශක්තියෙන් නැඟිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එකතු කරන මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳන් කළේ මන්නාරම ප්‍රදේශයේ ඉදි වන මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ වත්මන් ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පෙරේදා (30) එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක්‍රියාත්මක මේ සුළං බලාගාර ව්‍යාපෘතිය මෙරට විශාලතම සුළං බලාගාර ව්‍යාපෘතිය වන අතර එම සමස්ත ව්‍යාපෘතියට ඇස්තුමේන්තු ගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

‘මීට වසර 70කට පමණ පෙර මේ රටේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කරමින් ජල විදුලි බලාගාරයක් ඉදි කළා. ශිෂ්ටාචාරයක් යටපත් නොකර පරිසරයත්, ආර්ථිකයත් රැකගෙන මන්නාරම සුළං බලාගාරය ඉදි කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්තියෙන් නැඟිටින රටක් ලෙස මේ බලාගාරය ඉතිහාසයට එක් වෙනවා.

සුළං සහ සූර්ය බලය ශ්‍රී ලංකාවේ විදුලිය ජනනය කිරීමට ප්‍රධාන විභවයන් ලෙස උපයෝගී කරගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රත්පත්ති ප්‍රකාශයේ තිබෙන මූලික කරුණක්. ඒ අනුව ඒ මහතා ජාතියට, රටට, දේශපාලනඥයන්ට යම්කිසි ඉලක්කයක් ලබාදී තිබෙනවා. එළැඹෙන 2030 වන විට මේ රටේ සමස්ත විදුලිය ජනනයෙන් සියයට 70ක් පමණ පුනර්ජනනීය බලශක්තිය මත රැඳිය යුතුයි. ඒ අනුව අප අමාත්‍යාංශයක් සහ මණ්ඩලයක් ලෙස මේ ඉලක්කය හඹා යමින් ඉන්නවා. ඒ අනුව මන්නරාම ක්‍රියාත්මක සුළං විදුලි බලාගාරය එම ගමනේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. අපේ රටට මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් 1950 දශකයේ දායාද වෙනවා. එය ශ්‍රී ලංකා විදුලබල ක්ෂේත්‍රයේ පරිවර්තනීය ලක්ෂණයක් බවට පත් වුණා. 1912 ගෑස්වලින් කොළඹ නගරය ආලෝකමත්ව තිබෙනවා.

එයින් වසර 70කට පසුව මන්නාරම සුළං බලාගාරය ජාතියට තවත් හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. ඒ නිසා රටක් වශයෙන් වාසනාවන්තයි. මෙය සුළං කපොල්ලක පිහිටා තිබෙනවා. පුනර්ජීවනය සම්බන්ධයෙන් මෙය ජාතියට පණිවිඩයක් නිකුත් කරනවා. මෙයින් මෙගා වොට් 103ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරනවා. ශිෂ්ටාචාරයක් යටපත් කර විශාල මුදලක් වැය කර තමයි අප බලාගාර ඉදි කර තිබෙන්නේ. මෙයට සම්බන්ධ වු සියලු දෙනාම සිහිපත් කරනවා. ලබන මාසය අවසාන වන විට මෙහි පළමු පියවර ලෙස යම්කිසි මෙගා වොට් ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන්න අපේක්ෂා කරනවා. සමස්තයක් ලෙස මාස තුනක් ඇතුළත මේ සම්පූර්ණ පද්ධතියම ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන්න හැකි වෙයි.

සුළං බලයෙන් විදුලිය නිපදවන්න ඒකකයකට රුපියල් 8ක් පමණ වැය වෙනවා. සම්ප්‍රේෂණ පද්ධතියටත් රුපියල් තුනක් පමණ එක් කළ විට උපරිම වශයෙන් රුපියල් 12ක් පමණ වැය වෙනවා. දැනට විදුලිබල මණ්ඩලය දරණ සාමාන්‍ය වියදම එක් ඒකකයකට රුපියල් 23ක්. එය ඩීසල්වලින් බලන විට රුපියල් 30කට ආසන්නයි. ඒ අනුව වියදම පැහැදිලියි. අපේ ඉලක්කය ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අප මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගෙන තිබෙනවා. ඩීසල් යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය සියයට 30ක් පමණ වෙනවා. නමුත් මේ තත්ත්වය තවත් වසර පහකදී පමණ සියයට 5ක් දක්වා අවම කිරීම අපේ අරමුණ වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අපේ රට බලශක්තිය අතින් ඉතාම නිවැරැදි දිසාවට නාභිගත කර තිබෙනවා.

මෙය රටේම ජයග්‍රහණයක්. ආර්ථික පුනර්ජීවනයට එය හේතුවක්. යම් යම් අවස්ථාවල විදුලිබල මණ්ඩලය විශාල වශයෙන් පාඩු ලබනවා. නමුත් ඇතැමුන් විදුලිබල මණ්ඩලයට යම් යම් චෝදනා එල්ල කරනවා. විදුලි පාරිභෝගිකයන් නිෂ්පාදකයෙක් බවට පත් කර ගන්නට හැකි සැලසුමක් ජනාධිපතිවරයාගේ පළමු අය-වැයෙන් ඉදිරිපත් කරයි කියා විශ්වාස කරනවා. ඩීසල්වලින් දහනය වන අපේ පරිසරය මෙන්ම ආර්ථිකය ද රැකගෙන ජන ජීවිතට කිසිදු බාධාවක් නොවන පරිදි මේ බලාගාරය ඉදි කර තිබෙනවා.‘

සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා

‘පුනර්ජනනීය බලශක්තියෙන් රටක් ස්වයංපෝෂිතව විදුලිය නිපදවන රටක් තමයි ශ්‍රී ලංකාව. පසුගිය කාලයේ අප මේ වෙනුවෙන් ඩීසල් භාවිත කළා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දුවක් ගෙන තිබෙනවා 2030 වන විට සියයට 70ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවන්න. ඒ වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. 2030 වසර වන විට මේ ඉලක්කය කරා යෑම අපේ අරමුණයි. මේ වන විට කලාප තුනක් අප හඳුනාගෙන තිබෙනවා. මේ ස්ථානයේම තවත් මෙගා වොට් 300ක සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. පුනරීන් ප්‍රදේශයේ මෙගා වොට් 400ක් සුළං බලයෙන් සහ සූර්ය බලයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සබරගමුව පළාතෙන් තවත් මෙගා වොට් 100ක් සූර්ය බලයෙන් ලබා ගන්න පුළුවන්. ඉදිරි කාලය වන විට මේ කලාපයේ පුනර්ජනනීය බලශක්තිය අතින් ශ්‍රී ලංකාව බලවතෙක් බවට පත් වෙයි. ඉන්දියාව සමඟ විදුලිය සම්බන්ධයෙන් කතා කරනවා.

මුහුදේ කුලුනු ස්ථාපිත කර විදුලිය ලබා ගන්නත් අප අපේක්ෂා කරනවා. පරිසර හානිය ඉතාම අඩුයි. අපේ ඊළඟ අදියර වන්නේ ඒ සඳහායි. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මේ ව්‍යාපෘතියම ඩීසල්වලින් ක්‍රියාත්මක කළේ නම් වසරකට කාබන්ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 285,000ක් පමණ පරිසරයට මුදා හරිනවා. නමුත් සුළං බලාගාරය හේතුවෙන් එවැනි කිසිවක් පරිසරයට එකතු වන්නේ නෑ. මේ ගැන අප සතුටු වෙන්න පුළුවන්. පුංචි රටක් වශයෙන් අපට සතුටු වෙන්න පුළුවන්.‘

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උතුරු පළාත) ප්‍රියන්ත ගුණතිලක, මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ උපුල් දොම්පගේ, ව්‍යාපෘති කළමනාකාර අනුරුද්ධ තිලකරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages