නෙළුම්විල

0
11
18 ජනවාරි, 2020

යස මසවුළු

‘අටමස්ථානෙත් වැඳගෙන හාමුදුරුවරු පන්සීයක් අඹල තියන නෙල්ලිකුළම පන්සලත් බලාගෙන එමුද?’ මම සැමියාට යෝජනා කළෙමි. ඔහු ‘යමු’ යි කීවේය.

නිවාඩු දිනයක් ඒ වෙනුවෙන් යොදාගත් අපි පාන්දරම රියට නැඟුණෙමු.

වනය මැදින් යන ගමන සුන්දර විය. සැමියා හෙමිහිට වාහනය ධාවනය කරද්දී මම නිසොල්මනේ අවට සිරි නරඹන්න වීමි.

මොනරු පිල් විදහාගෙන රඟති. ඈත කැලේ අලි පැටවුද වෙති. වන සිරිය හොඳින් නරඹනු පිණිස අපි මොහොතක් නැවතුණෙමු. රිළා රංචු ගස්වලින් බැස අප අසලට ආහ. මම බිස්කට් පෙට්ටියක් කඩා ඔවුන් වෙත දැමීමි. රිළව් ඒවා ඩැහැගෙන වහ වහා ගස්වලට නැඟගත්හ. අපි යළිත් ගමනට පිටත් වීමු.

පුත්තලම පසු විය. විටින් විට හමු වූ කෑම කඩ ඉදිරියේ වූයේ අමුතු දැන්වීම්ය.

‘කුකුල් මස් සමග බත් කමු!’

‘හරක් මස් සමග බත් කමු!’

‘ඌරු මස් සමග බත් කමු!’

අනුරාධපුරයට ළං වන තෙක්ම දක්නට ලැබුණේ මෙවැනි දැන්වීම්ය.

‘මොකද අනේ මේ! මිනිස්සු මස්මද කන්නෙ?’ මට කියවිණ.

සැමියා කිසිත් නොදොඩා සිනාසුණේය.

‘කොහොමද අනේ සත්තුන්ගෙ මස් කන්නෙ?’

‘ඔයා මස් නොකෑවට මිනිස්සු කන්නෙ මස්ම තමයි.’

‘අපි දකුණෙ මිනිස්සු නෙ. දකුණෙ අය කන්නෙ මාළු නෙ. ඔයා ඉතිං මාළු වත් කන්නෙ නෑ නෙ.’

ඔහු යළිත් නිහඬ සිනාවක් පෑවේය.

මමද නිහඬ වී දෑස පියාගතිමි.

මගේ හිත අතීතයට ඇදී ගියේය.

ඒ අප උතුරුමැද පළාතේ ගමක විසූ කාලයයි. මගේ සැමියා රැකියාව ක‍ළේ එහිය. ගම සුන්දර විය. අප නිවෙස අවට සිංහල, මුස්ලිම්, දෙමළ පවුල් කිහිපයක්ම වූහ. අපි කවුරුත් සුහදව ඇසුරු කෙළෙමු. අප අතර භේදයක් නොවී ය.

දිනක් අසල්වැසි මුස්ලිම් ගෙදරක වැඩිහිටියෙක් පැමිණ අපට මඟුල්බතකට ආරාධනා කළේය. මම මුදල් නෝට්ටුවක්ද ලියුම් කවරයක දමාගෙන මඟුල්ගෙදර ගියෙමි. මනමාලියගේ පියා මා පිළිගෙන වාඩි ගැන්නුවේය. ඒ සමඟම වාගේ වතුර අල්ලා මඟුල්බතට ආරාධනා කෙරිණ.

දහවල් වී තුබුණු බැවින් මටද කුසගින්නක් දැනෙමින් තිබිණ. මම සෙස්සන් සමඟ මඟුල් මේසය දෙසට ගියෙමි. ඒ වන විටත් ආරාධිතයෝ අහර බෙදාගනිමින්ද, බුදිමින්ද, දිය බොමින්ද සිටියහ. මමද පිඟානක් අතට ගෙන මඟුල් මේසය දෙස බැලුවෙමි.

පැහැ ගන්වන ලද බතකි. දීසිවල වූයේ මස් වර්ග පමණි. ඒ හැර රත් පැහැ ලුණුමිරිසක්ද විය. අල හෝ පරිප්පු නොවීය. මම අසරණ වීමි.

‘ආච්චියෙ, අයිස්ක්‍රීම් නෑ… කෙහෙල් ගෙඩිත් නෑ…’ දරුවකු අඬමින් කියනු ඇසිණි.

පිඟාන ආපසු තබා ඒම නොමනා බැවින් මම එකෙළ මෙකෙළ වෙමින් මොහොතක් රැඳී සිටියෙමි. අනතුරුව අමුත්තක් නොදැනෙන පරිදි හෙමින්ම පිඟාන මේසය මත තබා මනාලිය වෙත ගොස් තෑගි මුදල පිළිගන්වා සමු ගතිමි.

‘ඔච්චර ඉක්මනට බත් කාලත් ආවද?’ මා ආපසු ආ බව දුටු සැමියා ඇසුවේය.

‘මොනව කන්ඩද අනේ?’

‘ඇයි?’

‘මේසෙ උඩ හිටියෙ සත්තු විතරයි. මං ඉතිං නොකාම ආව. හරිම බඩගිනියි!’

කුස්සියට වැදුණු මම වතුර වීදුරුවක් බී මා සැමියාට උයා තබා ගිය වම්බටු මෝජුව, කජු මාළුව, අල, පරිප්පු සහ පපඩමින් යුතු බතින් අඩක් ගිලදැම්මෙමි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here