පින් කෝච්චියෙන් රජරටට පැමිණි කොත්මලේ ඇත්තන්ගේ කතාව

0
6
25 ජනවාරි, 2020

“වතුර නැති කාලෙට ලොරිවල නැගලා මින්නේරිය වැවට නාන්න යනවා”

– ඒ කාලේ වතුර රත්තරන්. සමහරු වතුර බෝතල් හොරකම් කරනවා 
– රැජන පොලොන්නරුවට ආව වේලාවෙ මුරට ඉන්න අපේ ගමේ පිරිමිත් ගියා

එක්දහස් නවසිය හතළිස් හතේ අවුරුද්දේදී මාසයක් පමණ එක දිගට දිවා රාත්‍රි ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව අවසන් වූයේ මිනිස් ජීවිත රැසක් මරු වසඟයට ගනිමිනි. ගේ දොර ගම්බිම් සියල්ල ජල රකුසා ඩැහැගත්තේ හිත්පිත් නැති සේය. හතළිත් හත අවුරුද්දේ කොත්මලේ මහා නාය යෑමට හසු වී ජීවිත ගලවාගත අය හෙටක් ගැන හිතා ගැනීමට බැරිව ගල් ගැසි සිටි මොහොතක ඔවුන්ගේ දුක සැප බලන්නට මහාමාන්‍ය ඩී ඇස් සේනානායක, එම්. ඩී. බණ්ඩා වැනි මානව හිතවාදින් පැමිණි බව එදවස ජීවත් වී සිටි අය පවසන්නේ ගෞරවපුර්වකවය.

“ මෙහෙ දුක් විඳින්න ඕනෑ නෑ. පොලොන්නරුවේ ඕනෑ තරම් ඉඩම් තියෙනවා. මේ හැම දෙනාටම පොලොන්නරුවට යන්න පුළුවන්.“ කියා ඩී. ඇස් සේනානායක මහතා පවසා ඇත.

ඒ අනුව ඉඩම් කච්චේරියක් පවත්වා පවුල් සිය ගණනක් තෝරාගෙන එම පිරිස කොත්මලේ සිට හිඟුරක්ගොඩට කෝච්චියකින් නොමිලේ ගෙනවිත් ඇත. ඔවුන්ගේ ජීවිතවලට විප්ලවීය පරිවර්තනයක් වූ මේ ගමන ජීවිතයේ කවදාවත් බලාපොරොත්තු නොවු එකක් විය. තම හත්මුතු පරම්පරාවත් ජීවිත කාලයක් ජීවත් වූ ගම් බිම් හැර රජරටට පැමිණියේ හිතකින් නොවේ.

කලක් සිටි භූමිය අතහැරීමත් අලුත් තැනකට පැමිණීමත් යන දෙගිඩියාවෙන් සිටි ඔවුන්ගේ හිත් අසහනයෙන් පෙළෙන්නට විය. ඔවුන් එදා සිතුවේ සීතල වතුර ටිකක් බී තේ පඳුරක් යට නිදාගෙන සිටියත් සැපයි කියාය. නමුදු එදා කඳුළු බි බී පින් කෝච්චියෙන් රජරටට පැමිණි පිරිසගේ තුන් වන හතර වන පස් වන පරම්පරාව අද අභිමානවත් ජීවිත ගත කරයි. එදා රජරට පැමිණි පවුල්වල වැඩිමල් දරුවන්ට අධ්‍යාපනය ලබන්නට බැරි විය. ඔවුන්ට සිදු වූයේ බාල නංගිලා මල්ලිලා බලා ගන්නටත්, ගොවිතැන් කටයුතුවලට වැඩිහිටියන්ට උදව් වෙන්නටත්ය.

එකල සෑම පවුලකම දරුවෝ දහදොළොස් දෙනෙක් පමණ සිටියහ. කාන්තා පිරිමි සියල්ලෝම ඇඟපත වෙහෙසා වැඩකරන්නෝ වූහ.

පනහ දශකයේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ පරිපාලන සේවය සඳහා පිටින් පැමිණි සියලු නිලධාරි පැළැන්තිය වැඩිපුරම දෙමළ ජාතිකයෝ වූහ. උප්පැන්න සහතිකය, පොලීසියෙන් සිතාසියක් එවීම, විදුලි පුවතක් ලැබීම පවා සිදු වූයේ ඉංග්‍රීසි භාෂාවෙනි.

සී. පී ද සිල්වා මහතා ජනපදවල ඉඩම් දීමේදී ගොවි පවුල් අතරට විවිධ කුලවල පවුල් පදිංචි කරවීමට කටයුතු කළේය.

“1947 කොත්මලේ දිඹුලට මාසයක් විතර වැස්සා එක දිගට. රාත්‍රී දොළහට විතර ගම නාය ගියා. තිස් දෙදෙනයි බේරුණේ. බේරුණ පවුල් සාමාජිකයන් එක්ක තවත් පවුල් සියයක් ස්ටේෂන් එකෙන් කෝච්චියට නැඟිලා හිඟුරක්ගොඩට ආවා. කෝච්චියේ ගමන් ගාස්තුව ගෙව්වේ රජයෙන්. ඒ පැමිණි මිනිස්සු ඒ, බී, සී, ඩී කියලා කණ්ඩායම් කළා. ඊට පස්සේ අපේ බඩුමුට්ටුයි දරු මල්ලොයි ලොරි වලින් වින්සන්ට් පාර්ක් එකට, කොම්පවුස් යාඩ්වලට ගෙනාවා. ඒ තමයි දෙවැනි ලෝක සංග්‍රාමයට සම්බන්ධ යුද්ධ කාලේ ගොඩනැගිලි. ඒ යාඩ්වල ඉඳලා උදේ හවස ඉඩම්වලට ගිහින් කැලය කැපුවා. මහ කැලය එක යායට කැපුවා. ආණ්ඩුවෙන් කුලිය හැටියට රුපියල් දෙකයි සත හැටක් ගෙව්වා. අලි එනවට ආරක්ෂාවට වෙනම මුර සේවයක් තිබුණා.

දවසට තුන් සැරයක් චෙක් කරනවා. හවස හතරට අපි නතර වෙලා ඉන්න වාඩිවලට එනවා. අපි නෑවේ ආණ්ඩුවේ වත්තේ වැවෙන්. වතුර නැති කාලෙට ලොරි නවයක් දහයක් ගෙනැල්ලා අපිව පටවාගෙන මින්නේරිය වැවට නාන්න එක්කගෙන යනවා. නා ගත්තාට පස්සේ ආයේ ගෙනැත් ඇරලවනවා.

අපට ඉඩම් දුන්නේ සීට්ටු දානවා වගේ තුණ්ඩු ඇඳලා. ගොඩ අක්කර දෙකයි , මඩ අක්කර තුනයි දුන්නා. ආණ්ඩුවෙන් අපට නියර දාලා දුන්නා. සිංහල නඟුලක් හරක් බානක්, උදැල්ලක්, අලවංගුවක්, කැති පොරෝ එක බැගින් දුන්නා. ගොඩ ඉඩම්වලට කටුකම්බි රෝල් දුන්නා. බිත්තර වී දුන්නා. මේ ඔක්කෝම දුන්නාම ගොවියො එකතු වෙලා අස්වැද්දුවා . අස්වැන්න වී බසුල් 120 ක් 100 ක් විතර තිබුණා.

හිඟුරක්ගොඩ මුදලාලිලා ඇවිල්ලා වී බුසල හතයි පනහට ගත්තේ. වී අස්වැන්න ගොන් කරත්තවලින් තමයි ගෙවල්වලට ඇද්දේ. ඒ කාලේ වී ගෝනියකට ශත 10-15 ගත්තා. දර කරත්තයක් රුපියල් පහයි.“ නොදන්නා අතීතයක් සොයා ගිය ගමනේදී හමු වූ උක්කු බණ්ඩා පැවැසුවේය.

අද වන විට ඒ යුගය ගැන කියන්නට දන්නා අය හිඟය. ඩිංගිරි අම්මා පැවැසුවේ මෙවැනි කතාය.

“ඒ කාලේ වතුර රත්තරන් වගෙයි. සමහරු වතුර බෝතල් හොරකම් කරනවා. අපි මඩ වතුරත් බීලගා තියෙනවා. උළු ගෙවල් හදලා දෙනකම් අපි හිටියේ පොල් අතු ගෙවල්වල. අපිට යන්න එන්න බස් තිබුණේ නැහැ. බඩුමුට්ටු ගේන්න කවුඩුල්ලේ ඉඳලා. අපි හිඟුරක්ගොඩට ආවේ ගියේ පයින්.

ඔය කාලේ තමයි ඩෝසර්වලින් කවුඩුල්ලට වතුර එන්න යෝධ ඇළ කැපුවේ. යලට මහට කුඹුරු වැඩ කරන්න කුලිය රුපියල් දෙකයි. මළ ගෙයක් වුණාම ගමේ වටේ පිටේ අය බුලත් සීනි තේකොළ පාන් අරගෙන මළ ගෙදර එනවා. ඒ කාලේ මේ දැන් වාගේ නානාප්‍රකාර ලෙඩ නැහැ. පනස් හතේ ගංවතුර වෙලාවේ වෙහෙරගල පන්සලේ තමයි අපි හිටියේ. අපේ කුඹුරු දවස් කිහපයක්ම වතුරෙන් යට වෙලා තිබුණා.

එලිසබෙත් රැජන ලංකාවට ආව වේලාවෙ රැජනට නතර වෙන්න පරාක්‍රම සමුද්‍රය අසල හෝටලයක් හැදුවා. අදත් ඒකට කියන්නේ රැජන හෝටලය කියලා. රැජන පොලොන්නරුවට ආව වෙලාවේ උත්සවයට පෙනී සිටින්නත් මුරට ඉන්නත් අපේ ගමේ පිරිමිත් ගියා. ඒ අයට රැජනගේ පින්තූරයත් එක්ක උත්සවයට සහභාගි වුණා කියලා සහතිකයත් දීලා තිබුණා. ඒ කාලේ විකුණන්න තිබුණේ රැජනගේ පින්තූරය තියෙන එක්සර්සයිස් පොත්.“ ඩිංගිරි අම්මා පවසන්නේ දුර ඈත දවස් ගැනය.

කොත්මලේ අතහැර රජරටට පැමිණි ඔවුහු ජීවිත ගොඩනඟා ගත්තේ බොහෝ අසීරුවෙනි. ස්වාභාව දහමෙන් පීඩා විඳි ඔවුහු සොබාදහමේ ආශ්වාද ලද්දෝ ද වූහ. නැති වී ගිය බිම් වෙනුවට නව ගම්බිම් ලද ඔවුන් ඒවා දියුණු කරගත්තේ දැතේ ශක්තියෙන් සහ හිතේ දිරියෙනි. පිනක් කෝච්චියෙන් රජරටට පැමිණි මේ ඇත්තන්ගේ කතාව අද වන විට ඉතිහාස කතාවක් පමණි.

• අමරසූරිය ගලප්පත්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here