ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

0
7

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබේ.

වසර 134 කට පෙර අද වැනි දිනක එනම්, 1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 08 කට සීමාකරන්නැයි ඉල්ලමින් ය.

වැඩ වරා සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික වූ අතර තුන්වැනි දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවූවා ය.

1886 මැයි මස 03 වැනිදා වැඩවර්ජනයේ තීරණාත්මක දිනයයි.

හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කළේ, සිව් දෙනෙකුට දිවි අහිමි කරමින් ය.

පහරදීමට විරෝධය පළ කරමින් මැයි මස 04 වැනිදා කම්කරුවන් පිරිසක් හේමාර්කට් චතුරශ්‍රයට එක් රැස් විය.

පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේ ය.

ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වුණේ පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ය.

ඒ ගැටුමේදී මියගිය කම්කරුවන් සංඛ්‍යාව අදටත් නිශ්චිත නැහැ.

කම්කරු නායකයින් වූ ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්,ඇඩොල්ෆ් ෆීෂර් ,ජෝර්ජ් එන්ගල්, සැමුවෙල් ෆීල්ඩන් ,ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔස්කා නිබේ පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන්ට නඩු පැවරුණේ ය.

ඔස්කා නිබේට වසර 15 ක සිර දඩුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

සෙසු පස් දෙනා එල්ලා මැරීමට නියම කෙරිණි.

සේවා කාලය පැය 08ට සීමා කරන්නැයි ඉල්ලා අරගල කරමින් රතු ලේ වැගිරූ තම සගයින් සදාතනිකව සිහි කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ 1889 වසරේදී ය.

ඒ අනුව සෑම වසරකම මැයි මස පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here