ජේන්, රොසලින් සහ සුන්දරී

0
11
ඔක්තෝබර් 29, 2020

ප්‍රවීණ රූපණවේිදිනී රම්‍යා වනිගසේකර සමඟ යම් රංග ශිල්පියකුට හෝ ශිල්පිනියකට රඟපෑමට අවස්ථාව ලැබීම සැබැවින්ම භාග්‍යයකි. ධම්ම ජාගොඩ සූරීන්ගේ ‘මිහිකතගේ දරුවෝ’ (1986) ටෙලි නාට්‍යයෙහි ඇය සමඟ ළමා චරිතයක් රඟපෑමේ භාග්‍යය මා හට ලැබිණ. රම්‍යා රූපණවේදිනියක ලෙස මතු නොව ශූර මාධ්‍යවේදිනියක, කෘතහස්ත ප්‍රවෘත්ති සන්නිවේදිකාවක ලෙස ද තබා ඇති සලකුණ සුවිශිෂ්්ටය. ඇයවන් හඬ පෞරුෂ මෙරට ජනසන්නිවේදන මාධ්‍ය ඉතිහාසයෙහිම අපට හමු වන්නේ ඉතා අල්පයකි.

ගුණසේන ගලප්පත්තිගේ ‘මුහුදු පුත්තු’ නාට්‍යයෙහි රම්‍යා රඟපෑවේ හින්නිහාමි නමැති අහිංසක ගැමි ලියකගේ භූමිකාවකි. එහි සාරා (සෝමලතා සුබසිංහ) දරුවකු ලැබීමේ සිහිනය දකිමින් සිටින විට හින්නිහාමි ගර්භිණී කාන්තාවක ලෙස ඇය සමීපව ඇසුරු කරන්නීය. මෙහි සාරාගේ මවගේ චරිතය සුමනා ජයතිලක නිරූපණය කළාය. කෘතහස්ත සාහිත්‍යවේදී කේ. ජයතිලකයන්ගේ බිරිය වූ ඇය ‘හඳමාමා’ ගුවන් විදුලි ළමා වැඩසටහනෙහි ‘හඳ නැන්දා’ ලෙස මෙරට ළමා පරපුරේ හදවත්හී සැමදා ලැගුම් ගෙන සිටින්නීය.

ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ ‘මනරංජන වැඩවර්ජන’ නාට්‍යය පසුව චූලා කාරියවසම් නිෂ්පාදනය කළ අවස්ථාවේ එහි ප්‍රධාන නිළි චරිතය වූ ගුණවතී ලෙස රම්‍යා රැඟුවාය. වැඩවර්ජකයා (සැන්ටින් ගුණවර්ධන රඟපෑ) ගේ බිරිය වූ ගුණවතී වූ කලී අනේකවිධ පීඩාවන්ට ලක්වන කාන්තාවකි.

ධර්මදාස කුරුප්පු නිර්මාණය කළ ‘සිරිසඟබෝ’ නාට්‍යයෙහි සඟබෝ බිසව ලෙස රඟපෑ රම්‍යා ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ ‘සිරිසඟබෝ’ නිර්මාණයේදී ඊට හාත්පසින්ම වෙනස් හාස්‍යෝත්පාදක භූමිකාවක් රැඟුවාය. එනම් බම්මන්නා (සුනිල් හෙට්ටිආරච්චි රඟපෑ) ගේ බිරිය සොඳුරිය ලෙසිනි. රම්‍යා හාස්‍යෝත්පාදක චරිත රැඟූ අවස්ථා විරලය. ‘සිරිසඟබෝ’ නාට්‍යයෙහි සොඳුරියගේ චරිතය ඉන් එකකි. 1978 එවක අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ටවර් රඟහල රජයට පවරා ගැනිණ. ඉපැරැණි සුප්‍රකට ටවර් නාට්‍ය කිහිපයක් එවක ප්‍රවීණ නාට්‍යවේදීන් ලවා යළිත් නිර්මාණය වූයේ මේ ව්‍යාපෘතියෙහිම ප්‍රතිඵලයක් වශයෙනි. ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ ‘සිරිසඟබෝ’ නාට්‍යය ඉන් එකකි. 1978 රජයට පවරා ගත් ටවර් රඟහල යළිත් විවෘත වූයේ ‘සිරිසඟබෝ’ නාට්‍යය වේදිකා ගත කිරීමෙනි. අද අපට සිටින ජ්‍යෙෂ්ඨතම සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයෝ මේ නාට්‍යය සංගීතවත් කළහ. විජය නන්දසිරි හා වික්ටර් වික්‍රමගේ සඟබෝ චරිතය වරින්වර රැඟුහ. නිශ්ශංක දිද්දෙණිය හෝ කුවින්ටස් වීරකෝන් ගෝඨාභය කුමරුගේ භූමිකාව රඟපෑ අතර නිමල් ජයසිංහ සංඝතිස්ස කුමරුගේ භූමිකාවට පණ පෙව්වේය.

ආර්. ආර්. සමරකෝන්ගේ ‘ජේලර් උන්නැහැ’, ‘ඉඩම‘ හා ‘අහසින් වැටුණු මිනිස්සු’ රම්‍යාගේ රංගන දිවියේ සන්ධිස්ථාන බවට පත් වූ නාට්‍ය වේ. සමරකෝන් ‘මිනිහෙක්’ කෙටි නාට්‍යය නැවත ලියා ‘ජේලර් උන්නැහැ’ නාට්‍යය නිර්මාණය කළේය. අපරාධකරුවන් තිදෙනෙකු බලා ගැනීමේ රාජකාරිය පැවරෙන ජේලර්වරයකු වටා ගෙතුණු කතාවක් මීට වස්තු විෂය විය. මෙකී අපරාධකරුවෝ තිදෙනා සමාජ අසාධාරණය හමුවේ අසරණ වී බන්ධනාගාර ගත වූහ. ඔවුන් රැක බලා ගන්නා ජේලර් උන්නැහැ ඊටත් වඩා දරිද්‍රතාවෙන් පීඩිත අසරණයෙකි. එල්සන් දිවිතුරුගම ජේලර් ලෙසත් නීල් අලස්, වික්‍රම බෝගොඩ හා එච්. ඒ. පෙරේරා සිරකරුවන් ලෙසත් රඟපෑහ. එක් සිරකරුවකු (නීල් අලස් රඟපෑ චරිතය) මෙලෙස බන්ධනාගාරගත වනුයේ තම සොහොයුරියට (රම්‍යා වනිගසේකර රැඟූ භූමිකාව) අතවර කිරීමට පැමිණි මිනිසකුට පහරදීමෙනි. ඔහු තම වරද පාපොච්චාරණය කරන්නා වූ ජවනිකාව මේ නාට්‍යයෙහි වඩාත් සානුකම්පිත ලෙස නිරූපණය වූ බව සහෘදයන්ට මතක ඇත. පද්මිණී දිවිතුරුගම ජේලර් දියණිය ලෙස මෙහි නිරූපිත චරිතය ද අමතක නොවේ. 1986 රාජ්‍ය නාට්‍ය උලෙළේදී නීල් අලස්, එල්සන් දිවිතුරුගම, එච්. ඒ. පෙරේරා යන රංග ශිල්පීන්ට රංග කුසලතා සහතික හිමි විය.

ආර්. ආර්. සමරකෝන්ගේ ‘ඉඩම‘ ඉඩම් හිමි සහ අහිමි ජනතාවගේ කාලීන සමාජ ප්‍රශ්නයක් වස්තු විෂය වූ නාට්‍යයකි. ඉඩම් හිමි ධනපතියකුගේ වත්තක පදිංචි වී සිටින පවුලක් හා ඔවුන් එකිනෙකා අතර හට ගන්නා ආරවුලක් වටා මේ නාට්‍යය විකාශනය වේ. ඉඩම් හිමි ධනපති පන්තියේ පීඩනයට මේ පවුල ලක්වන ආකාරය මින් මැනවින් විවරණය කෙරේ. ධනේශ්වර සමාජ ක්‍රමය ඉඩම් ප්‍රශ්නයට බලපාන අයුරු මේ නාට්‍යයෙන් චිත්‍රණය වේ.

1975 ‘ඉඩම‘ ප්‍රථම නිෂ්පාදනයේ චන්ද්‍රා කළුආරච්චි, මර්සි එදිරිසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ජේ. එච්. ජයවර්ධන, සිරිල් වික්‍රමගේ, එල්සන් දිවිතුරුගම යනාදීහු රංගනයෙන් දායක වූහ. හොඳම ස්වතන්ත්‍ර රචනය සඳහා ආර්. ආර්. සමරකෝන් රාජ්‍ය නාට්‍ය උලෙළෙහි සම්මානයට පාත්‍ර විය. චන්ද්‍රා කළුආරච්චි හොඳම නිළිය ලෙස සම්මානය ලබද්දී රවීන්ද්‍ර රන්දෙණිය, එල්සන් දිවිතුරුගම , මර්සි එදිරිසිංහ සහ ජේ. එච්. ජයවර්ධන රංගනය සඳහා කුසලතා සහතික දිනා ගත්හ. ‘ඉඩම‘ පසුකාලීන නිෂ්පාදනය රම්‍යා වනිගසේකරගේ රැඟුමෙන් ආලෝකවත් විය. ජේ. එච්. ජයවර්ධනගේ බිරිය ලෙසත් නීල් අලස් හා පද්මිණී දිවිතුරුගමගේ මව ලෙසත් රොස්ලින් නමැති මෙහි ප්‍රධාන චරිතයට ඈ ප්‍රාණය දුන්නාය. ආර්. ආර්. සමරකෝන් ප්‍රතිභාපූර්ණ නාට්‍යවේදියකු ලෙස තම ප්‍රථම මුද්‍රාව තැබුවේ තම තෙවැනි නාට්‍ය නිර්මාණය වූ ‘අහසින් වැටුණු මිනිස්සු’ (1971) ඔස්සේය. එහි පසුකාලීන නිෂ්පාදනය රම්‍යා වනිගසේකරගෙන් ඔපවත් විය. මෙහි ඇය ජේන් නෝනා හෙවත් මවගේ ප්‍රධන භූමිකාව රැඟුවාය.

මුඩුක්කුවක ජීවත්වන පවුලක් තම එදා වේල පිරිමසා ගැනීමේ ජීවන අරගලය මින් නිරූපිතය. මේ පවුලේ මවක්, දියණියක්, පුතෙක් වාසය කරති. දියණිය කාර්යාලයක අසරණ ලිපිකරුවකු සමඟ හාද වන්නීය. මේ පෙම්වතා බියගන්වා ආර්ථික ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මව සහ පුතා උත්සුක වෙති. අවසානයේ මේ පෙම්වතාට රැකියාව අහිමි වනුයේ මුදල් වංචාවකට හසුවීමෙනි. ඔහුට රැකියාව අහිමි වනුයේ තම පෙම්වතියගේ සොහොයුරාගේ බල කිරීමෙනි. ඉන් ඔහුට පෙම්වතිය ද අහිමි වේ. පැල්පත්වාසීන් තම ජීවන අරගලය සඳහා ඕනෑම වැරැද්දකට පෙලඹෙන ආකාරය මින් විවරණය කෙරිණ. ආර්ථික අවශ්‍යතා සඳහා තම දියණිය පෙන්වා මුදල් සූරාකන කපටි ගැහැනියක ලෙස රම්‍යා මෙහි ජේන්ගේ චරිතය ශූර ලෙස රඟපෑවාය. ගීතා කාන්ති ජයකොඩි මෙහි ඇගේ දියණිය ජානකී ලෙස හා තිලක් කුමාර රත්නායක පුත් මිල්ටන් ලෙස රඟපෑහ. මුල් නිෂ්පාදනයේ චන්ද්‍රා කළුආරච්චි (ජේන් නෝනා) ප්‍රේමා ගනේගොඩ (ජානකී) හා රංජිත් යායින්න (මිල්ටන්) ප්‍රධාන චරිත රඟපෑහ. 1971 රාජ්‍ය නාට්‍ය උලෙළේදී ආර්. ආර්. සමරකෝන් හොඳම නිෂ්පාදනය හා හොඳම රචනය සඳහාත් චන්ද්‍රා කළුආරච්චි හොඳම නිළිය ලෙසත්, රංජිත් යායින්න හොඳම නළුවා ලෙසත් සම්මාන දිනා ගත්හ.

ධර්මජිත් පුනර්ජීවගේ ‘ලිහිණි’ (1993) නාට්‍යයේ නැනීගේ භූමිකාව ද රම්‍යාගේ රැඟුම් අතර අමතක නොවේ. ඕස්ට්‍රේලියානු ජාතික රොබට්ස් හෙවිට්ගේ ‘ට්උඹ්ඹ්ඉ’ නාට්‍යය ඇසුරෙන් ධර්මජිත් නිර්මාණය කළ ‘ලිහිණි’ නාට්‍යයේ දරුණු රිය අනතුරකින් ආබාධිත වූ අංග විකල තරුණයකු වන කාලිංග ලෙස මෙහි ප්‍රධාන චරිතය ඔහුම ශූර ලෙස රඟපෑවේය. තම ආබාධිත සොහොයුරා වෙනුවෙන් විවාහය පවා පසෙකලා මුහුදුබඩ නිවසක ඇප කැප වන සොහොයුරියක ලෙස මානෙල් ජාගොඩගේ අමරණීය රංගනයද සහෘදයන්ට අමතක නොවේ. මෙහිදී ඇයට සහාය වන නැනීගේ භූමිකාව රම්‍යා රැඟුවාය. සහන් රන්වලගේ ‘වෙලාව කීයද’ (2009) නාට්‍යයේ කථකයාගේ (සහන් රන්වල රැඟූ) මව ලෙස රම්‍යා රැඟූ චරිතය ද සුවිශේෂ වේ. ජනප්‍රිය සංස්කෘතික වහන්තරාවන් මෙරට ඇතැම් ජනමාධ්‍ය හසුරුවන ආකාරයත් එහි අනිවාර්ය ප්‍රතිඵල ලෙස අවර ගණයේ තෙල දසුන් වැඩසටහන් සහ බාල වර්ගයේ ටෙලි නාට්‍ය මහලු මවගේ විඥානය මොට කරන අයුරු මේ චරිතයෙන් විවරණය වේ. එය හෙළි කරන දෙබසකි මේ. ‘කාටද පුතේ ප්‍රශ්න නැත්තේ, දැන් බලන්න බලාජිට තියෙන ප්‍රශ්න ටික’. රංජිත් ධර්මකීර්තිගේ ‘අංගාරා ගඟ ගලා බසී’ නාට්‍යයට රම්‍යා දායක වූයේ ගායනයෙන් පමණි.

 

ඉතිරි කොටස ලබන සතියේ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here