අමානුෂිකව තරුණයකුට පහර දීමේ සිද්ධිය: ලක්ෂ දෙකක් වන්දි ගෙවන්නැයි පොලීසියට නියෝග

0
10
Author(s): 
නෙල්කා මැදගෙදර

අත්අඩංගුවට ගත් තරුණයකුට අමානුෂික ලෙස පහර දී අතක් කඩා දැමීමෙන්, සහ පහර දීම හෙළි නොකරන ලෙසට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමෙන් අනුරාධපුර පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් 2013 වසරේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් එම සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයාට ගෙවන ලෙස එවක සිටි පොලිස්පතිවරයාට සහ එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනකුට නියෝග කළේය.

එම වන්දි මුදලෙන් රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස පොලිස්පති වරයාට නියම වූ අතර අනුරාධපුර පොලිසියේ හිටපු ප්‍රධාන ⁣පොලිස් පරීක්ෂක ගාල්ලගේ , උපපොලිස් පරීක්ෂක අමරසිංහ නමැත්තන්ට රුපියල් 50,000 ක් බැගින් පෞද්ගලිකව අදාළ තරුණයාට ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

රජයේ නිලධාරීන්, විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් විසින් සිදු කරන මෙවැනි පහරදීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙස ත්, ඒ සඳහා සැලසුම් සකස් කරන ලෙස ත්, මීට පෙර නඩු තීන්දු ගණනාවකින් නියෝග කර ඇතැත්, එවැනි පියවර ගැනීමක් ගැන මෙතෙක් අධිකරණයට වාර්තා වී නැතැයි මෙම නියෝගය දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත.

එබැවින් මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වීම වැළැක්වීමට බලධාරීන් අවශ්‍ය පියවර ගතයුතු යැයි එහි සඳහන් වේ.

තමන් ට පහර දීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කර ඇති බව තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරය, මහ වලුක්කුලම ප්‍රදේශයේ පදිංචි ලසන්ත අනුරාධ නන්දසේන නමැත්තකු ගොනු කළ පෙත්සමක් විභාගය අවසන් කර එහි තීන්දුව ලබා දෙමින් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ බව සඳහන් කර තිබේ.

බුවනෙක අළුවිහාරේ , මුර්දු ප්‍රනාන්දු සහ එස්.එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සමේ තීන්දුව ලබා දෙන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ, උප පොලිස් පරීක්ෂක අමරසිංහ, පොලිස්පතිවරයා ඇතුළු හය දෙනෙකු නම් කරනු ලැබ සිටියහ. 2013 වසරේ සැප්තැම්බර් 25 වැනි දින අනුරාධපුර පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් පෙත්සම්කාර තරුණයා පොලිස් ජීප් රථයේ පසුපස එල්ලා පහර දුන් බව සඳහන් විය.

එසේම අධිකරණයට අනාවරණය කළ පරිදි මෙම පහරදීම හේතුවෙන් ඔහුගේ දකුණු උරහිස කැඩී ඇත. සිහිසුන් තත්ත්වයට පත්ව ඇති පෙත්සම්කරුට පියවි සිහිය පැමිණෙන විට ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක සිට ඇති අතර ඉන්පසුව නැවතත් පෙත්සම්කරුව අනුරාධපුර පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත. ඊට පසුදින පෙත්සම්කරුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ⁣විසින් නැවතත් පොලිස් ජීප් රථයට දමා දණ ගස්සවා ඇත. ජීප් රථයේදී දෙවැනි වගඋත්තරකරු පිස්තෝලයක් පෙන්වා, පෙත්සම්කරුට පහර දුන් බව හෙළිකළ හොත් මරා දමන බවටත්, ඔහුගේ ඥාතීන් අත්අඩංගුවට ගන්නා බවටත් තර්ජනය කළේය. පසුව අත්අඩංගුවට ගත් පෙත්සම්කරුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පෙත්සම් විභාගයේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ රත්රන් බඩු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ⁣පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත පෙත්සම්කරුව අත්අඩංගුවට ගත් බවය.

ඔහු ජීප් රථයෙන් එළියට පැන්න අවස්ථාවේදී ඔහුට තුවාල සිදුවූ බව ද ඇය කියා සිටි නමුත් එය පිළිගත නොහැකි බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු අනුව පෙත්සම්කරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිගැනීමට අධිකරණයට ප්‍රමාණවත් හේතු පවතින බව සඳහන් කරන විනිසුරු මඩුල්ල පෙන්වා දෙන්නේ පෙත්සමේ දෙවැනි සහ තුන්වැනි වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කරු අත්අඩංගුවේ සිටියදී ඔහුට පහරදී ඇති බව අධිකරණයේ මතය බවය.

ඒ අනුව පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය යටතේ ඇති ඔහු ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද අධිකරණයේ තීන්දුව වේ.

සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී දෙවැනි සහ තුන්වැනි වගඋත්තරකරුවන් සහ විසින් පෙත්සම්කරුගේ අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කරඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here