ජේම්ස් බොන්ඩ් ‘සදා නොමියෙන සුපිරි රහස් දූතයා’ දිවි සිනමාවෙන් සමුගනී

0
11
නොවැම්බර් 5, 2020

1967 දී ඩයමන්ඩ්ස් ආ ෆොර් එවර් චිත්‍රපටයෙන් පසු බොන්ඩ් චරිතයෙන් සමුගන්නා විට ඔහු ජනප්‍රිය සිනමාවේ උපරිම තලයේ සිටීමත්, ලොව ඕනෑම නලුවකු රඟපෑමට සිහින මැවූ චරිතය කිසිම ලෝබ කමකින් තොරව අත් හැරීමත් ඔහුගේ ඍජු භාවය සනාථ කරවන කරුණකි.

 

1961 ඔක්තෝබර් මාසයේ සුන්දර උදෑසනක ලන්ඩනයේ මේෆෙයාර් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක වූ ඉඔන් ප්‍රඩක්ෂන්ස් කාර්යාලයේ අදටත් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපට කතා මාලාවක ප්‍රධාන නළුවා තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙමින් තිබිණ. විනිශ්චය මණ්ඩලය චිත්‍රපට නිෂ්පාදක හැරී සෝල්ට්ස්මන් ඇල්බට් ආර් බ්‍රොකොලි සහ කතා රචක ඉයන් ෆ්ලෙමින් යන මහත්වරුන්ගෙන් සමන්විත විය.

 

නලුවන් සිය ගණනක් මේ වන විට පරීක්‍ෂණයට ලක්කර අවසන් වුවත් විනිසුරුවන් තවමත් සෑහීමකට පත් නොවූ සෙයකි. ඊලඟට කාමරයට පිවිසුණේ අඩි හය හමාරක් පමණ උස් වූ මනාව වැඩුණු සිරුරකින් හෙබි කඩවසම් තරුණයෙකි. පුළුල් නළල ඍජු නාසය ඝන ඇහිබැමට යටින් වූ දුඹුරුවන් නෙත් සඟල ඔහුගේ රුවට මනාව ගැළපුණි. නිෂ්පාදකවරුන්ගේ සියුම් නිරීක්‍ෂණයට ලක්වුණු අනෙකුත් විශේෂිත කරුණු වූයේ ඔහුගේ මුහුණේ ඉරියව්වලට ගැළපෙන තියුණු බැල්ම සහ කතා විලාසයයි.

පරීක්‍ෂණය නිම වී නැගී සිටි ඔහු දිගු අඩි තබමින් දොර වෙත ගමන්ගත් ආකාරයත් එය විවෘත කරමින් නික්ම ගිය අයුරුත් බලා සිටි හැරී සහ බ්‍රොකොලි වහා නැගිට ජනේලය වෙත ගොස් පහළ මාර්ගයට අවතීර්ණව සෙනඟ අතරින් ගමන් ගන්නා එම පුද්ගලයා දෙස විමසිල්ලෙන් බලා උන්ණා. ඉනික්බිතිව මුහුණට මුහුණ බලාගෙන ගතකළ තත්පර කීපයෙන් පසු, දෙදෙනාගේ ම මුවින් එකවර කියවුණේ “හරි එයා තමයි මෙතෙක් කල් අපි හෙව්ව මිනිහා ජේම්ස් බොන්ඩ්” යන වචන පෙළ යි.

එදා ප්‍රවීන කඩවසම් තරුණ නළුවන් සිය ගණනක් පරදවා ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑමේ වරම ලබාගත් ෂෝන් කොනරි බ්‍රි‍තාන්‍යයේ ස්කොට්ලන්තයේ හි කම්කරු පවුලක උපන්නෙකි. ළමා අවධිය ඉතා දුකසේ ගෙවමින් යොවුන් වියට පත්ව ජීවනෝපාය සඳහා කිරි බෙදන්නෙකු, මුද්‍රණ යන්ත්‍ර පිරිසිදු කරන්නෙකු , මිනී පෙට්ටි ඔප දමන්නෙකු සහ නාවික භටයෙකු ලෙස විවිධ රැකියාවන්හි යෙදෙමින් අනේකවිධ දුක් කම්කටොලු මැද ජීවන අරගලයක නිරත වුණු තරුණ ෂෝන් ( ඔහුගේ මුල් නම තෝමස් කොනරි විය.) ලන්ඩනයේ සවුත් පැසිෆික් නාට්‍ය කණ්ඩායමට බැඳුණේ ගායකයෙකු ලෙසින් වුවද ඔහුගේ වැඩිපුර උනන්දුව තිබුණේ රඟපෑමටයි. ඔහු ඉඩක් ලද හැම විටම රංගනය පිළිබඳ හැදෑරීම සිරිතක් කොටගත් අතර කායවර්ධන ව්‍යායාමයන් හි යෙදෙමින් ප්‍රාදේශීය අයෝමය පුරුෂයා තේරීමේ තරගවල දී පදක්කම් දිනාගැනීමටද සමත් විය. එහි ප්‍රතිඵලයක් වූ මනා පෞරුෂයත් කඩවසම් පෙනුමත් බොන්ඩ් චරිතය දිනා ගැනීම සඳහා ඔහුට ඉවහල් වූවාට කිසිදු සැකයක් නැත.

1961 දී ‘ඩොක්ටර් නෝ ’ චිත්‍රපටයේ රඟපෑමට පෙර ඔහු 1957-1958 වසරවල දී ‘හෙල් ඩ්‍රයිවර්ස්’, ‘ඩාබි ඔගිල්’සහ ඔපරේෂන් ස්නාෆු’ වැනි චිත්‍රපටවල රඟපා තිබුණි. එහෙත් ඔහු ලොව පුරා ජනප්‍රියත්වයේ හිණි පෙත්තතට නැංගේ ‘ඩොක්ටර් නෝ’ චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑමෙනි. හොලිවුඩ් සිනමා ලොව උඩු යටිකුරු කරමින් සිනමා ලෝලීන් උමතු කළ සුපිරි තරුවක් වන්නට ඔහුට ගතවුණේ එක් රැයක් පමණකි.

ප්‍රවීණ සිනමාකරුවෙකු වූ ටෙරන්ස් යං චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ අතර නිෂ්පාදකවරුන් වූ හැරී සහ බ්‍රොකොලි දෙපළ කොනරි සමඟ තවත් බොන්ඩ් චිත්‍රපට 5ක් සඳහා ගිවිසුම් අත්සන් කරන ලද්දේ මුල් චිත්‍රපටයෙන් ලද නොසිතූ විරූ ජනප්‍රියත්වය සහ බිඳහෙලන ලද ‘බොක්ස් ඔෆිස්’ ආදායම් වාර්තා නිසාවෙනි. දහසකට අධික සිනමා ලෝලීන් රැසක් සමඟ චිත්‍රපටියේ මංගල දර්ශනය 1962 ඔක්තෝබර් 5 වෙනිදා ලන්ඩනයේ පැවිලියන්හි ඕඩියන් ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ සියලු ශිල්පීන් සහ සම්භාවනීය අමුත්තන් ගේ සහභාගිත්වයෙනි.

60 දශකයේ ඇමරිකාවේ සිනමා සඟරාවක් විසින් පවත්වන ලද තරගයකින් තරුණියන්ගේ වඩාත්ම ආකර්ෂණය දිනාගත් නළුවා වුයේද ෂෝන් කොනරි ය. ඩොක්ටර් නෝ චිත්‍රපටයෙන් පසුව බොන්ඩ් සිනමාවලියේ ෆ්‍රොම් රෂියා විත් ලව් 1963, ගෝලඩ් ෆින්ගර් 1964, තන්ඩර්බෝල් 1965, යූ ඔන්ලි ලිව් ට්වයිස් 1967, ඩයමන්ඩ්ස් ආ ෆොර් එවර් 1971 සහ නෙවර් සේ නෙවර් අගේන් 1983 යන චිත්‍රපටවලට අමතරව මානි 1964, ඉන්ඩියානා ජෝන්ස් 1989, මෙඩිසින් මෑන් 1992 සහ එන්ට්‍රැප්මන්ට් 1999 ඇතුළු චිත්‍රපට 50කටත් අධික සංඛ්‍යාවක රඟපා ඇත. 1988 වසරේ දී තිරගතවුණු ‘දි අන්ටචබල්ස්’ චිත්‍රපටයේ හොඳම සහාය නළුවා ලෙස ඔහු ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවේය.

1969 දී ‘පීපල්’ සඟරාවවිසින් පවත්වන ලද ‘වසරේ උපරිම කාන්තා ආකර්ශණය දිනාගත් තැනැත්තා’ සම්මානයෙන් පිදුම් ලබන විට ඔහු ගේ වයස අවුරුදු 59කි.1962 දී ඔස්ටේ්‍රලියානු ජාතික සිනමා නිළි ඩයනි සිලෙන්ටෝ සමඟ විවාහ වූ කොනරි මාස 11ක පමණ කෙටි විවාහයකට පසු 1973 දී දික්කසාද විය. ඔවුන්ගේ එකම දරුවා සිනමා නලු ජේසන් කොනරි ය.1976 දී රොබින් ඇන්ඩ් මේරියන් චිත්‍රපටයේ ඔහු රොබින් හුඩ් ලෙස රඟපෑ අතර පසු කලෙක ඔහුගේ එකම පුතා වන ජේසන් කොනරි ‘රොබින් ඔෆ් ෂර්වුඩ්’ ටෙලි මාලා නාටකයේ රොබින් හුඩ් චරිතය රඟපෑම සුවිශේෂත්වයකි.

දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයකුවන කොනරිට 1970 මොරොක්කෝවේදී හමුවන චිත්‍රශිල්පිනියක් වන මිචෙලින් රොකුබ්රුන් සමඟ විවාහවන ඔහුගේ දෙවැනි සහ අවසාන බිරිඳ ඇයවන අතර ඔවුන්ගේ විවාහ දිවියට වසර 50කි.

ජේම්ස් බොන්ඩ් සිනමාවලියේ පස්වැන්න වූ ‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයෙන් පසු කොනරි බොන්ඩ් චරිතයෙන් ඉවත්වීම නිසා බොන්ඩ් චරිතයට නවක නලුවෙක්වන ජෝජ් ලේසන්බි යොදා නිම කළ ‘ඔන් හර් මැජෙස්ටීස් සීක්‍රට් සර්විස්’ චිත්‍රපටය අසාර්ථක වීමෙන් නිෂ්පාදකවරු ඊළඟ චිත්‍රපටය සඳහා කොනරිට ආරාධනා කළ අතර, ඒ සඳහා ඔහුට ගෙවීමට තීරණය කර ඇති වැටුප ඩොලර් මිලියන දොළොස් ලක්‍ෂ පණස් දහසක (1250000) මුදලකි. එය වාර්තාගත වන්නේ එවකට රංගනය සඳහා නළුවෙකුට ලෝකයේ ගෙවන ලද උපරිම වැටුප ලෙසයි. ඊට අමතරව චිත්‍රපටයෙන් ලබන ආදායමෙන් 12. 5 ක ප්‍රතිශතයක මුදලක් ද ගෙවීමට එකඟත්වය පළවිය.

ඒ අතර කොනරි ගේ ඉල්ලීම වූයේ ඔහුගේ මූලික වැටුප සම්පූර්ණයෙන්ම ස්කොට්ලන්තයේ වෙසෙන දිළිඳු දරුවන් ගේ අධ්‍යාපනය සඳහා වෙන්වූ අරමුදලට බැර කරන ලෙසයි. ස්කොට් ජාතිකයෙකු වූකොනරි කුඩා අවධියේ තමා ගෙවූ දුක්බර කටුක ජීවිතය මෙනෙහි කරමින් මෙම පුණ්‍ය කර්මයට දායකත්වය ලබාදීම විශේෂත්වයකි. ඊට අමතරව යුනයිටඩ් ආටිස්ට් සමාගම වෙත ඔහු ඉදිරිපත් කළ අනෙක් යෝජනාව නම් ඔහු ප්‍රධාන චරිතය රඟපාන බොන්ඩ් නොවන චිත්‍රපට දෙකක් ඔහු වෙනුවෙන් නිෂ්පාදනය කරන ලෙසයි. පසු කලෙක ‘මැක්බත්’ සහ ‘දි ඔෆෙන්ස්’ යන චිත්‍රපට දෙක නිෂ්පාදනය වුණේ එම ගිවිසුම පරිදිය.

සිනමාව සහ මානව හිතවාදී ක්‍රියාකාරම් හරහා එක්සත් රාජාධානිය වෙත ලබා දුන් කීර්තිය වෙනුවෙන් වර්ෂ 2000දී එලිසබෙත් මහ රැජින විසින් ඔහු ගෞරව නයිට් නාමයෙන් පුදනු ලැබී ය.සැබෑ ජීවිතයේදී ඔහු ඉතා ගුණ ගරුක ප්‍රිය මනාප චරිතයක් විය. ඇතැම් නළුවන්ට මෙන් කිසි විටෙකත් නිළියන්ගෙන් ඔහුට චෝදනා එල්ල වූයේ නැත.

සෑම නිළියක්ම ඔහුව අගය කළේ නියම මහත්මා ගුණයෙන් හෙබි මිතුරෙකු ලෙස ය.ලෝක ප්‍රකට සෑම නිළියක් සමඟම එක්ව රඟපා ඇති ඔහු හා රඟපෑමට සෑම නිළියක්ම ඉතා කැමැත්තෙන් සැදී පැහැදී සිටියේ ය.1967 දී ඩයමන්ඩ්ස් ආ ෆොර් එවර් චිත්‍රපටයෙන් පසු බොන්ඩ් චරිතයෙන් සමුගන්නා විට ඔහු ජනප්‍රිය සිනමාවේ උපරිම තලයේ සිටීමත්, ලොව ඕනෑම නළුවකු රඟපෑමට සිහින මැවූ චරිතය කිසිම ලෝබ කමකින් තොරව අත් හැරීමත් ඔහුගේ ඍජු භාවය සනාථ කරවන කරුණකි.

උපතින් ස්කොට් ජාකිකයෙකු වූ ඔහු නිතර ඒ පිළිබඳව අභිමානයෙන් කතා කළේය. ලොව වැඩිම ගාස්තුව අයකළ සිනමානලුවා ලෙස ‘ගිනස්’ වාර්තා පොතට ගිය කොනරි ඒ මුළු වැටුපම වැය කළේ ස්කොට්ලන්තයේ දිළිඳු දරුවන්ගේ සුබ සාධන කටයුතු නඟාසිටුවීම සඳහා ය.’ගොල්ෆ්’ ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව විය. ඉඩක් ලද විගස ක්‍රීඩාවේ නිරත වුණු ඔහු සම්මාන ලාභී ගොල්ෆ් ක්‍රීඩකයෙකි.

1967 වර්ෂයේ ‘යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයේ රඟපෑමට ජපානයට ගොස් සිටියදී කරාටේ ගුරු මාස්ටර් ‘ඔයාමා’ යටතේ කරාටේ ශිල්පය හැදෑරූ කොනරි 6වෙනි තත්වයේ (6th Dan) කලුපටි ධාරියෙකු ද වූ අතර එවකට ජපන් ‘කියෝකු ෂින් කායිකාන් කරාටේ’ සම්මේලනයේ එක්සත් රාජධානී නිත්‍ය නියෝජිත තනතුර හෙබවීය.

2014 දී සිනමාවෙන් ටික කලකට ඈත් වී ස්පාඤඤයේ මැඩ්රිඩ් නුවර ‘මාබෙලා’ මන්දිරයේ වාසය කළ කොනරි 1990 දී එම මැදුර විකුණා ඇමෙරිකාවට ආවේය.එතැන් පටන් මේ දක්වා සිය පවුලත් සමඟ විවේක සුවයෙන් ගතකළේ නිව්යෝක් නුවර නිවෙසකය.ඔහු ආහාර ගන්නාවිට තම පියාණන් සිහි කරමින් “ අනේ මෙවැනි ආහාර වේලක් මගේ පියාට දීමට අවස්තාවක් මට නොහැකි වීම මහත් කණගාටුවක්” යනුවෙන් පැවසීම ඔහු ගතකළ අතීතයේ කටුක බවට කදිම උදාහරණයකි.

1930 අගෝස්තු 25 වෙනිදා ස්කොට්ලන්තයේ ෆවුන්ටන් බ්‍රිජ් හි කම්කරු පවුලක උපත ලබා දශක දෙකක පමණ කාලයක් අනේකවිධ දුක් පීඩා විඳීමින් නැගී සිට, ලොවට සදාකාලික වීරයකු හඳුන්වා දෙමින් සහ දශක 6ක කාලයක් පොදුජන සම්මානයට අමතරව රාජකීය නයිට් වරයෙකු දක්වා ගිය වසර 90ක පරමාදර්ශී ගමනේ නිමාව 2020 ඔක්තෝබර් 31 වැනිදාට සනිටුහන් කරමින් පවුලේ ඥාතීන් නිවේදනය කළේ රාත්‍රී නින්දේදී ම ඔහු සමුගත් වගයි.

 

‘My Name is Bond… James Bond’  යන ස්වරයෙන් මුළු මහත් සිනමා ලෝකයම වසඟ කළ ඔබ තරම් විශිෂ්ට ලෙස බොන්ඩ් චරිතය ජීවමාන කිරීමට සමතෙක් එදත්, අදත් හෝ මතුවටත් මේ මිහිපිට පහළ නොවන බව විශ්වාසය. සම්මානනීය මහා නළුවාණෙනි ඔබට සුබ ගමන්.

 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here