රැම්ස්බොතම් ආර්යාව පෙම්බැඳි “ඕලු පිපීලා”

0
15
නොවැම්බර් 12, 2020

මෙරට සිංහල සංගීතය “දේශීය මුහුණුවරකට” හැරවීමේ සංගීතමය ව්‍යායාමයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සංගීතඥයා ලෙස පිළිගැනෙන්නේ “සුනිල් සාන්ත” සූරීන් ය. වර්ෂ 1906 පමණ ඇරඹී ග්‍රැමොෆෝන් ගීත තැටි වල 1906-27 පමණ, ආරම්භක වකවානුවේ මෙරට වඩා ප්‍රචලිත වූයේ දක්ෂිණ භාරතීය කර්ණාටක සහ දමිළ නාටක ගී ඇසුරින් නිර්මාණය වූ නාඩගම් ගීත මෙන් ම, උත්තර භාරතීය රාග, වෘත්ත, තාල ආදියෙන් නිර්මාණය වූ විශ්වනාත් ලෞජි, සදාලාල් මගන්ලාල් , නවාබ් ආශි ඛාන් ආදී ඉන්දියානු සංගීතඥයන් අතින් බිහි වුණු නුර්ති ගීත ය. මෙසමයෙහි, හින්දුස්ථානි රාගධාරී සංගීතය මෙරටට වඩා උචිත බව පසක් කර ගත් බොහෝ සිංහල සංගීතඥයන් මෙරට හින්දුස්ථානි රාගධාරී සංගීතය ප්‍රචලිත කිරීමෙහි ලා පුරෝගාමී වූහ. ඒ අතුරින්, බර්තොලමියුස් ගුරුතුමා සහ ඔහුගේ අසහාය ගොලයා වූ ඇම්. ජී පෙරේරා මහතා මුල් තැනක් ගනී. ඇම්. ජී පෙරේරා යනු හින්දුස්ථානි සංගීතය පිළිබඳව සිංහලෙන් ග්‍රන්ථ සම්පාදනය කළ පළමු සංගීතවේදියා ය. එතුමාණන්ගෙන් ගුරුහරුකම් ලබා ගත් ශිෂ්‍ය- ප්‍රශිෂ්‍ය පරපුරක් 1920-40 ද්වාදශකයන් හි මෙරට බිහිවිය. එච්. ඩබ්ලිව් රූපසිංහ, දොන් මානිස් පටිටියාරච්චි, බී .එඩී ද සිල්වා, බි.සනි ද සිල්වා, ලෝරන්ස් පෙරේරා ආදී සිංහල ග්‍රැමොෆෝන් සංගීතයට විශිෂ්ට සේවයක් කළ සංගීතඥයන් රැසක් බිහිවුණි. ඔවුන් සියලු දෙනාගේම පාහේ ගීතවලට ශාස්ත්‍රීය පදනම වැටුණේ මෙකී හින්දුස්ථානි ආභාසයයි. එසේම, මුල් යුගයේ හාර්මෝනියම් සහ තබ්ලාව පමණක් භාවිත වූ යුගයක, බටහිර සංගීත භාණ්ඩ ලෙස, වයලීනය (“රවිකිඤ්ඤය” ලෙස එකල හැදින් වූ), පියෑනොව, ඉංගිරිසි මැන්ඩලීනය, ක්ලෑරිනැට් ආදී වාද්‍ය භාණ්ඩ ද, සංගීත ශිල්පීන් විසින් ගීත නිර්මාණ සඳහා භාවිත කරන ලදී. එවකට “ මාස්ටර්ලා” වශයෙන් හැදින් වූ, සාදිරිස් සිල්වා, එච්.ඩබ්ලිව් රූපසිංහ, මොහොමඩ් ගවුස් සහ එඩී ද සිල්වා ආදී සුප්‍රසිද්ධ සංගීතඥයෝ හින්දුස්ථානි රාග -තාල -වෘතවලට අමතරව ඉතා සීමාසහිතව බටහිර තනු ද සිංහල ගීත ස්වර රචනා සඳහා භාවිත කළෝ ය. වර්ෂ 1935 දී පමණ අතිශය ජනප්‍රිය තරුණ සංගීතඥයෙක් වූ වල්පොල ආරච්චිගේ ජෝසප් පෙරේරා බ්‍රෝඩ්කාස්ට් ග්‍රැමොෆෝන් ලේබලයට ගැයූ “ශිල්ප ශාස්ත්‍රා“ නම් ගීතයෙහි එක්තරා කොටසක මෙරට, එකල හින්දුස්ථානි සංගීතයට තිබූ ස්ථානය සහ සමාජීය වටිනාකම මෙසේ පෙන්වා දෙයි. “ඉංග්‍රීසිංගේ සංගීතේ බොහො බහුල වූ මුත් ලක්දිවේ -පෙරදේසෙහි යෝග්‍ය වන්නේ ඉන්දු දේසේ සංගීතේ” යන කොටසින් එවකට අධිරාජ්‍ය විරෝධී අදහස් සමගින් බටහිර සංගීතය බැහැර කොට පෙරදිග හින්දුස්ථානි සංගීතය දුහුනන් විසින් හැදෑරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

මෙවැනි කාල වකවානුවක, මෙරට ලලිතකලාවන් වෙනම මාවතකට යොමු කිරීම සඳහා ඉන්දියාවේ ශාන්ති නිකේතනයට පිටත් වූ ආනන්ද සමරකෝන්, ලයනල් එදිරිසිංහ, සුනිල් සාන්ත, සුරිය සංකර් මොල්ලිගොඩ, චිත්‍රසේන ආදීන්ගෙන් වංග කලා ආභාසය ගුරු කොට, ස්වීය තනු සහ වංග තනු ද භාවිත කොට, සරල- සුගම බස් වහරකින් ගීත රචනා කොට තමන් විසින්ම පළමු වරට ගායනා කරන ලද්දේ ආනන්ද සමරකෝන් විසිනි. සමරකෝන් ගේ මෙම ව්‍යායාමය සුනිලුන් හට අනුප්‍රාණයක් වන්නේ ය. හෙතෙම ශාන්ති නිකේතනයේ සිසුවෙක් ව සිටින අවදියේ නිර්මාණය කළ “සුමනෝ සුමනෝ“ වැනි ගීත, වංග ගීත තනු ඇසුරින් නිෂ්පන්න වුවත්, වංග ජන සංගීතය සහ සිංහල ජන සංගීත නාද රටා සම්මිශ්‍රණය කොට නවමු ගීත කලාවක් බිහි කිරීම ඔහුගේ මූලික පරමාර්ථය විය. ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ දී , ගායන සහ වාදන පරීක්ෂණ ඉහළින්ම සමත්වන සුනිලුන්, වාදනයෙහි විශාරදයෙකුව මෙරටට පැමිණෙන්නේ දේශීය ආරක ගීත කලාවක් බිහි කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන ය. සුනිලුන් ගේ මුල් කාලීන ගීත සිංහල ජන සංගීත නාද රටාවන් හා බද්ධ වුවත්, එකී නාද රටාවන් ස්වාධීනව අතික්‍රමණය කොට, තමන්ටම ආවේණික ගීත කලාවක් බිහි කිරීමට ඔහු උත්සාහ ගත්තේ ය. මෙකල සුනිලුන්, කුමාරතුංග මුනිදාස සූරීන් ගේ මූලිකත්වය ගත් “හෙළ හවුල” ඇසුරේ බැඳුණු බැවින්, හෙළ හවුලේ එක් ප්‍රතිපත්තියක් වූ “අපටම අනන්‍ය දේශීය සංගීතයක්” බිහි කිරීමේ උදාරතර පරමාර්ථය සුනිලුන් විසින් ඉදිරියට ගෙන ගිය බවක් පෙනේ.

මෙකී පරමාර්ථය පෙරදැරි කොට සුනිලුන් බිහි කළ ගීතයන්හි සුවිශේෂී ලක්ෂණ කීපයක් හඳුනාගත හැකිය. එනම්, දේශීයත්වය-ස්වභාවික සෞන්දර්යය ගැබ් වන පරිදි ඉතා සුන්දර අනුභූතීන් ගීතයන් සඳහා තෝරාගැනීම, එකී සරල අනුභූතීන් තුළ ඉතා විශිෂ්ට කාව්‍යානුභූතීන් ගැබ් වන අයුරින් ගීත රචනා වීම, සරල-සුගම වියරණ නිසිපරිදි යෙදුණු බසකින් යුක්ත වීම, ගීතයේ “තාලයට” (රිද්මය ට) මුල්තැනක් දී නිමැවුණු සරල ගීත තනු භාවිත කිරීම සහ සුනිලුන්ට ම ආවේණික වූ “සිලිටි” ගායන විලාසය ය. මෙකී කාරණා හේතුවෙන් සුනිලුන් ගේ ගීත ගුවන්විදුලියෙන් (එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයෙන්) ප්‍රචාරය වූ අතර, එවකට සිංහල ගීත නොඇසූ නාගරික ප්‍රභූ පන්තිය සිංහල ගීත ඇසීමේ ප්‍රවණතාවයක් මෙමගින් ඉස්මතු විය. පියානෝව වාදනය කරමින් මෙම ගීත නැවත ස්මරණය කිරීමට හුරුවිය . එසේම එවකට පාසල් පෙළපොත්වලට ද මෙම ගීත ඇතුළත් වූයේ ඒවායේ බසෙහි සහ වියරණයෙහි තිබූ උසස් ලක්ෂණ නිසාවෙනි. එසේම, එවකට තිබු ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම් ලවා මෙම ගීත තනු වාදනය කළේ ඒවායේ ජනප්‍රියත්වය නිසාම ය. මේ යුගයේ සුනිල් සාන්ත සූරීන් අතින් අතින් බිහි වුණු අතිවිශිෂ්ට නිර්මාණයක් වූ “ඕලූ පිපීලා”ගීතයේ යටගියාව මෙම ලිපියෙන් ගෙන එන්නෙමි.

වර්ෂ 1946 නොවැම්බර් මස 07 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ පළමුවෙන්ම තැටිගත කළ ගීතය (තැටි අංක LS  1488) වූයේ සුනිල්සාන්ත සූරීන් ගේ “ඕලූ පිපීලා” ගීතයි. මෙම ගීතයේ ගීත ප්‍රබන්ධය, තනුව සහ සංගීතය මෙන්ම ගායනය ද, සුනිල් සාන්ත සූරීන් ගෙනි. එතුමාගේ “හෙළ රිදී වළාව” පොතෙහි ද මෙම ගීතය අන්තර්ගත විය. වර්ෂ 1955 ජනවාරි 30 දින “ලංකාදීප” පුවත්පතෙහි ලිපියක් ලියමින් සුනිල් සාන්ත සූරීන් මෙම ගීතය රචනා කිරීමට හේතු වූ කාරණාව මේ අයුරින් දක්වා ඇත “වෙලේ-පැලේ-ගම්මානයේ හා ගං ඉවුරේ හිඳගෙන සෙල්ලම් කරන විට, ඕලු -නෙළුම් පිපි මද පවනේ ලෙලදෙන විට, මට එදා ඇතිවුණු සතුට තවමත් ජීවිතයේ කැවී තිබෙනවා මෙන් දැනේ. ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා….යනුවෙන් මා තනා ගැයූ ගීතය ඒ, කුඩා වියේ මා විඳී සුන්දරත්වය මතු වූ හැටි ය”. ගීතයේ ගීත රචනාව පහත පරිදි ය.

 

ඕලු පිපීලා වෙල ලෙළ –

දෙනවා සුදට සුදේ නංගෝ

ඕලු නෙළා-ලා මාල ගොතා-ලා

දෙන්න ද, සුදු නංගෝ

එන්නැ දියේ බැසැ මා හා

දෙන්නැ ඔබේ අත, මාලා

ඕලු නෙළා-ලා මාල ගොතා-ලා

පළඳීමු අපි මාලා

 

වැල නො කැඩී පෙම් කෙළිමින්

යන්නෝ දන්ඩි පැටව් නංගෝ

කූණිස්සෝ උඩ පැනැ පැනැ යන්නෝ

අප කැඳවා නංගෝ

මෙන්න මලක් මා නෙළුවා

ඔන්න ඔබෙයි ඒ මාලා

ඕලු නෙළා-ලා මාල ගොතා-

ලා පළඳීමු අපි මාලා

 

මා පරදිනවා ඔබගේ දෑතට

මට ලජ්ජයි නංගෝ

හෙමිහිට හෙමිහිට නෙළමින් යමු කෝ,

කලබල ඇයි නංගෝ

ඕලු මලේ සුද නාලා

ඔබ රුව වැඩිවෙයි මාලා

ඕලු නෙළා-ලා මාල ගොතා-ලා

පළඳීමු අපි මාලා

 

නෙළුවා නෙළුවා බරට මැ

නෙළුවා බරට බරයි නංගෝ

මේ මල් ඇරැ -ගෙනැ වටපිල්

කන්දට යමුද ඉතින් නංගෝ

අන්න මල්ලි මෙහෙ එනවා

යමු යමු හනිකට මාලා

ඕලු නෙළා-ලා

මාල ගොතා-ලා පළඳීමු

අපි මාලා

 

“ඕලු පිපීලා” යන සුනිලුන් ගේ මෙම ගීතය දශක හතක් ගෙවී ගියද, වත්මනේ පවා, ගීත ගායනයෙහි සහ වාදනයෙහි අත පොත් තබන කුඩා දරුවන්ටද, සිංහල ගීතයෙහි විකාශනය හදාරන සුරුවන් ටද, මීවිත ඇසුරෙහි පවත්වන ප්‍රිය සම්භාෂණ සහ විනෝද චාරිකාවන්හි පවා රුචිකර වන්නේ එහි ඇති සදාතනික ජීව ගුණය නිසාම ය. සුනිලුන් ගේ මෙම ගීතයට ඇතැම් විටෙක ආනන්ද සමරකෝන් සූරීන් සහ ශිෂ්‍යාව ගැයූ “විලේ මලක් පිපීලා කදිමයි අර නෙළන්ට යමු මැණිකෝ“ සහ “එන්නද මැණිකේ මමත් දියඹට නෙළන්න කෙකටිය මල්“ යන ගීත දෙකෙහි අනුභූතීන් ගේ අනුප්‍රාණය ලැබුවාක් විය හැකිය. භද්‍ර යෞවනයේ නැවුම් – නොකිළිටි ප්‍රේම සල්ලාපයක් ප්‍රේමය පිළිබඳ වචන මාත්‍රයකදු නොදක්වා “ඉසියුම් ව්‍යංගයෙන්” ස්වකීය ශ්‍රාවකයනට සුනිලුන් ඉදිරිපත් කළ විශිෂ්ට කාව්‍යානුභූතිය අතිශය සුන්දර ය. මාලා නම් යුවතියකට ඕලු මල් පිරුණු වෙලකට බැස මල් නෙළුමට ඇරයුම් කරන තරුණයෙක්, ඕලු මල් නෙළා ඇයට මාලයක් ගොතා දෙන්න දැයි ඉතා ආදරෙයන් අසයි, තරුණියගේ අවධානය වෙනතකට යොමු කරමින් දියෙහි පෙම් කෙළින දණ්ඩි පැටවුන් පෙන්වමින් ව්‍යංගයෙන් සිය ප්‍රේමාභිලාෂය තරුණිය වෙත යොමු කරවයි, ඇය සමගින් තවත් සල්ලාපයේ දීමට රුචි බැවින් ඇය ට හෙමිහිට මල් නෙළන්නට යැයි කාරුණිකව ආයාචනා කරයි. ඕලු මලෙහි සුද, තරුණියගේ පැහැයට සහ සපුවට සම කරමින් ඇය වර්ණනා කරයි, මේ අයුරින් සුනිල් සාන්ත සූරීන් ඉතා සංයමයකින් ගීත රචනයෙහි යෙදෙමින් ප්‍රේමයේ සුප්‍රහර්ශය ගීතයෙන් පෙන්වූ අයුරු ඉතා අපූරූ ය. එසේම, නන්දනකීර්ති වැනි සමකාලීන ගීත රචකයන් ගේ “ඕලු මලෙහි සුදෝ සුදෝ” වැනි ගීත රචනා කෙරෙහි ද සුනිලුන් ගේ මෙකී සුගම කාව්‍යොක්තීන් බලපෑමක් ඇති කළේ යැයි සිතිය හැකිය.

මෙම ගීතයේ ගායනය සුගායනීය වන්නේ එහි දක්නට ලැබෙන සුනිලුන්ටම අනන්‍ය වූ “ශ්‍රැති ගායනය” නිසාවෙනි. ආචාර්ය තිස්ස අබේසේකරයන් පෙන්වා දෙන්නේ ගීත ස්වර රචනයක, ස්වර දෙකක් අතර ඇති ශ්‍රැති සුනිල් සාන්තයන් බොහෝවිට ගායනයට යොදාගන්නා බවයි. එබැවින්, එකී ගායනයන් හි ඔහුගේ ම අනන්‍ය ගායන විලාසයක් ඔහු මතු කරන්නේ, හෙළ බසෙහි ඔහු යොදාගත් වචන වල ඇති මට සිලිටි බව උපයෝගී කරගනිමිනි. ඇතැම් බටහිර ගීත වලද මෙම ශ්‍රැති ගායනය ප්‍රකට ලක්ෂණයකි. එසේම ස-ග-ප / ම-ධ -ස යන ස්වර සංයෝජන සුනිලුන් ගේ තනු නිර්මාණවල ප්‍රකටය. එසේම, “ඕලු පිපීලා” ගීතයේ ඔහුගේම අනන්‍ය සුමට ශෛලීය (හින්දුස්ථානි සංගීතයේ මෙය “මීන්ද්” ලෙස දක්වයි) ප්‍රකට කරවන අතර, බටහිර සංගීතයේ Bb major  ස්වර ග්‍රාමයෙන් ගැයේ. රාග රූපවලට වඩා සුනිලුන් ස්වර සංයෝජනයන්ට මුල් තැන දුන්නේ ඒවායින් නිපදෙන සරල තනු අපේ දේශීය ජන ගී ආරට සමානකමක් ලබා දුන් නිසාවෙනි.

 

මෙකල (1949-1954) ලංකා රජයේ අග්‍රාණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ සෝල්බරි සාමිවරයා නොහොත් හර්වර්ල්ඩ් රැම්ස්බොතම් ප්‍රභූවරයා ය. සිංහල සංගීතයට පෙම් බැඳී අග්‍රාණ්ඩුකාරවරයායේ දියණිය වූ ජේන් එලිනර් රැම්ස්බොතම් ආර්යාව සුනිලුන් ගේ ගීතයන්ට වඩා ප්‍රිය කළා ය. වර්ෂ 1948 දී සුනිලුන් ගේ මෙම ගීත බටහිර ස්වර ප්‍රස්තාර සහිතව මුද්‍රණය විය. ආණ්ඩුකාර දියණිය වූ රැම්ස්බොතම් ආර්යාව ද, මෙම ගීත ගැයීමට උනන්දු වූවා ය. වර්ෂ 1950. 02. 24 දින “දිනමිණ“ පුවත්පතෙහි අග්‍රාණ්ඩුකාරතුමාගේ දියණිය වඩා ප්‍රිය කරන්නේ සුනිල්සාන්ත සූරීන් ගේ “ඕලු පිපීලා“ ගීතයට බව ද ප්‍රකාශයට පත්විය. මෙම ගීතය ඇසීමෙන්, රැම්ස්බොතම් ආර්යාවට සුනිලුන් දැකීමට සිත් ඇති විය. ඒවකට බටහිර ගීත තාල ඔස්සේ ඇසුරින් දේශීය වන්නම්, කවි සහ නාටක ගීත ගයමින් ප්‍රසිද්ධියට පත්ව සිටි හියුබට් රාජපක්ෂ මහතාට සෝල්බරි සාමිවරයා සිය දියණියගේ ආශාව දන්වා සිටියේ ය. එවකට රාජපක්ෂ මුදළිඳුවරයාගේ පුතෙකු වූ ගායක හියුබට් රාජපක්ෂ මහතාගේ බම්බලපිටියේ නිවසෙහි භෝජන සංග්‍රහයක් පැවැතිවිණි. එයට අග්‍රාණ්ඩුකාරතුමා සහ දියණිය පැමිණ සිටියහ. සුනිල් සාන්තයන්ටත් මේ සඳහා ඇරයුම් ලැබුණි. සුනිලුන් එහි ගියේ චිත්‍රසේනයන් ද සමගිනි. සම්භාෂණය අවසානයේ සුනිලුන් සමගින් අග්‍රාණ්ඩුකාරතුමා ගේ දියණිය ගීත ගායනා කළා ය. එසේම, එහිදී ඇයට ගීත ගැයීමට ද සුනිලුන් පුරුදු කළේ ය. අනතුරුව සෝල්බරි සාමිවරයා ද, එහි අත්වැල් ගායනයට එක් වූ බව 1967. 03. 04 දින “සරසවිය“ පුවත්පතට පළවූ ලිපියක සඳහන් වෙයි. හියුබට් රාජපක්ෂ වෙතින් තවදුරටත් මෙකි ගී පුහුණු වූ රැම්ස්බොතම් ආර්යාව, 1950 වසරේ මාර්තු මාසයේ සුනිලුන් ගේ “ඕලු පිපීලා”, “හඳපානේ” සහ “කෝකිලයන්ගේ” යන ගීත තුන ශ්‍රී ලංකා ගුවන්විදුලියට ගායනා කළා ය. 1950 පෙබරවාරි මස 23 දින CEYLON OBSERVER  පුවත්පතෙහිද, පෙබරවාරි මස 24 දින CEYLON DAILY NEWS පුවත්පතෙහිද, රැම්ස්බොතම් ආර්යාව විසින් මාර්තු මාසයේ මුල් සතියේ මෙරට ගුවන්විදුලියෙන් සිංහල ගීත ගයන බවට ප්‍රචාරය විය. මේ ගීත සඳහා වාද්‍ය වෘන්දයෙන් සම්බන්ධ වූයේ, හුසේන් මොහොමඩ් වයලීනයෙන් ද, බී. ආතර් ප්‍රනාන්දු ක්ලැරිනට් වාදනයෙන් ද, පද්මා රාජපතිරණ මෙනෙවිය පියැනෝ වාදනයෙන්ද, එවකට සුප්‍රසිද්ධ තබ්ලා ශිල්පියෙක් වූ,”ප්‍රොෆෙසර් මහාරාජා”ලෙස හැදින් වූ සි. ආර්. මහාරාජා මහතා තබ්ලාවෙන් ද සහාය විය. එසේම මෙම ගීතය 1950 වසරේ HMV ගීත තැටි අංක WN 64 අංකයෙන් “LOTUS BLOOMING” (ඕලු පිපීලා) නමින් මෙම ගීතය ග්‍රැමොෆෝන් ගීතයක් ලෙස නිකුත් විය. ග්‍රැමොෆෝන් ගීත සඳහා වාණිජ පරමාර්ථ වලින් ස්වකීය ගීත තනු ලබා නොදෙන බවට දැඩි ස්ථාවරයක සිටි බැවින්, සුනිල් සාන්ත සූරීන් කිසිදු අයුරකින් සංගීතය සැපයීමක් හෝ, ගීත ලේබලයේ නමක් යෙදීමක්වත් සිදු නොකළේ ය. වර්ෂ 1950 ජුනි මස 24 දින දාතම යොදමින් රැම්ස්බොතම් ආර්යාව එකී ගීත ත්‍රිත්වය ගායනා කිරීමට ඇයට අවසර දීම සම්බන්ධයෙන් ස්තුති කරමින් ලිපියක්ද සුනිලුන් වෙත ඒවා තිබුණි. රැම්ස්බොතම් ආර්යාවගේ ගායනා තුළ සුනිලුන් ගේ දේශීය ගායනා ස්වරූපයක් ඉස්මතු නොවේ. බටහිර ඔපෙරා ශෛලීයට ගැයෙන එකී ගායනයේ උච්ච සප්තකයේ මුල් ගැයුමට ස්වර පහකින් ඉහළ F major ග්‍රාමය (ෂඩ්ජය මධ්‍යමය ලෙස) ස්වරය තුළ ඉතා නිවැරදි ශ්‍රැතියකට (intonation) ගැයේ . මෙම ගායනා ශෛලිය බටහිර ගායනා සම්ප්‍රදාය තුළ ඇති ජර්මන් lieder  ගායන ශෛලියට සමාන කමක් දක්වයි. නමුත්, සිංහල ගීත ගැයීම පිළිබඳව ඇයගේ උත්සාහය සහ කැමැත්ත අගය කළ යුතු මනා ය.

වර්ෂ 1917 සැප්තැම්බර් මස 6 දින උපන් ජේන් එලිනර් රැම්ස්බොතම් ආර්යාව හර්වර්ල්ඩ් රැම්ස්බොතම් සාමිවරයා ගේ සහ ඩොරිස් වයලට් ද ස්ටේන් ආර්යාවගේ දියණියක වූවාය. ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ලේඩි මාග්‍රට් ශාස්ත්‍රාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා ය. 1949-1954 සිය පියා ලංකාවෙහි අග්‍රාණ්ඩුකාරධූරය දරන කාලයෙහි මෙරට විසුවා ය. 1950-1951 කාලයේ ඇය HMV සමාගම වෙනුවෙන් සිංහල ගීත,කවි සහ වන්නම් තැටිගත කළා ය. “කරත්ත සීපද” , “කිරලා සහ මයුරා වන්නම්” (WN 61) , “දන්නෝ බුදුන්ගේ” සහ “යමුනා යමුනා” (WN 63), “හඳපානේ- දිය ගොඩ සැම තැන” සහ “ඕලු පිපීලා“ (WN 64) මෙම ගීත අතර වෙයි. වර්ෂ 1950 දෙසැම්බර් මස 16 දින මේජර් රොබර්ට් සැන්ඩිෂ් ඕ’ගාර්ඩි සමගින් විවාහ ප්‍රාප්ත වූ ඈ ජේන්, ජෙරමි සහ එලිනා යන දුපුතුන් තිදෙනෙකු ගේ මවක වූවා ය. වර්ෂ 2006 දෙසැම්බර් මස 26 දින 89 වියේදී එංගලන්තයේ සමර්සෙට් හි දී අභාවප්‍රාප්ත වූවා ය.

මෙරට දේශීය සංගීතයක් බිහි කිරීමට යත්න දරා මූලික අඩිතාලම දැමු, සුනිල් සාන්තයන් ගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට නොහැකි වූයේ, එවකට තිබු සමාජ, සංස්කෘතික ප්‍රවාහයන් අතික්‍රමණය කළ “ගතානුගතික අධිකාරය” නිසාවෙනි. සිංහල සංගීත ශිල්පීන් වර්ගීකරණයට ලක් කළ “රත්නජන්කර් පරීක්ෂණය” එතුමන් වාරණය කළේ ද ඔහු දැරූ මතය වූ “දේශීය සංගීතකරුවා ඇගයිය යුත්තේ දේශීය සංගීතඥයින් විසින් ම” බව පෙන්වාදීම හේතුවෙනි. නමුත් ඔහුගේ මේ සෘජු ක්‍රියා පටිපාටිය නිසා ගුවන්විදුලියේ දොර වැසී යාම හේතුවෙන් ඔහුට කිසියම් ආකාරයකට ස්වකීය කාර්යය ඉටු කර ගැනීමේ අභිප්‍රායය බෙලෙහීන විය. නමුත්, ඔහු එදා දැක්වූ එම සංගීත විප්ලවය තුළින්, මෙරට ඇති කළ “සංගීතමය පුනරුදය“ කිසි ලෙසකත් ලඝු කොට සැලකිය නොහැකිය. තනි ස්වරයක් පමණක් භාවිත කොට ඔහු නිර්මාණය කළ “බඹර ගීතය“ එකී අත්හදා බැලීම්වල එක්තරා විශිෂ්ට ප්‍රතිඵලයකි. සිංහල සංගීතයේ විකාශනය සහ පරිණාමය හදාරන්නවුනට සුනිලුන් ගේ සංගීතය එක්තරා අතකින් සම්පූර්ණ පර්යේෂණ නිබන්ධයකි. සුනිල් සාත්ත සූරීන් ම සිය “හෙළ රිදී වළාව” පොතෙහි සංඥාපනයෙහි මෙසේ දක්වයි. “මෙහි දැක්වෙන සරු සැරි (NOTATIONS)) මා විසින් මැ නිපදවන ලද, කිසි යම් රටෙකැ සගයුවකට ගැති නොවූ, අළුත් මගෙකැ මැ ගමන් ගත්, නව කලාවක් බවට පැමිණි ඒවා යැ. හෙළයනට හෙළ සගයුවක් ඇති කොටැ වඩා වැඩ ගන්නට හොඳ පොහොරක්‌ වන මේ සරු සැරි හෙළයන් විසින් මහා ඇල්මෙන් පිළිගනු ලැබෙතැයි සලකමි”. මෙමගින් සුනිල් සාන්ත සූරීන් පෙන්වා දුන්නේ ඔහු විසින් අභිනවයෙන් නිෂ්පන්න කළ මෙම “හෙළ ගී තනු” හෙළ සංගීතය හදාරන්නන් හට භාවිත කළ හැකි සහ සුදුසු පරිදි යොදාගත හැකි නවමු සංගීතමය උපස්තර බව ය. එකී පදනම්හි පිහිටා නවයකයනට ස්වකීය අනන්‍ය දේශීය නාද රටාවන් බිහි කළ හැකි බව ය. මෙමගින්, නව දේශීය සංගීතයක් නිර්මාණය කිරීමට සුනිලුන් තුළ තුබූ අධ්‍යාශය ඉස්මතුව පෙනෙයි. සුනිල් සාන්ත සූරීන් විසින් මෙරට සංගීතය ට කළ මෙහෙය අනභිභවනීය ය. එතුමාගේ නාමයට මෙම සටහන උපහාරයක් ම වේවා!

 

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක දයා ලියනගේ මහතා, සුනිල් සාන්ත සූරීන් පිළිබඳ පැරැණි සේයා රු, ලිපි ලේඛන ලබාදුන් එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර ලංකා සාන්ත මහතා, චිරාන් වින්ඩ්සර් මහතා, අයිරින් ඩල්සි පෙරේරා මහත්මිය, ගීතයන් හි සංගීතමය වටිනාකම් පිළිබඳ දැනුම්වත් කළ අසංක පෙරේරා මහතා, බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සහ ලැන්කැස්ටර් ප්‍රාන්ත කෞතුකාගාර.

 

මූලාශ්‍ර : දේශීය සංගීතය (1953) ,සුනිල් සාන්ත; “සුනිල් සමර” (2000) , විනී විතාරණ ; සුනිල් සාන්ත- හෙළ ගීයේ මුදුන් මල් සර (2019), විජිත් කුමාර් සේනාරත්න ; සිංහල සංගීතයෙහි සුනිල් සාන්ත පිළිබිඹුව (2000) , සුසිල් ජයසිරි; සුනිල් සාන්ත අධ්‍යයනය (2001) ,සුනිල් ආරියරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here