හතර දෙනාම සූරයෝ බලලා එළියට එන්නෙ ගාමිණි වගේ

0
10
ආචාර්ය රවී ලියනගේ
නොවැම්බර් 12, 2020

කලාව කියන්නේ මිනිස්සුන්ව සංතෘප්තියට පත් කරන මාධ්‍යයක්. කලාවට පුළුවන් මිනිස්සුන්ව නිවන්න. නමුත් වර්තමානයේ කලාව පාවිච්චි වෙන්නේ මිනිසුන්ව සංතර්පණය කරන්න නෙමෙයි මිනිසුන්ව අවුළන්න කලාව ගැන ඔහු සිතන්නේ එසේය. හෙතෙම ශූර ව්‍යාපාර කළමනාකරුවෙකි. දක්ෂ ව්‍යාපාරිකයෙකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. ඒ සියල්ලටමත් වඩා කලාවට හිතැති රසවින්දකයෙකි. ඔහු නමින් රයිගම් සමාගමේ සභාපති, රයිගම් tele’es සම්මාන උලෙළේ නිර්මාතෘ ආචාර්ය රවී ලියනගේ වේ. අප මෙවර ඔහුට සම්මුඛ වූයේ ඔහුගේ කලාව ගැන තතු විමසන්නටය.

මේ කතාව ආරම්භයට හොඳම තැන ගම. ගම හා සබැඳී කලාව ගැන කතා කරමු?

මගේ ගම හොරණ. රයිගම් කෝරලයේ කියන නම ආවෙ එතනින්. රයිගම් කෝරලය කියන්නේ කලාකරුවන් විශාල ප්‍රමාණයක් බිහි කරපු ප්‍රදේශයක්. හොරණ කියන්නේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක්. විශේෂයෙන් මතක් කරන්න ඕනි හොරණ විද්‍යාරත්න පිරිවෙනේ කලාකරුවන් බිහි කරන්න දරපු දායකත්වය. අදටත් මට මතකයි යක්බෙර නාදය. ඒක හරිම සෞන්දර්යාත්මක හඬක්. යක් බෙරය ගැට බෙරය හඬ ඈතට ඇහෙනවා. ඒ කාලේ තොවිල් තිබුණා අපේ ගමේ. ඒ පැත්තෙ අස්වනු නෙළුවට පස්සේ දෙවියන්ට දෙවොල් මඩුවක් පවත්වලා පුද සත්කාර කරනවා. ඒ හැම වෙලාවකම හරිම නිර්මාණාත්මක අංගයන් රඟදක්වනවා, අපි ඒවා බලන්න යනවා ඉස්සර. අපිට බෙර හඬක් ඇහෙන්න විතරයි ඕනේ. (සිනාසෙමින්)

බෙර හඬ ඇහුණු ඉසව්වට යනවා?

මම කතාවක් කියන්නම්. මම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් විදියට විවිධ මට්ටම්වල විවිධ සිසුන්ට දේශන පවත්වනවා. කළමනාකරණ විද්‍යාවෙදි මගේ එක්තරා දේශනයක් තියෙනවා, ඒකට කියන්නේ Window කියලා. ඒකෙදී මුලින්ම පෙන්නනවා ජනේලෙකින් මිනිහෙක් පනින කාටුන් චිත්‍රයක්. මම දේශනය ආරම්භ කරන්නේ “I love Windows” කියලා. අපේ ගෙදර තිබුණා කිතුල් පොලු හයිකරපු ජනේලයක්. අපේ ගෙදර මට දුරින් ඥාති වෙන සහෝදරයාත් කීප දෙනෙකුත් හිටියා. තොවිල් බලන්න සංගීත සංදර්ශන බලන්න වගේ දේවල්වලට ගෙදරින් තාත්තා යන්න දෙන්නේ නැහැ. අපි කිතුල් පොලු ජනේලේ උඩ පොලු දෙකක් කපලා ගලවන්න පුළුවන් විදිහට හදලා තියාගත්තා. රෑට කොට්ටවලට අපි නිදි වගේ රෙදි පෙරවලා හදලා ජනෙල් පොලු ගලවලා පැනලා යනවා. මම ඒ ජනේලෙය හරි ආදරෙයි. Window  කියන දේශනයට හේතුවත් ඒ ජනේලේ. ඒ දේශනයේ ජනේලට උපක්‍රමශීලී ජනේලය.  (Strategic Window)  ජනේලයෙන් පැනලා එළියේ තියෙන සංගීත සංදර්ශන, නාට්‍ය, තොවිල් බලන්න ගියා වගේ ජනේලයකින් බලලා එළියෙ තියෙන අවස්ථාවන් උකහා ගන්නවා කියන එක තමයි ඒ පාඩම.

කලාවට පවුලෙන් තිබුණු නැඹුරුව කොහොමද?

මගේ මවුපියෝ කලාවට සම්බන්ධ නැහැ. එයාලා ගුරුවරු. ඒත් අපි රෑට ගෙදර හැමෝම එකතුවෙලා සින්දු කියනවා මට මතකයි.

පාසල් යන කාලේ සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?

මම ප්‍රාථමික අධ්‍යාපන හැදෑරුවේ හොරණ ශ්‍රීපාලි විද්‍යලයෙන්. ඒ හරහාත් කලා ආභාසය මට ආවා. ශ්‍රීපාලිය කියන්නේ කලා නිකේතනයක්. අරුන්දතී රඟහල මතක් කරන්න ඕනේ. ඒකේ තමයි වේදිකා නාට්‍ය හැමදේම පෙන්නුවේ. ඊටපස්සේ මම එනවා හොරණ තක්ෂිලා විද්‍යාලයට. ඒ කාලේ සෞන්දර්ය කියලා විෂයක් තිබුණේ නැහැ. ඒත් මම සංගීතය හැදෑරුවා. මගේ සංගීත ගුරුවරිය සෝමා ගුණතිලක. මම සංගීතය හැදෑරුවාට මම පංතියේ නම් හිටියේ නැහැ. (සිනාසෙමින්) සෝමා මිස් තාමත් මුණගැහුණාම කියනවා අපි හිටියේ ගස් උඩ කියලා.

ඉස්කෝලේ කලා වැඩවලට සම්බන්ධ වුණේ නැද්ද?

ඉස්කෝලෙදි වේදිකා නාට්‍යවල නම් රඟපෑවා. හැබැයි ඇත්තටම මම නළුවෙක් නම් නෙමෙයි. මට රඟපාන්න බැහැ. ජනක් ප්‍රේමලාල්ලා, අපි එකට හිටියේ. “අබුද්දස්ස කෝලම” නාට්‍ය හදන කාලේ අපි හැමෝම එක කණ්ඩායමක් විදියට හිටියා. ඒ විශ්වවිද්‍යාලයට යන කාලේ. ජනක් අයියාගේ නාට්‍ය කිහිපයකටම අපි ගිහින් විවිධාකාර උදවු නම් කරලා තියෙනවා.

ඉස්කෝලෙන් කට්ටි පැනලා ගිහිල්ල චිත්‍රපටි බැලුවද?

ඒක අහන්නත් දෙයක්ද? (සිනාසෙමින්) අපේ ඉස්කෝලෙට (හොරණ තක්ෂිලාව) අල්ලපු වත්තෙ තමයි අශෝකා, දුල්මිණී හෝල් දෙකම තිබුණේ. ඒ නිසා හැමදාම පැනලා ගිහින් ෆිල්ම් බලනවා. අන්තිමටම බලද්දි අපේ ඉස්කෝලේ කොල්ලො හැමෝම ගැලරියේ. ප්‍රින්සිපල් වේවැලක් අරගෙන එනවා හෝල් එකට. හැමදාම 10.30 show එකට පැනලා යනවා. ඒ හෝල් එකට යන පාරක් තිබුණා. ඒක තිබුණේ ගෑණු ළමයින්ගෙ හොස්ටල් එක පැත්තෙන්. එතනින් කම්බියක් ගලවගෙන යනවා ෆිල්ම් බලන්න. අපි ගැලරියේ බලන්නේ. ටිකට් එක සත ගාණක්. ඒ කාලේ තව හෝල් එකක් තිබ්බ සෙන්ට්‍රල් කියලා. ඒක අයිති වුණේ මගේ පන්ති සගයෙක්ගේ තාත්තා කෙනෙක්ට. ඒකෙ අපිට නිකන් ෆිල්ම් බලන්න පුළුවන්. හැබැයි සෙනසුරාද ඉරිදට විතරයි. කොහොම වුණත් ඒ කාලේ ඉඳන්ම අපි ඉස්සරහට ගිය මිනිස්සු. ෆිල්ම්හෝල් එකෙත් ඉස්සරහා තමයි බැලුවේ. ඉතින් දිව උලුක් වෙනවා අපේ, විසිල් ගහලාම. ගාමිණී ෆොන්සේකා දෙන ශොට්වලට ඉතින් දිව උළුක් වෙන්න විසිල් ගහන්නම වෙනවානේ. ඒ කාලේ අපි සිගරට් බොන්න පුරුදු වුණේ හෝල් එකේ ඉඳලා. ඒ කාලේ කොල්ලෝ සිගරට් බිව්වෙත් ගාමිණී ෆොන්සේකා වගේ. සිගරට් එක බොන්න කලින් ඒකෙන් ඔරලෝසුවට තට්ටු කරනවා. සිගරැට් එක උගුරට පැදලා කොටේ බිම දාල පාගනවා.

එහෙම ගිහින් බලපු චිත්‍රපටි මොනවාද?

හුඟාක් චිත්‍රපටි බැලුවා. සූරයන්ගෙත් සූරයා, සූරයා සූරයාමයි, එදත් සූරයා අදත් සූරයා, සූර චෞරයා, සැඩසුළං, තුෂාරා වගේ හැම චිත්‍රපටියක්ම බැලුවා. ඒ කාලේ ඉතින් අර විකල්ප ධාරාවේ කියන කලාත්මක ගනයේ කියන චිත්‍රපටි බැලුවෙ නෑ. අපි බැලුවේ ආතල් උපරිම චිත්‍රපටි. මට මතකයි අපි සීතාදේවි වගේ චිත්‍රපටි බලන්න ගිහිල්ලා කම්මැලි නිසා නැඟිටලා ආවා. අපි චිත්‍රපටි බලනවනං ෆයිට් ගානයි සින්දු ගණනයි තමයි අහන්නේ. සින්දුවලටත් වඩා ෆයිට් ගාණ තමයි අහන්නේ. ඒවා බලලා අපි ඉස්කෝලේ ඇවිල්ලා ගහගන්නේ උඹ ඇලෙක්ස් (ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු) මම රෙක්ස් (රෙක්ස් කොඩිප්පිලි) කියලා. ෆිල්ම් එකේ විදිහට යාලුවෝ එක්ක හොඳට පිට්ටනියට ගිහිල්ලා ගහගන්නවා.

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි මොනවාද?

අනන්තවත් එහෙම චිත්‍රපටි බලලා තියෙනවා. හතරදෙනාම සූරයෝ, තුෂාරා කීපවතාවක් බැලුවා. ෆයිට් නිසා තමයි එහෙම බැලුවේ. ඒ කාලේ ඉතිං කොල්ලො කැමති ෆයිට්වලට තමයි චිත්‍රපටිවල. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි තමයි අපේ වීරයෝ. මම කැමතිම සටන් නළුවා රොබින් ප්‍රනාන්දු.

පෙම්වතියත් එක්ක චිත්‍රපටි බලන්න ගිහින් නැද්ද?

ඇත්තටම පෙම්වතියත් එක්ක හොල් එකේ හිටියාට චිත්‍රපටි බලන්න වෙලාවක් තිබුණේ නැහැ. හෝල් එකට ගියා මතකයි. දෙමළ චිත්‍රපටියක් හරි බලනවා. එහෙම ගිහින් චිත්‍රපටි බලද්දි හිටපු පෙම්වතියෝ දෙතුන්දෙනා එකට මුණගැහිච්ච අවස්ථාත් තියෙනවා.

චිත්‍රපටි බලන්න ගිහින් වුණු අමතක නොවන සිදුවීම් මතක් කළොත්?

ෆිල්ම් බලන්න ගිහින් ඕනේ තරම් ප්‍රින්සිපල් ගෙන් ගුටි කාලා තියෙනවා. මට මතකයි ෆිල්ම් බලලා අපි එද්දී අතපය තුවාල කරගෙන එන්නේ. සෙනඟ වැඩි නිසා 10.30 show  එකට ආපු අය ඉඩමදිවෙලා 2.30 එකට තියාගන්නවා. මිනිස්සු පෝලිම් පනින වට කම්බි වැටවල් ගහලා තිබ්බේ. ඉතින් පොරකාල කම්බි වැටවල්වල වැදිලා තුවාල කරගෙන අපි එන්නෙ. ඒ කාලේ ඉතින් අපි හතර දෙනාම සූරයෝ බලලා එළියට එන්න ගාමිණි වගේනේ. කචල් තමයි ඉතින්. (සිනාසෙමින්) ගෙවල්වලින් අපේ රණ්ඩු බේරලා ඉවරයක් නැහැ ඒ කාලේ.

රවී ලියනගේ කියන්නේ ඒ කාලේ චිත්‍රපට උන්මාදයකින් පෙළුණු තරුණයෙක්ද?

නෑ එහෙම උන්මාදයක් කියලා එකක් නෑ. ඒ කාලේ අපි චිත්‍රපටි බැලුවේ විනෝදෙට. ඉන් එහාට නළු නිළියන්ගෙ චිත්‍ර ෆොටෝ තියාගෙන එහෙම හිටියේ නැහැ. ඒ කාලේ මම කරාතේ කරපු නිසා බෲස්ලි වනම් ඇදහුවා. හැබැයි නළු නිළියන්ගේ ෆොටෝ තියාගෙන එයාලට සින්දු ලියපු අය හිටියා අපේ කාලේ. ඒ දවස්වල කළුතර දිස්ත්‍රික්කයේ තිබුණා ලොකු ගොවිපළක්. ඒකෙ හුඟක් චිත්‍රපට රූගත කළා. මට මතකයි අපි යනවා ඒ රූගත කිරීම් බලන්න.

ඒ කාලේ අනුකරණය කරපු චිත්‍රපටි නළුවා කවුද?

බෲස්ලි තමයි ඉතින්. එයාව ඇදැහුවා. වැඳපු නැති ටික විතරයි. ලංකාවෙ නළුවො අනුකරණය කළේ නැහැ. බෲස්ලිගේ කොණ්ඩෙට තමයි අපි කැමතියි. මම කාලයක් කොණ්ඩේ කැපුවා ඒ විදියටම.

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

නළුවෝ නම් ගොඩක් ඉන්නවා. ඒ අතරින් මම ආස විදිය නළුවෝ තමයි ජෝ අබේවික්‍රම. රවින්ද්‍ර රන්දෙණියටත් කැමතියි. රවීන්ද්‍ර හොඳ නළුවෙක්, මම රවීන්ද්‍රට හරි කැමතියි. රවීන්ද්‍ර පියර බබා ගණයේ නළුවෙක් නෙමෙයි. එයා හොඳ භාවාත්මක චරිත කළා. සිරිමැදුර එහෙම මතකයි මට.

විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

ඒ කාලේ මට විවාහ කරගන්න හිතුනා නම් හිතුණේ අනුෂ්කා මැදිවක, වසන්ති චතුරානි වගේ නිළියෝ තමයි.

කැමතිම නිළිය කවුද?

කැමතිම කිව්වාම ඒක හොඳම කැටගරියට අපිට දාන්න පුළුවන්නේ. මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ වගේ නිළියෝ මට අනුව හොඳ නිළියෝ.

වෘත්තීය ජීවිතයේ දී සමීපව ආශ්‍රය කරපු කලාකරුවන් කවුද?

ඉස්කෝලෙ යන කාලෙ නම් රවීන්ද්‍ර යසස්ලා, හේමසිරි (ලියනගේ) අයියලා, ධර්මසිරි (බණ්ඩාරනායක) අයියලා, ජනක් (ප්‍රේමලාල්) අයියලා ආශ්‍රය කළා. වෘත්තිය ජීවිතයේදී බුද්ධදාස ගලප්පත්ති, සුනිල් ආරියරත්න සර්, එඩ්වඩ් ගුණවර්ධන, සුනිල් එදිරිසිංහ වගේ හැමෝවම මම සමීපව ඇසුරු කරලා තියෙනවා. රයිගම් ටෙලි සම්මාන නිසා හැම කලාකරුවෙක්වම වගේ මම හඳුනනවා.

අන්තිමටම බලපු චිත්‍රපටය මොකක්ද?

අන්තිමටම බැලුවේ The newspaper. දැන් මගේ බිරිඳ කියනවා පාංශු චිත්‍රපටිය බලන්න යන්න ඕන කියලා. මගේ බිරිඳ වෛද්‍යවරියක්. එයා හරිම ආසයි චිත්‍රපටි බලන්න.

කැමතිම චිත්‍රපටි ගීතය මොකක්ද?

කැමති ගීත හුඟක් තියෙනවා. ඒ අතරින් සුජාතා චිත්‍රපටියේ “මනරංජනීය දර්ශනීය ලංකා” ගීතයට කැමතියි. ඒවා තමයි ග්‍රැමෆෝන් යුගයේ ලංකාවේ සංගීතය වෙනස් කරපු ගීත. ඊට අමතරව “පෙම්බර මධූ මගේ” ගීතයට කැමතියි. ජෝතිපාලගේත් හරිම ලස්සන සින්දු ටිකක් තිබුණා.

සංගීතයත් එක්ක තියෙන ගනුදෙනුව කොහොමද?

මම ඉස්කෝලේ යන කාලේ සංගීතය හැදෑරුවා. ඊට අමතරව ගිටාර් ගැහුවා. මම හොඳ ගීත රසවින්දකයෙක්. මට සිංදු කියන්නත් පුළුවන්. අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ යාළුවොත් එක්ක හයර් එකට සංගීත භාණ්ඩ අරගෙන බෑන්ඩ් එකක් හැදුවා. මම ගැහුවෙ ගිටාර් එක. ඒ කාලේ වෙඩින්වල අපි බෑන්ඩ් එක ගැහුවා. අදට වුණත් වෙඩින් එකකට ගියොත් මම සින්දු කියනවා කියලා දන්න අය ගීත ගයන්න ආරාධනා කරනවා.

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

මර්වින් පෙරේරා තමයි. මර්වින්ගේ තියෙන හඬ හරිම අද්විතීයයි.

නිතරම මුමුණන ගීතය මොකක්ද?

එක එක වෙලාවල්වලට විවිධ ගීත කියනවා. නමුත් හැමෝම මට කියන්නේ “මේ නගරය” කියන්න කියලා. ඒක මට හරි සමීප ගීතයක්. මොකද අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නොවුණට වැව් ඉවුරේ දිය රළ පෙර නොතිබුණාට අපිටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා.

කලාව කියන දේ රවී ලියනගේ දකින්නෙ කොහොමද?

කලාව කියන්නේ මිනිස්සුන්ව සංතෘප්තියට පත් කරන මාධ්‍යයක්. කලාවට පුළුවන් මිනිස්සුන්ව නිවන්න. මිනිස්සුන්ගේ ඇවිලී ඔළු නිවන්න පුළුවන්. නමුත් වර්තමානයේ කලාව පාවිච්චි වෙන්නේ මිනිසුන්ව සංතර්පණය කරන්න නෙමෙයි මිනිසුන්ව මිනිසුන්ව අවුළුවන්න. උදාහරණයක් විදිහට දැන් ගී තනු නැහැ. දැන් තියෙන්නේ හරිම කර්කශ, සද්ද වැඩි, බටහිර සංගීතයේ තියෙන දේවලුත් දාලා කියන සින්දු. හින්දි සින්දු කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ගැටලුව ගී තනු.

ඔබ මෑතක චිත්‍රපටයක් නිෂ්පාදනය කළා නේද?

ඔව්. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වුණ “කදිර දිව්‍යරාජ” චිත්‍රපටය මම නිෂ්පාදනය කළා. එය ලබන වසරේ තිරගත වීමට නියමිතයි. ලොකු වියදමක් දැරුවා චිත්‍රපටියට. චිත්‍රපටය අපි ඇසළ උත්සවයට තිරගත කරන්න හිටියේ. කෝවිඩ් වෛරසය නිසා අපිට ඒක කරන්න බැරි වුණා. චිත්‍රපටයේ රූගත කිරීම් අවසන්. මේ සඳහා ඉන්දියාවෙන් නළු නිළියන් ගෙන්නුවා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. හේතුව කතරගම දෙවියන්ගේ ඇතුළු අනෙකුත් දේව චරිත උත්තරීතර නිසා ඒකට ලංකාවේ රංගන ශිල්පීන් ගතහොත් ඒක ඒ අයට කරන අසාධාරණයක්. මොකද චිත්‍රපටය තිරගත කරලා කාලයක් යන තෙක් අදාළ රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට තමුන් කැමති විවිධාකාරයේ චරිත රඟපාන්න බැහැ. තමුන් කැමති විදිහට ජීවත් වෙන්න බැහැ. මොකද ඔවුන් දිහා හැමෝම බලන්නේ කතරගම දෙවියො විදිහට. චිත්‍රපටයෙන් පස්සේ කතරගම දෙවියෝ නයිට්ක්ලබ් එකකට ගිහින් කචල් එකක් දාගත්තොත් ඒක ප්‍රශ්නයක්. ඒ චරිත වෙනත් රටකින් රංගන ශිල්පීන් ඇවිත් කරලා ගියාට පස්සේ අපිට ඒ දේවල් ඒ තරම් දැනෙන්නෙ නැහැ. කතරගම දෙවියො කියන්නෙ දෙවියන් අතරෙන් ලංකාවෙ වැඩිම පිරිසක් අදහන දෙවි කෙනෙක්. ඒ චරිත රඟපාලා කාලයක් යනකං හැමෝම බලන්නේ රංගන ශිල්පීන් දිහා ඒ චරිත විදිහට.

ව්‍යාපාරිකයෙක්ගේ චරිත කතාවක් සිනමාවට නඟන්න කිව්වොත් ඔබ තෝර ගන්නේ කාගේ චරිත කතාවද?

මට මතක් වෙන ව්‍යාපාර ලෝකයේ පරමාදර්ශී චරිතයක් තමයි කුලතුංග රාජපක්ෂ මහත්මයාගේ චරිතය. ච්ඉධ් ව්‍යාපාරයේ අධිපති. ඔහු අපේ ව්‍යාපාර ලෝකයේ පරමාදර්ශී චරිතයක්. හැමෝටම සාධාරණව සලකන සල්ලි නිසා ඔළුව ඉදිමුණේ නැති කෙනෙක්. ඔහු ජාති කුලමල භේදයකින් තොරව ඕනෑම දේශීය ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. සිනමාවට නඟනවා නම් හොඳයි.

චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?

අනේ නැහැ. මට බැහැ ඒක. බැරි දේවල් කරන්න බැහැනේ.

තිලක් පෙරේරා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here