අනාගත ලෝකයට අලුතින් එකතු වන මුව ආවරණ කුණු කඳු

0
9

මුව ආවරණය ඉවත දැමීමේ ක්‍රියාවලියේදී එහි කන අගින් රඳවන අන්තයෙන් අල්ලා වසා තැබෙන කසළ බඳුනක් තුළට බැහැර කළ යුතුය. කිසිම අවස්ථාවක විවෘත පරිසරයකට මේ මුව ආවරණ බැහැර නොකිරීමට වග බලා ගත යුතුය. ඉන් පසුව පළමු ආකාරයෙන්ම සබන් යොදා හොඳින් අත් සෝදා ගැනීම කළ යුතුය.

 

මේ වන විට ලෝකය සටන් වදිමින් සිටින්නේ පෙර නොවූ විරූ වර්ගයේ වයිරසයක් සමඟය. ඒ හා සමගාමීව නව ගෑටලු රාශියක් ද ඒ වටා නිර්මාණය වී ඇත. එකී ගැටලුවලට පිළිතුරු එක ‍රැයින් දීමට නොහැකි තරමට සංකීර්ණය. කොවිඩ් 19 සමඟ නව සාමාන්‍යකට යාමට සිදුව තිබෙන අතරම වයිරසය හා සටන් කිරීමට අප අතරින්ම සුපිරි වීරයන් ‍තෝරා ගැනීමට සිදුව ඇත. ඒ අර්ථයෙන් ගත් විට මේ විද්‍යා ප්‍රබන්ධ ආදිය සැබෑ වීමක් ලෙස තවකෙකුට හුවා දැක් විය හැකිය. ප්‍රකට සිනමාපට සහ රූපවාහිනී කතාංග ආදියේ ඇති ආකාරයේ ස්වභාවයක් දැන් ලෝකය පුරාම ඇතිව තිබේ. මේ හා ආසන්න උදාහරණ රාශියක් ද උපුටා දැක්විය හැකිය. ඒවා පසෙක තබා දැන් මූලික ගැටලුව දෙසට හැරෙමු.

කොවිඩ් 19 වසංගතය සමඟ සටන් කිරීමට, දියුණු තාක්ෂණික ලෝකයේ අපට සපයා දී තිබෙන්නේ අතිශය සරල විසඳුම් කිහිපයකි. ඉන් පළමු වැන්න සබන් යොදා අත් සේදීමයි. දෙවැන්න මුව ආවරණ පැලැඳීමයි. අවම දුර පවත්වා ගැනීම ආදී කාරණා පැමිණෙන්නේ ඉන් පසුවය. සබන් ගා අත් සෝදා ජීවිත බේරා ගත හැකි කාලයක් ඩිජිටල් යුගයක ලැබෙනු ඇතැයි කිසිවකු අනුමාන නොකරන්නට ඇත. අති විශේෂ වැක්සීන, මැජික් බෙහෙත් කරල්, රහස් වට්ටෝරු ආදිය බලාපොරොත්තුවෙන් සිටින මහජනතාවට ඩිජිටල් යුගයේ සිහින අපේක්ෂා සියල්ලෙන් ගලවා දමා යළිත් මහ පොළොවක පැළ කර ඇති සැටියකි.

 

සරල විසඳුම

දැන් ලෝකයා ඉදිරියේ පැන නැඟ තිබෙන අනු ප්‍රශ්න අතර වඩාත් කැපී පෙනෙන්නේ භාවිත කරන ලද මුව ආවරණ නිසි ලෙස බැහැර නොකිරීම නිසා දැඩි පාරිසරික හානියක් ඇති වීමයි. ඒ සමානවම වයිරසය ‍රැදී තිබිය හැකි භාවිත මුව ආවරණ අතිශය අවදානම්කාරී ලෙස තැන තැන දමා යෑමෙන් අනියම් ආකාරයකින් යමකු විසින් වයිරසය පතුරුවා හැරීමට දායක වීමයි. ගැටලුව එසේ නම් පිළිතුර කුමනාකාර විය හැකි ද? සරල විසඳුම පටන් ගන්නේ නිසි ලෙස මුව ආවරණයක් පැලඳීමට දැන ගැනීමෙනි. බැහැර කිරීම එන්නේ ඉන් පසුවය.

මුව ආවරණයක් පැලඳීමට පෙර ඇල්කොහොල් සාන්ද්‍රණයක් සහිත අත් සේදීමේ ද්‍රාවණයකින් හෝ සබන් වර්ගයක් භාවිත කරමින් හොඳින් අත් සෝදා ගත යුතුය. මුව ආවරණය නාසය, මුඛය සහ මුහුණ හොඳින් ආවරණය වන ආකාරයට පටිවලින් අල්ලාගෙන පලඳින්න. ඔබේ මුහුණ සහ මුව ආවරණය අතර හිඩැස් නොසිටින ආකාරයට එය පැලඳියේදැයි යළිත් පරීක්ෂා කළ බැලිය යුතුය. මුව ආවරණය පැලඳීමෙන් පසුව එහි මුහුණත ඇල්ලීමෙන් වැළකිය යුතුය. යම් අත්‍යවශ්‍ය කරුණක් සඳහා මුව ආවරණය තාවකාලිකව ගැලවීමට අවශ්‍ය නම් පළමුව කළ ආකාරයෙන් සබන් යොදා අත් සෝදා හෝ ඇල්කොහොල් සාන්ද්‍රණ සහිත අත් පිරිසුදු කිරීමේ ද්‍රාවණයක් භාවිත කිරීමෙන් පසුව මුව ආවරණය ඉවත් කළ යුතුය.

මුව ආවරණය ඉවත දැමීමේ ක්‍රියාවලියේදී එහි කන අගින් රඳවන අන්තයෙන් අල්ලා වසා තැබෙන කසළ බඳුනක් තුළට බැහැර කළ යුතුය. කිසිම අවස්ථාවක විවෘත පරිසරයකට මේ මුව ආවරණ බැහැර නොකිරීමට වග බලා ගත යුතුය. ඉන් පසුව පළමු ආකාරයෙන්ම සබන් යොදා හොඳින් අත් සෝදා ගැනීම කළ යුතුය. එසේත් නැත්නම් ඇල්කොහොල් අන්තර්ගත ද්‍රාවණයකින් හොඳින් අත් පිරිසුදු කර ගත යුතුය. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය දී ඇති සරල, පැහැදිලි උපදෙස් මාලාවකි. මේ සරල උපදෙස් ඉෂ්ට කිරීමට අසමත් ජනතාව කොතරම් සිටී දැයි කිසිවකුට අනුමාන කළ හැකි ද? ඔබේ අනුමානයට වඩා තත්ත්වය බරපතළය. අනාරක්ෂිතව සහ අපරික්ෂාකාරීව බැහැර කර තිබෙන මුව ආවරණ ප්‍රමාණය විශාලය. අනාගත ලෝකයට අලුතින් එකතු වී තිබෙන කුණු කඳුවල මුදුනත වැජඹෙන මුව ආවරණ දැන් ලෝකයටම ඇති කර තිබෙන්නේ බියකරු අවදානමකි. මේ ව්‍යසනකාරී ගැටලුව දැන් සාගරය වෙත ද ව්‍යාප්ත වී ඇත. theconversation.com පළ කළ ඇති ලිපියකට අනුව මේ බියකුරු මුව ආවරණ කුණු කඳු තවත් පරම්පරා ගණනාවක් ඉදිරියට නොවිස‍ඳෙන ගැටලුවක් නිර්මාණය කර ඇත. ඔවුන් පවසන ආකාරයට මුව ආවරණ අත්‍යවශ්‍යයෙන්ම පැලඳිය යුත්තක් වීමටත් පෙර සිටම පාරිසරික ප්‍රශ්නයක්ව පැවතී තිබී ඇත. ඒ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් භාවිත කළ වපසරිය ඇතුළතය.

 

කුණු කන්ද

මේ වසරේ පෙබරවාරි මුල් සතියේ හොංකොංහි වෙරළ තීරය පිරිසුදු කිරීමේදී මීටර් 100ක වපසරියකදී පමණක් මුව ආවරණ 70ක් සොයා ගෙන ඇත. සතියකට පසුව එතැනින්ම තවත් මුව ආවරණ 30ක් මතුව තිබේ. මධ්‍යධරණී මුහුදු තීරයේ තැනින් තැන පාවෙන ජෙලි‍ෆිෂ් රංචු මෙන් මුව ආවරණ ජලය මතුපිට පාවෙමින් තිබෙනු දැකීම සුලබ විය. මුව ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇති වටපිටාවක දෛනිකව ඉවත ලන ප්‍රමාණය කෙතරම් විය හැකි ද? ලෝක ජනගහනය පිළිබඳ සිතා බලන විට සංඛ්‍යාත්මකව එය තේරුම් ගත හැකිය. ප්ලාස්ටික් මඟින් ඇතිව තිබෙන පරිසර දූෂණයට උදව් කරන මුව ආවරණ සහ අත් ආවරණ කුණු කන්දේ දිග පළල දැන් යථා සිහියට පත්ව අපට සොයා බැලිය හැකිය. 2019 වසරේදී ඩොලර් මිලියන 800ක මුව ආවරණ විකිණී ඇත. මේ වසරේ ලෝකය පුරා ඩොලර් බිලියන 166ක මුව ආවරණ විකිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එසේම පසුගිය මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ ඇස්තමේන්තුවකට අනුව මාසයක කාලයකට පමණක් ඉවතලන වර්ගයේ මුව ආවරණ මිලියන 89ක් පමණ අවශ්‍යය.

ඉවතලූ මුව ආවරණයවලින් විශාල ප්‍රමාණයක් සාගරයෙන් නතරවී සිටීම අනෙක් කනගා‍ටුදායක කාරණාවයි. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට වාර්ෂිකව මේ වෙනුවෙන් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් බිලියන 40ක් පමණ වේ. ඔවුන් පවසන ආකාරයට අනාරක්ෂිතව මුව ආවරණ ආදී දෑ පරිසරයට මුදා හැරීමෙන් සිදු විය හැකි හානි ලැයිස්තුගත කර තිබේ. ඒ අනුව ආසාදිත පුද්ගලයකු භාවිත කළ මුව ආවරණ සහ අත් ආවරණ අනාරක්ෂිතව පරිසරයට මුදා හැරීමෙන් මහජනතාවට අනවශ්‍ය අවදානමකට නිකරුණේ ලක් වීමට සිදු වේ. විවෘත පරිසරයක භාවිත මුව ආවරණ පිලිස්සීමෙන් පරිසරයට සිදු වන හානිය ඊළඟට වැදගත්ය. ආශ්වාස ප්‍රශ්වාස කිරීමට පිරිසුදු වාතය අවශ්‍යම මොහොතක වාතය අපිරිසුදු කිරීමේ අවදානම ගැනීම අතිශය අමනෝඥය.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියේදී ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් බට, ඉටි කොළ ආදියට මුව ආවරණත් එකතු වීමෙන් ප්‍රශ්නය අතිශය බරපතළය. මන්ද යත් මෙකී මුහුණු ආවරණ සියල්ල නිපදවන්නේ දිගු කල් පවතින ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතයෙනි. මේවා පරිසරයේ දශක ගණනාවක් මුළුල්ලේ ‍රැදී පවතිනු ඇත. එහි දීර්ඝකාලීන හානිය විඳ ගන්න සිදු වන්නේ ද මිනිසුන්ටමය. ඉවත ලන මුව ආවරණ තුළ දින හතක් යන තෙක් වයිරසය නොනැසී පවතී. අපද්‍රව්‍ය එකතු කරන්නන් සහ අනාරක්ෂිතව විසි කළ සැත්කම් මුව ආවරණයක් අහඹු ලෙස ඇහිඳ ගන්නා පුද්ගලයකුට මුහුණ පෑමට සිදු වන ඉරණම අතිශය අකාරුණිකය.

 

ප්ලාස්ටික් අපද්‍රව්‍ය

ඒ හා සමානවම ජලජ ජීවීන්ට මෙන්ම සෙසු සත්ත්වයන්ට ද මෙමඟින් දිගු කාලීනව සිදු වන හානිය සුළුවෙන් තැකිය හැකි නොවේ. බොහෝ ජලජ ජීවීන්ට සේම සෙසු සත්වයන්ට තමන්ගේ දඩයම හෝ ආහාරය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර, ඇති වෙනස හඳුනාගත නොහැක. එහෙයින් මෙකී අපද්‍රව්‍ය ඔවුන්ට පහසු ආහාර වේලක් සපයා කාලාන්තරයක් පවතින ව්‍යසනයක් ද තිළිණ කරවයි.

කාලයත් සමඟ මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කුඩා කැබලිවලට කැඩී යයි. ඉන් පසුව එම කුඩා කැබලි පරිසරයේ පැවතිය හැකි ආකාරයට සැකසේ. පළමුව ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙසත් ඉන් පසුව නැනෝ ප්ලාස්ටික් බවටත් කුඩා වෙයි. එහෙත් මුළුමනින්ම ඒවා පරිසරයෙන් ඉවත් වී නොයයි. මෙම කුඩා අංශු හා තන්තු ආහාර දාමවලට එකතු විය හැකිය. එය දිගු කාලීන ගැටලුවකි. එක් මුව ආවරණයකින් අංශු මිලියන ගණනක් නිපදවෙන අතර එක් එක් ආහාර දාමය දක්වා මේ රසායනික ද්‍රව්‍ය සහ බැක්ටීරියා ගෙන යා හැකිය. අවසන ඒවා මිනිසා වෙතටම ද යළි ගමන් කළ හැකිය.

 

කොවිඩ් අපද්‍රව්‍ය

කොවිඩ් අපද්‍රව්‍ය ලෙස පොදුවේ මේවා හැඳින්වේ. කොවිඩ් අපද්‍රව්‍ය මුව ආවරණ, අත් ආවරණ, සැනිටයිසර් බෝතල් ආදිය ඇතුළත්ය. මුහුදු පතුලේත්, දිය මතුපිටත් ඇති මේ කොවිඩ් අපද්‍රව්‍ය හේතුවෙන් ගණනය කළ නොහැකි පරිසර හානියක් සිදු වෙමින් පවතී. “මේ විදිහට ගියොත් මුහුදෙ ජෙලි ‍ෆිෂ්ලට වැඩිය මාස්ක් තියේවි.” ඒ ප්‍රංශයේ ඔපරේෂන් මෙර් ප්‍රෝපර්හි ලෝරන්ට් ලොම්බර්ඩ්ගේ අදහසයි.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ කාලයේම පරිසරවේදීන් අනතුරු ඇඟවූයේ ප්ලාස්ටික් දූෂණය අහස උසට නැඟීමත් සමඟ සාගරයටත්, සාගර ජීවීන්ටත් අනතුරුදායක කාලයක් උදා විය හැකි බවය. 2018දී පරිසරවේදීන් කළ ඇස්තමේන්තු අනුව සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 13ක් සාගරයට මුදා හැරෙයි. ඒ 2008 වසරේ තත්ත්වයයි. මේ වන විට එහි ශීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බවට නම් සැකයක් නැත. සොබාදහම පිළිබඳ ලෝක ව්‍යාප්ත අරමුදලට අනුව සෑම විනාඩියකටම වතාවක් ප්ලාස්ටික් බෝතල් 33800ක් මුහුදට දමයි. කොවිඩ් 19 වසංගතයත් සමඟ මේ සංඛ්‍යා භයානක ලෙස ඉහළ ගොස් ඇති බවට සැකයක් නැත. මුහුණු ආවරණවල පොලිප්‍රොපිලීන් වැනි ප්ලාස්ටික් අඩංගු බැවින් පාරිසරිකව මේවා කාල බෝම්බ හා සමාන වන බව තවත් පරිසරවේදියකු සටහන් කර ඇත.

 

ආසන්න විකල්ප

ගෘහස්ථව නිපදවන රෙදිවලින් මැසූ මුව ආවරණ පැලඳීම මීට ආසන්නම විකල්පය බව ඇතැමුන් පෙන්වා දෙන මුත් එමඟින් අවශ්‍ය ප්‍රමාණයේ ආරක්ෂාවක් එය පලඳින්නාට ලැබේදැයි තර්ක මතුව ඇත. එහෙත් පොදු භාවිතය තුළ වඩාත් ජනප්‍රිය එක් වතාවක් භාවිත කර ඉවතලන මුව ආවරණය. ඒ, එමඟින් අවශ්‍ය ආරක්ෂාව ලැබීමත් මුදලෙන් අඩු වීමත්ය.

අනාරක්ෂිතව මුව ආවරණ ඉවත දැමීම නැවැත්වීමට යම් වැඩපිළිවෙළක්, පුරුද්දක්, ආචාර ධර්මීය වගකීමක් ඇති බව සමාජය තුළ පැතිරවීමේ නව ක්‍රමයක් සොයා ගැනීමට කාලය පැමිණ ඇත. සමාජ මාධ්‍යය වෙත ද මේ යහපත පැතිරවීමේ නොපැවරුණු වගකීමක් ඇත. නරක වයිරල් වීමේ සම්භාවිතාව වැඩි සමාජ මාධ්‍යය ඇතුළතම යහපත ද වයිරල් කරවීමේ වුවමනාවක් ඇති කරවිය හැකිය. මෙය යම් සමාජ ව්‍යාපාරක් ලෙස ආරම්භ කළ හැකිය.

මුව ආවරණ නිසි ලෙස බැහැර කිරීම සරලව සමාජය තුළ පතුරවා හරින අතරම, එසේ නොකළහොත් සිදු විය හැකි දිගුකාලීන පාරිසරික ව්‍යසන පිළිබඳ ද දැනුවත් කළ යුතුය. සරල ක්‍රියාවකින් අනාගතය ‍රැකිය හැකි බවට ඔත්තුවක් පතුරුවාලිය හැකිය. පොදු ස්ථානවල මුව ආවරණ බැහැර කිරීමට වැසූ කුණු භාජන තැබීමත් ඒ මත අනුගමනය කළ යුතු සරල ක්‍රම රූපසටහන් මඟින් දක්වා සිටීමෙන් මෙය පුරුද්දක් බවට පත් කළ හැකිය. මුව ආවරණ බැහැර කළ කුණු භාජනවල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත එකී සේවකයන්ට පැහැදිලි කර දිය යුතුය. මේවා නිතර නිතර දකින්න, ඇහෙන්න සැලැස්වීම මඟින් යම් ධනාත්මක ප්‍රයෝජනයක් ලැබිය හැකිය.

මේ වෙනුවෙන් ඔබට පෞද්ගලිකව කළ හැකි යමක් ඇත. ඒ, ඔබ භාවිත කළ මුව ආවරණය නිසි ලෙස බැහැර කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here