බයිඩ්න්ගේ පාලනය ශ්‍රී ලංකාවට කුමන අන්දමින් බලපායිද?

0
15
14 නොවැම්බර්, 2020
දක්ෂ උප ජනාධිපති කමලා හැරිස් සමඟින්

ඇමරිකාවේ යළිත් ඩිමොක්‍රටික් පක්ෂ පාලනයක් ඇතිවී තිබේ. ඒ පසුගියදා පැවති මැතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජෝ බයිඩ්න් ජය ලැබීමත් සමගිනි. ඇමරිකාවේ මැතිවරණ ගැන ලෝකයම මෙතරම් උනන්දු වන්නේ ඇමරිකාවට වක්‍රාකාරව ලෝකයේ බොහෝ රටවල අනාගතය සම්බන්ධව මැදිහත්වීම් සිදු කර ඇති අතීතයක් පවතින බැවිනි. සැබවින්ම ඒ අතරින් බහුතරය ඉරාක, ඇෆ්ගනිස්ථාන, සිරියා, ලිබියා වැනි රටවල් බිමට සමතලා කළ කනගාටුදායක යුද්ධ වේ. නැතහොත් ඊශ්‍රායෙල් වැනි රටවල් බිහිකරිමේ බලහත්කාරකම් වේ.

පසුගිය 2016 මැතිවරණයේදී ට්‍රම්ප් බලයට පත්වූයේ පිරිහෙමින් යන ඇමරිකානු ජාතිය සතු බලය යළි ගොඩනැගීමේ අවශ්‍යතාව පෙන්වා දෙමිනි. එහෙත් මෙවර ට්‍රම්ප් සතු බලය ගිලිහී යෑමට ප්‍රධාන හේතුව ඔහු සතුව කිසිඳු වැඩපිළිවෙළක් නොවීම බව පැහැදිලිය. ඇතැම් විට ට්‍රම්ප් ගෙන ගිය සාමකාමී පාලනය යුද ජයග්‍රහණ පුරුදු ඇමරිකානු ජනතාව අපේක්ෂා භංගත්වයට පත් කළා වුවද විය හැකිය. අනෙක් අතට ට්‍රම්ප්ගේ ලකුණු කපා දැමීමට වැඩිම හේතුව වූයේ කොවිඩ් වසංගතයයි.

ට්‍රම්ප් කොවිඩ් හමුවේ ගෙනගිය දැඩි අභියෝගාත්මක ප්‍රතිපත්තිය රටේ ආර්ථික හානිය උපරිමයෙන් අවම කළ බව සැබෑය. එහෙත් ජනතාව තම ජීවිතාරක්ෂාව සම්බන්ධව රජයෙන් කිසිඳු වටිනාකමක් නොලැබුණු බවට කළ චෝදනාද ඉවත දැමිය නොහැකිය. ඒ අනුව වසංගතය හමුවේ ජන ජීවිතවල ආරක්ෂාව සම්බන්ධව ජනතාව සිතන අන්දම ඇමරිකාවේ උදාහරණය ඇසුරින් තේරුම් ගැනීම ඕනෑම රටක පාලකයන්ට වැදගත් වනු ඇත.

නව ජනාධිපති ජෝ බයිඩ්න් සමබන්ධව සැලකුවහොත් ඔහු දශක පහක පමණ දේශපාලන අත්දැකීම් සහිත පරිණත දේශපාලනඥයෙකි. ඔහුගේ දේශපාලන ජිවිතය සැලකිල්ලට ලක් කරන විට ඔහු වසර හතළිහක පමණ කාලයක් පුරා ඇමරිකාවේ ජනාධිපති ධූරයට හෝ ජනාධිපතිවරයාට ඉතා සමීපව කටයුතු කර තිබේ. 2008 – 2016 අතර කාලයේදී ඇමරිකාවේ උප ජනාධිපති ධූරයද ඔහු විසින් හොබවන ලදී.

කෙසේවුවද මෙවර වසර හතරකට ඇමරිකාව පාලනය කිරීමේ අවස්ථාව ඔහුට උදාවී තිබේ. නව ජනාධිපතිවරයා යටතේ ඇමරිකාව කෙසේ වනු ඇතිද යන්න සම්බන්ධයෙන් මෙන්ම සමස්ත ලෝකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ. සැබවින්ම පැවසිය යුතු වන්නේ දැඩි ඇමරිකානු ජාතිකවාදී මතධාරීන් නම් බයිඩ්න්ගේ පත්වීම සම්බන්ධව සතුටු නොවනු ඇති බවයි. ‘ඇමරිකාව ඇමරිකානුවන්ට පමණයි’ යන මතය සහිතව බොහෝ ඇමරිකානුවන් කටයුතු කරන අතර ඔවුන්ගේ චෝදනාව වන්නේ ඇමරිකාව ලෝකයෙන් ප්‍රබලම රට විය යුතු බවත්, ඒ ප්‍රබලතාව ලෝකයේ සෙසු රටවලට පෙන්විය යුතු බවත්ය. එමෙන්ම සංක්‍රමණිකයන් හේතුවෙන් ඇමරිකානුවන් බොහෝ පීඩාවට පත්වන බවත්, විරැකියාවට පවා මුහුණ දීමට ඇමරිකානුවන්ට සිදුවී ඇත්තේ සංක්‍රමණිකයන් හේතුවෙන් බවත්ය. එමෙන්ම රට තුළ ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවීමට ප්‍රධාන හේතුව සංක්‍රමණිකයන් බවද ජාතිකවාදී අදහස් සහිත බොහෝ ඇමරිකානුවන්ගේ අදහසයි.

එහෙත් දැන් බයිඩ්න් ජනාධිපතිවරයා සිටගනු ඇත්තේ මේ අදහස්වලට විරුද්ධ පැත්තේය. ඔහු සංක්‍රමණිකයන්ට ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන අතර, ඔහුට අනුව ‘ඇමරිකාව සැමගේය’. එහෙත් ඒ අතර ඇමරිකාව සාමකාමී විය යුතු බව අදහස් වුවද ලෝකයේ සෙසු රටවල් සම්බන්ධයෙන් නම් සාමකාමී ප්‍රතිපත්ති ගැන අදහසක් නැත. 2014 වසරේ අරාබි වසන්තයට යටතේ ලිබියාව බිමට සමතලා කරනු ලැබුවේත්, සිරියානු යුද්ධයේ ආරම්භය වාර්තා වූයේත් ඩිමොක්‍රටික් ජනාධිපතිවරයකු වූ ලෝකය පුරා අති ජනප්‍රිය බරැක් ඔබාමාගේ පාලනය යටතේ බව අමතක කළ යුතු නැත.

එහෙත් බයිඩ්න් ජනාධිපතිවරයාගේ ඉදිරි පාලන කාලය සම්බන්ධව අවධානය යොමු කරන විට ඔහුට මින් පෙර නොවූ විරූ අභියෝග මුණගැසෙනු ඇති බවට සැක නැත. ඒ අන් කිසිවක් නොව චීනයයි. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කාලයේදී චීනය මුල්වරට ඇමරිකාවට අභියෝග එල්ල කළ අතර එහිදී ට්‍රම්ප්ගේ ප්‍රතිචාර කොහොල්ලෑ බබාට අතින් පයින් පහර එල්ල කළ නරියා හා සමාන විය. හුවාවෙයි සමාගමට ඔත්තු බැලීමේ චෝදනා එල්ල කිරීම, ටික්ටොක් වීඩියෝ තහනම් කිරීම මෙන්ම අප රටද ඇතුළුව දකුණු ආසියානු කලාපයේ චීන මැදිහත්වීම් හෙළා දැකීම ඒ අතර විය. ඒ සෑම අවස්ථාවකම පැහැදිලි වූයේ ට්‍රම්ප් පාලනය සතුව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බවයි. පසුගිය වසර හතර පුරාම ට්‍රම්ප්ගේ කකුලෙන් අදිමින් පාලනයට බාධා කළ බැවින්ම ඇතැම්විට ඩිමොක්‍රටික් පක්ෂය මනා සූදානමකින් ඉදිරි වසර හතර සම්බන්ධව වැඩිපිළිවෙළක් සකස් කර ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකිය. එහෙත් ඒ සියල්ල ප්‍රායෝගිකව සිදුවන තුරු අනාවැකි පැවසීම අපහසු වන්නේ ඇමරිකාව දැන් රඟන වේදිකාව ඔවුන්ට එතරම් පහසු නොවන නිසාය.

පැවසිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඇමරිකාවේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම වැඩි වෙනසක් නොමැති බවය. ඒ අනුව තම පොදු සතුරා බවට පත්ව සිටින චීනය සම්බන්ධව බයිඩ්න් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු විය යුතු නැත. ඒ හේතුවෙන්ම චීන සම්බන්ධතා සම්බන්ධව විරෝධය පළ කරන ඉන්දියාවේ අතිජාත මිත්‍රයා තවදුරටත් එලෙසම පවතිනු ඇත. එමෙන්ම චීන මිත්‍ර සම්බන්ධතා සම්බන්ධව අප රටට එල්ල වෙමින් පවතින ඇමරිකානු පීඩනය තවදුරටත් එසේම පැවතීමට හෝ වර්ධනය වීමට වුවද යම් ඉඩක් පවතින බව කිව යුතුය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here