රට ගොඩ ගන්න නම් වගකීම් ඉටු කරමු

0
20

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙළ දේශය ඉන්දියන් සාගරයෙන් වටවූ පුංචි මුතු ඇටයකි. ඈත අතීතයේ පටන් ලාංකික ජනයා තම මව්බිම රැක ගැනීම උදෙසා ජාති, කුල, ආගම් භේදයකින් තොරව එකාවන්ව සටන් කළහ. එමෙන්ම තිස් වසරක් පැවති යුද්ධයේදී විරුවන් තම ජීවිත පවා පුද කර මව් දෙරණ ආරක්ෂා කළහ. එසේ සුරැකි මව්බිම පමණක් නොව අද වන විට කොරෝනා නම් දරුණු වසංගතය විසින් මුළු ලෝකයම ආක්‍රමණය කරමින් සිටියි. එසේ නම් අප කළ යුත්තේ එයින් රට ආරක්ෂා කරගැනීමය. නමුදු එය අප සිතන තරම් පහසු නැත. මන්දයත් ඒ සදහා තවමත් නිශ්චිත එන්නතක් හෝ ඖෂධයක් සොයා ගෙන නොමැති බැවිනි. අපට කල හැකි එකම දේ නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නිසි අයුරින් පිළිපැදීමය.

එහිදි මුඛ ආවරණ පැලඳීම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිතර දෑත් සේදීම යනාදිය ප්‍රධාන ලෙස පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු ය. කොරෝනා පළමු රැල්ල සාර්ථකව පාලනය කිරීමට අප රටට හැකි විය. මන්ද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නිසි අයුරින් පිළිපැදීම ම මෙන්ම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ තම වගකීම් නොපිරිහෙලා ඉටු කළ බැවිනි. ඒ සඳහා ලෝකයාගෙන් අනේකවිද පැසසුම් ද හිමි විය. නමුදු කාලයත් සමග ජනතාව තම සෞඛ්‍ය පුරුදු පිළිපැදීම අමතක කළහ. ඔවුන්ට රිසි සේ තම ජීවිත ගත කරන්නට පටන් ගත්හ. ජනතාවගේ මුඛ ආවරණ ක්‍රම ක්‍රමයෙන් ගැල වී ගිය අතර දුරස්ථභාවය ද දක්නට නොලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් රට තුළ කොවිඩ් දෙවනි රැල්ලක් නිර්මාණය විය.

එය නිර්මාණයට ජනතාවගේ නොසැලකිලිමත්කම ද හේතු විය. රෙදිපිළි ආයතනයක් තුළින් ඇරඹි කොවිඩ් දෙවනි රැල්ල, අද වන විට රට පුරාම ව්‍යාප්ත වෙමින් පවතී. එය කෙසේ කාගෙන් නිර්මාණය වූවා දැයි නිශ්චිත මූලාශ්‍රයක් තවමත් සොයා ගෙන නොමැත. දැන් කළ යුත්තේ ජනතාවට හෝ රජයට බැන වැදීම නොව ව්‍යාප්තිය අවම කර ගැනීමට නිසි ලෙස ක්‍රියා කිරිමය. නැතහොත් සිදු වන්නේ අතීතයේදී ලේ බිඳු හලා රැකගත් දේශය විනාශය කරා ගෙන යාමය. ජනතාව දැන්වත් මෙහි ඇති භායානකකම වටහා ගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් කර නොගෙන සියලු දෙනා මව්බිම රැක ගැනීමට තම වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතුය.

අද වන විට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නීතියක් බවට පත් කර ඇත. එය ඉතා අගනා පියවරකි. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට ආසාදිත පුද්ගලයන් හමුවන ප්‍රදේශවලට ඇඳිරි නිතීය පනවනු ලබයි. නමුදු එය තේරුම් නොගන්නා පිරිසක් ද සමාජයේ සිටිති. ඔවුන් ඇඳිරි නීතිය කඩකරමින් තම ජීවිතය මෙන්ම අන් අයගේ ජීවිත ද අනතුරේ දමයි. කොවිඩ් වයිරසය දුප්පත් පොහොසත් භේදයකින් තොරව ආසාදනය වන්නකි. එය ලෝක බලවතුන්ට පවා ආසාදනය විය. එසේ නම් එය අපට ආසාදනය නොවිය හැකි යැයි කිව නොහැකිය. කළයුත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නිසි ලෙස පිළිපැදීම පමණි. ඒවා අපගේ ජීවිතයේ කොටසක් බවට පත් කර ගන්නේ නම් කොරෝනා දෙවනි රැල්ල ද පාලනය කිරීම පහසු වන්නේය.

තම තමන් තමන්ගේ වගකීම් සහ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නේ නම් රට ආරක්ෂා කර ගැනීම පහසු වන්නේ ය.

 

 

 නවෝදා වීරසිංහ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here