Case නැති Life එකකට මනුසත්කමේ සමාජයක්

0
16

ජාතිවාදය , වර්ගවාදය , වර්ණභේදය එකී මෙකී නොකී භේද වාද තත්ත්වයන් උසස්  සංස්කෘතීන් මුල් බැස ගත් දේශයන්හි තිරය පිටුපස රඟදැක්වෙන අගුණ ගණයේ නාටකයන්ය. උත්පත්තියෙන් ජාතියක්,ආගමක් පිළිබඳ වගතුග නොදැන ඉපදෙන මනුස්සයා,භේද වන්නට කරුණු කාරණා එක්රැස් කර ගන්නේ වයසින් වැඩෙත්මය. මෙම හේතු සමාජයේ අහේතුව බවට පත් වන්නේ පරම්පරිකව හෝ සිරිත් විරිත් හෝ පුහු මාන්නයන් නිසාය.

 කලු  සුදු පැහැයන්ගේ අරගලය නිසාවෙන් මෑතකදී ඇමරිකාවේ සිදු වූ ජොර්ජ් ෆොලොයිඩ්  ඝාතනය ලෝකයේම අවදානය දිනා ගත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. එය රූපවාහිනියේ, ගුවන්විදුලියේ මෙන්ම සමාජ මාධ්‍යයන් තුළ ද උලුප්පා කතාබහට, විචාරයට පාත්‍ර වුණි. නමුත්, අනුන්ට ඇඟිල්ල දික් කරනා විට තමන් වෙත ඇඟිලි සතරක් එල්ල වී ඇති බව වටහා ගනිමින්, වෙනත් දේශ දීපංකරයන්ට ඇඟිල්ල දිගු නොකොට පුංචි දූපතක  සිදු වන භේද භින්න වීම් පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය වේ. 

 තිස් වසරක යුද්ධය හෝ වේවා පාස්කු දින ප්‍රහාරය හෝ වේවා ජාතීන්, ආගම් අතර ඇනකොටා ගැනීම්වලට හේතු වූයේ අහේතුවම  වූ, මනුෂ්‍ය කොට්ඨාසයන් විවිධ කුලයන්ට වෙන් වීම් නිසාමය. සමාජයක් සෑදෙන්නේ තනි තනි පුද්ගලයන් ඒකරාශි වීමෙන් බව සැබෑමය. එම සත්‍යතාවය මත පදනම් වූ වෙනස් වන පරස්පරතාවයන්  ඇතැයි යැයි  පවතින මතයට එදිරිව , ඒකීයත්වයක් කරා යොමු වන තනි තනි සිතුවිලි වලින් සැදුම්ලත් ඒකීයත්වයේ  සමාජයක් ගොඩනැගීමට අපටත් හැකිය.

 යුද්ධයේ වැඩිමනක්  හානිය සිදු වූයේ සිංහල ජනතාවටය, වැඩි හානිය සිදු වූයේ දෙමළ වැසියන්ට යනාදී වශයෙන් විවාද කරමින් පවතින මේ කාලවකවානුවේ , ප්‍රතිශතාත්මක ලෙස බහුතර සිංහල ජනතාවට වඩා සුළුතර දෙමළ ජනතාව තවමත් සුළු ජාතියක් ලෙස පීඩා විඳිමින් සිටියි. මානව හිමිකම් සංවිධාන හෝ රාජ්‍ය නොවන සංවිධාන  තම මඩිය තර කර ගන්නවා විනා සැබෑ සමානාත්මතාවයට අත දුන්නා යැයි පැවසීම උපහාසාත්මක ය.

 දෙමල්ලු ,  තම්බිලා, සිංහලුන් , සුද්දෝ යනාදී ආකාරයෙන් , සුද්ද සිංහල වචන පරයා යන අශෝභන භාෂා විලාසයක් තුළ වෙනස් වීමක් අපේක්ෂා කළ  හැකිද ?

 ඉතිරිව ඇත්තේ දුකට කවි සීපද කියන්නටම  පමණිය. පරස්තාවේ පටන් ජාතිය ආගම සලකන ඊට එදිරිව හිස ඔසවන්නට දෙදෙනකුගේ පවිත්‍ර ප්‍රේමයට කිසිසේත් වපසරියක් නොමැත. අසම්මත හා සම්මත යන්න තුළ දෝලනය වන්නා වූ මනුස්සත්වය පයට පෑගෙන්නේ කිසිදු අගයක් නොමැති දෙයක් හා සමානවමය. උපතත් මරණයත් සමානුපාතිකව බෙදී යන්නා වූ ද ,දහමේ මුල් බැසගත් හරය  යහපතම  කේන්ද්‍රගත වන්නා වූ  තත්ත්වයක ජීවත් වන්නාවූ අප , ජීවත්වන කාලය තුළ අසමාන අනුපාතයට මනුසත්බව කිරා මැනීම අතිශය සෝචනීයය.

 කුඩා දරුවාගේ පටන් මහලු වැඩිහිටියා දක්වාම ඔළු ගෙඩි තුළට පුරවා ඇති මාන්නය නිසාවෙන්, මහා බැඳීම් සමූහයක් අතර හුදකලා වන ළමා, තරුණ, වැඩිහිටි පිරිස බහුතරයකි. කැවුම්,කොකිස්, අතිරස ඒ අතරම පායසම්, පැණි වළලු, බිරියානි,කේක් සම්මිශ්‍රණය වීම දිව පිනවන ප්‍රණීත මුසුවකි. තොල, කට, ආමාශය පිනවීම මෙසේ සිද්ධ වේ නම්, සියලු භේද අකා මකා දැමූ තැන සිත් සතන්හි පිරී ඉතිරී යන සතුට කොපමණක්ද? එම සන්තාපය මිහිපිටදී ම සුරලොව ආනන්දය අත්විදින සොඳුරු අත්දැකීමකි.

 හඬක් නැති හඬකට හඬක් වන්නට විවිධ පිරිස් අප්‍රසිද්ධියේ රොද බැඳී  සිටින වත්මන් තත්ත්වය සතුට දනවන කාරණයකි. කුඩා බීජයක් මුල් බැස ගත් දා පටන් අතු ඉති දලුලා වැඩෙත්ම වසන්තය උදා වන්නා සේ සහෝදරත්වය හා එකමුතුකමේ මාහැඟි සිතුවිල්ල අප අතරත් රෝපණය කර ගැනීම කළ යුතුමය. එම යුතුකම හය හතර නොතේරෙන දරුවාට අයන්න ආයන්න ට

ප්‍රථම ව  පළමු පාඩම ලෙස කියා දිය යුතුය.

 රතු පැහැය ලේ  වගේම එකම හැඩයේ අවයව ඇති සිරුරු දරන මනුෂ්‍යයන් ලෙස, සිංහල ,දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ලෙස නොව ශ්‍රී ලාංකික, ලෝකවාසී යන විසල් හැඟීමෙන් යුතුව ජීවත්වීම කෙතරම් වටින්නේද ? 

 එක මිනිසෙකු වෙනුවෙන් තව මිනිසකු ලෙස අත්වැල් ලා ගනිමු. අකැප සම්මතයන් බිඳ දමා අසම්මත යැයි කියන්නා වූ සම්මතය සමාජයේ රෝපණය කරන්නට වෑයම අරඹමු. එ තුලින්  සැබෑම මනුසත් ගුණයේ වසන්තය අප අතර සදහටම පවතීවි නිතැතින්ම.

 

  දෙව්නි පෙරේරා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here