24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    මිනිස් පිටපත් හදන crispr

    පසුගියදා නොබෙල් රසායන විද්‍යා සම්මානයෙන් පිදුම් ලැබූ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෙනිෆර් ඩූඩ්නා හා ඇයගේ පර්යේෂණ සහායිකාව වන එම්මෑනුවෙලි කාර්පෙන්ටියර් එකී සුවිශිෂ්ට ගෞරවයට පාත්‍ර වනු ඇති බවට අනාවැකි පළවුණේ මීට වසර අටකට පමණ එපිට සිටය. ඒ ඔවුන් දෙදෙනා විසින්, පිරිපහදුකරණ ලද ඩීඑන්ඒ අණු සංස්කරණයට හාපුරා කියා ‘crispr’ නමැති ජාන ඉංජිනේරු තාක්ෂණය යොදාගත හැකි බව සාර්ථකව ඔප්පු කළ දින පටන්ය.

    ඒ, මෙතෙක් නිශ්චිත ප්‍රතිකර්ම අනාවරණය කරගෙන නැති දරුණු කායික හා මානසික ව්‍යාධි සුව කිරීමේ සිට පරිපූර්ණ සුපිරි මානවයන් බිහි කිරීමේ මානව ක්ලෝනකරන කඩඉම ජය ගැනීම දක්වා වූ විස්මිත ජාන ඉංජිනේරුමය යෙදවුම් රැසකට පදනම සපයන ‘crispr’ තාක්ෂණය සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රය ලබාගැනීමේ නඩු මඟට මහාචාර්ය ඩූඩ්නා යොමුව සිටි වකවානුවකි. ඇයට එරෙහිව නඩු මඟට බැස තිබුණේ සුප්‍රකට හාවර්ඩ් හා එම්අයිටී විශ්වවිද්‍යාලවලට අනුබද්ධ බ්‍රෝඩ් ආයතනයේ ජීව විද්‍යා ඉංජිනේරු ‘ෆෙන්ග් ෂැන්ග්’හා මහාචාර්ය ජෝර්ජ් චර්ච්ය. මානව සෛල සංශ්ලේශණය සඳහා ‘crispr’ තාක්ෂණය යොදාගත හැකි බව ලොවට මුලින්ම අනාවරණය කෙරුණේ ඔවුන් දෙදෙනාගේ පර්යේෂණ මඟිනි. එහි ප්‍රතිඵලයක් ලෙස පේටන්ට් බලපත්‍රය ෂැන්ග්ට හිමි වුවද ඉන් වසර අටකට පසු නොබෙල් සම්මානයේ ගෞරවය හිමි වුණේ ඩූඩ්නා හා කාර්පෙන්ටියර්ටය. එනමුත් මානව සංහතියේම අනාගතය වෙනස් කළ හැකි අපූර්ව විස්මිත ජාන ඉංජිනේරුමය තාක්ෂණික මෙවලමක් වන ‘crispr’ මුල් වරට අනාවරණය කර ගැනීමටත්, එහි ක්‍රියාකාරීත්වය ලොවට ගෙනහැර පෑමටත් මුල් වූයේ මේ එකදු පාර්ශ්වයක් හෝ නොවීමද, ‘crispr’ තාක්ෂණයේ සංකීර්ණත්වයත්, පෘථුලභාවයත් කියා පාන්නකි.

     

    ජාන ක්‍රියාකාරිත්වය

    1987 දෙසැම්බරයේදී ජපානයේ ඔසාකා නුවර පිහිටි ක්ෂුද්‍ර ජීව රෝග පිළිබඳ ගවේෂණ ආයතනයේ ජීව විද්‍යඥයන් පිරිසක් විසින් ඊ කෝලයි බැක්ටීරියාවෙන් ගත් ජානයක ඩීඑන්ඒ පෙළගැස්ම ප්‍රකාශ කළේය. ගෙනෝම සිතියම්ගත කිරීම ඇ‍රැඹූ මුල් අවධියේදී ලොව පුරා වෙසෙන විද්‍යාඥයන් පළතුරු මැස්සන්ගේ සිට මිනිසාගේ දක්වා ජාන සැකැස්ම ගෙනෝම සිතියම්ගත කිරීම අරඹා තිබුණත්, ඔසාකා විද්‍යාඥයන්ගේ ප්‍රකාශනයේ අමුත්තක් තිබිණි. ඊ කෝලයි වෙතින් ගත් ජානයේ ක්‍රියාකාරීත්වය වඩාත් හොඳින් හඳුනාගැනීම සඳහා ඔවුන් එකී ජානය අවට ඩීඑන්ඒ සමහරක්ද පෙළගැස්වූ අතර කිසිවකුටත් හඳුනාගැනීමට නොහැකි සෛලීය සැකැස්මක් අනාවරණය විය. 2005 දක්වා අභිරහසක්ව තිබූ හඳුනා නොගත් මෙම ඩීඑන්ඒ පෙළගැස්ම, ඊ කෝලයි හා සමාන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ගත් ඩීඑන්ඒ සමඟ සංසන්දනය කළ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ ෆ්‍රැන්සිස්කෝ මොජිකා එය ආක්‍රමණශීලී වෛරසයකින් කැඩී බිඳී ඉතිරි වූ ඩීඑන්ඒ අණුවක කොටසක් ලෙස හඳුනාගත්තේය. එතැන් පටන් ‘crispr’ තාක්ෂණය අනාවරණය දක්වා කෙරුණු පර්යේෂණ ශීඝ්‍රගාමී විය.

    2007දී ඩෙන්මාර්කයේ ඩැනිස්කෝ ආහාර සමාගම වෙනුවෙන් පර්යේෂණවල නියැළුණු ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ රුඩොල්ෆ් බැරන්ගෝ හා ෆිලිපේ හොර්පාක් විසින් යෝගට් නිෂ්පාදනයට යොදා ගන්නා ස්ට්‍රෙප්ටොකොකස් තර්මෝෆිලස් බැක්ටීරියාව, වයිරසවලින් ආසාදනය කිරීමට ගත් උත්සාහයේදී ඇතැම් බැක්ටීරියා පමණක් වෛරස ආසාදනයෙන් ගැලවී සිටීමට හැකි බව සොයා ගැනුණි. වෛරසය හමුවේ අඩපණ නොවුණු සියලු බැක්ටීරියාවලට ‘crispr’ අණුවෙන් ආරක්ෂාව ලැබී තිබුණු බව අනාවරණය විය. ජාන කේත සංස්කරණය කොට නවීකරණය කිරීමේ හැකියාව හෙවත් ජීවයේ මූලධර්ම වෙනස් කිරීමේ හැකියාව ලැබී ඇති බව එලෙස අනාවරණය වීම ලෝකයාගේ ප්‍රහර්ශයට සේම ආන්දෝලනයටද තුඩු දුන්නක් විය.

     

    සෛලීය කැපුම්

    ‘crispr’ හෙවත් Clustered regularly interspaced short palindromic repeats සෙල ආක්‍රමණය කරන්න වෛරස හඳුනා ගනිමින් සුවිශේෂ එන්සයිමයක් ආධාරයෙන් ඒවා විනාශ කොට කැබලි කිරීමට හැකි, එකී අවශේෂ වයිරස කැබලි උපයෝගි කරගනිමින් ප්‍රාථමික මට්ටමේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සකස් කිරීමේ හැකියාවක් ඇති, අසාමාන්‍ය ඩීඑන්ඒ අණු එකතුවකි. ‘crispr’ සතුව ප්‍රධාන සංඝටක දෙකකි. පළමු වැන්න ඩීඑන්ඒ ඡේදනය කළ හැකි සෛලීය කැපුම් මෙවලමකි. අනෙක, එකී කැපුම් මෙවලමට දහස් ගණනක් ජාන අතුරින් සොයා ගොස් ඡේදනය කිරීමට අවශ්‍ය අදාළ නිශ්චිත නියුක්ලියෝටයිඩ දාමයට සවි වීමට මඟ පෙන්වන, ආර්එන්ඒවලින් සමන්විත ආධාරකයයි. නව ආක්‍රමණශීලි තර්ජනයන්ට එරෙහිව මිනිසා ඇතුළු සෙසු පෘෂ්ටවංශීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිවලට අනුවර්තනය විය හැකි බව හඳුනාගෙන තිබුණද, තනි සෛලීය බැක්ටීරියාවන්ටද එම හැකියාව ඇති බව විද්‍යාඥයන් බොහෝ දෙනකුට මුලදී අවබෝධව තිබුණේ නැත. එහෙත් මෙකී අණු ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියට අනුරූපි ජානමය සැකැස්මකට පරිවර්තනය කිරීමට සොබාදහමට හැකි නම්, මිනිසාටද හැකි බව වටහා ගත් විද්‍යාඥයන්ට ඕනෑම සෛලයක් වෙතට ඇවැසි මෙවලම් රැගෙන යෑමට හැකි ආර්එන්ඒ මාර්ගෝපදේශකයන් කෘත්‍රිමව සංශ්ලේශණය කිරිමට වැඩි කල් ගියේ නැත. ‘crispr’ යනු මිනිසාද ඇතුළුව ඕනෑම සත්ත්වයකුගේ ජාන පෙළගැස්ම වෙනස් කිරීමට, මකා දැමීමට හෝ අලුතින් ප්‍රතිස්ථාපනය කිරීමට සමත් විස්මිත ජාන ඉංජිනේරු තාක්ෂණයකි.

    මීයන් යොදාගනිමින් කළ අත්හදා බැලීවලදී ‘crispr’ මෙවලම ඇසුරෙන් දෑකැති සෛල රක්තහීනතාව, muscle dystrophy, cystic fibrosis, ඇසේ සුද ඇති වීම, එච්අයිවී ආසාදනයට හේතු වන ජානමය වැ‍රැදි නිවැ‍රැදි කිරීමට විද්‍යාඥයන් සමත් වූහ. භෝග වගාවන්හි අස්වැන්න සරු කිරීමටත්, පළිබෝධවලට හා චණ්ඩ කාලගුණික තත්ත්වයන්ට ප්‍රතිරෝධි භෝග වර්ග නිෂ්පාදනය සඳහා යොදාගැනෙන අහිතකර ආගන්තුක ජාන ඇතුළු කිරීමෙන් කෘත්‍රිමව ජාන නවීකරණය කළ භෝග වෙනුවට ‘crispr’ තාක්ෂණයෙන් ඒ හා සමාන වාසි සහගත භෝග, මතභේදයට තුඩු නොදී නිෂ්පාදනය කිරීමට චීන හා ජපාන විද්‍යාඥයන් සමත්ව සිටියි. ‘crispr’ තාක්ෂණය නිසාවෙන් පිළිකා, ඇල්සයිමර්, දියවැඩියාව වැනි ජාන සිය දහස් ගණනක ගතික වෙනස්වීම් තුළින් හටගන්නා සංකීර්ණ රෝග අලුත්ම ක්‍රමවේදයකට අධ්‍යයනය කිරීමේ හැකියාවද ලැබී තිබේ. ‘crispr’ තාක්ෂණය සුවිශේෂ වන්නේ ඉන් මානව කළලවල වන ජානමය විකෘතිතා නිවැ‍රැදි කිරීමට විද්‍යාඥයන්ට හැකි නිසාය.

     

    අවයව බද්ධය

    ජානමය වශයෙන් නවීකරණය කළ සැලසුමකට අනුව නිපදවූ මානවයන් (designer babies) බිහි කිරීමේ මේ ආන්දෝලනාත්මක ප්‍රවේශයට ‘crispr’ තාක්ෂණයෙන් ලැබෙන පිටුබලය එය සොයාගත් මුල් අවධියේදී ලොව පුරා විද්‍යාඥයන් අතර එහි සදාචාරාත්මකභාවය කේන්ද්‍ර කරගත් කතිකාවතක් ඇති කිරීමට හේතුව තිබිණි. නවීකරණය කළ මානවයන් නිපදවීමේ සංකීර්ණ ක්‍රියාවලියේදි අතුරුඵල ලෙස ජානමය වශයෙන් වෙනස් කළ වෙනත් ජීවීන් පරිසරයට නිදහස් වීමේ අවදානමද අවධානයට ලක් විය. මානව අවයව බද්ධ කිරීම සඳහා සුකර අවයව ආදේශක ලෙස ගත හැකි ආකාර සොයාගැනීමට අමෙරිකානු විද්‍යාඥයන් වසර ගණනාවක සිට ගත් උත්සාහය සාර්ථක කිරීමට ‘crispr’ තාක්ෂණයෙන් පෙර නොවූ විරූ තල්ලුවක් ලැබිණි.

    ඒ අනුව ‘crispr’ තාක්ෂණයෙන් මානව ඩීඑන්ඒ වෙනස් කිරීමට මතු නොව, එලෙස ජානමය වශයෙන් සංස්කරණයට හා වෙනස්කම්වලට ලක් කළ නව මානව ප්‍රභේද නිර්මාණය කිරීම පවා යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවනු ඇත. ‘crispr’ තාක්ෂණය කරළියට ආ මුල් අවදියේදීම චීන විද්‍යාඥයන් පිරිසක් මානව කළල අසූ හයක් යොදාගනිමින් බීටා තැලිසීමියා නමැති මාරාන්තික රුධිරගණ රෝගයට බලපාන ජානය සංස්කරණය කිරීමට ගත් උත්සාහය පවා ආන්දෝලනයට ලක් වූයේ සදාචාරාත්මක සම්මත බිඳහෙළූ බවට එල්ල වූ දෝෂාරෝපණ සමඟය. යම් හෙයකින් සංසේචිත ඩිම්බ තුළදීම මෙබඳු දෝෂ සහගත ජාන සංස්කරණය කිරීම සාර්ථක වූවා නම් ප්‍රවේණිගතව පැවත එන ජානමය රෝග මුළුමනින්ම පාහේ එම පුද්ගලයාගේ ගෙනෝමයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙන්නට තිබිණි. එය යම් දිනෙක සමස්ත මානව වර්ගයාගේම සුවසෙත තහවුරු කරන්නක් වන්නට තිබිණි.

     

    ස්වාභාවික වරණය

    නූතන වෛද්‍ය විද්‍යාවෙන්ද මානව ගෙනෝමය කෙරෙහි ඇති කරන බලපෑම සුළුපටු නොවේ. ස්වාභාවික වරණය මඟින් කාලයත් සමඟ මානව ගෙනෝමයෙන් සංස්කරණය වන්නට හෝ මැකී යන්නට ඉඩ තිබුණු බොහෝ රෝගවලට හේතු වන දුර්වල ජාන අදටද නොනැසී පවතින්නේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා යන්න ප්‍රතික්ෂේප කළ නොහැකිය. බෝ වන රෝග සේම, දියවැඩියාව සඳහාද කෙරෙන ප්‍රතිකාර නිසා ඒවාට මුල්වන ජාන ස්වාභාවික වරණයෙන් ඉවත්ව යන්නට අවස්ථාවක් නොලැබීම මීට හේතුවයි. ඇතැම් රෝගවලින් ආරක්ෂාව සපයන ජානම වෙනත් රෝගයක් වැලඳීමට ඇති ප්‍රවණතාව ඉහළ නැංවීමට ඉවහල් වන අවස්ථාද නැතුවා නොවේ. මීට වසර සිය ගණනකට එපිටදී මැලේරියා රෝගයට ප්‍රතිරෝධිතාව ගොඩනැංවීම සඳහා පරිණාමය වූ දෑකැති සෛල රක්තාණු, මානව ගෙනෝමයට ස්ථිරව හඳුන්වා දුන්නේ නම්, රක්තහීනතාවට ගොදුරුව මානව ප්‍රජාව විනාශ වන්නට පවා ඉඩ තිබිණි. ‘crispr’ තාක්ෂණයෙන් මානව ගෙනෝමය වෙනස්කම්වලට භාජනය කොට සුපිරි මානවයන් නිර්මාණය කිරීම යථාර්ථයක් වනු දැකීම, කාලයට ඉඩ දිය යුත්තක් වන්නේ එබැවිනි.

    රුක්ලන්ති පෙරේරා

     

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.