රට ගොඩනැඟීමේ ජනතා වගකීම

0
17

ලෝක සෞඛ්‍ය  සංවිධානය පෙන්වා දෙන අන්දමට තව වසරක් හෝ දෙකක් කොරෝනා වසංගතය ලෝකය පුරාම පැවතිය හැකිය. එවිට ඉදිරි වසර හෝ දෙක ලෝකවාසී ජනතා වට කොවිඩ්-19 සමඟ ජීවත් වීමට සිදු වනු ඇත. එසේ හෙයින් රටක් තව වස රක් හෝ දෙකක් යන තෙක් වසා තැබිය නොහැකිය. රටේ ආර්ථිකය  නිසියාකාරව පවත්වාගෙන යා යුතුය. කළ යුතු  නිවැරදිම දෙය වන්නේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රටේ ආර්ථිකය  ද ඉදිරියට  ගෙන යෑමය.

වසංගතයට  අනුගතවීම

ආයතන තුළ ක්‍රියාපටිපාටිය

රටක් සම්පූර්ණ වසා දැමූ පසු එරට ආර්ථිකය පණ ගන්වනු ලබන නිෂ්පාදන ආයතන, කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන යන සියල්ල අකර්මණ්‍ය වීමක් සිදුවේ. නිෂ්පාදනයක් නොමැතිවූවිට ආදායම් මාර්ග සියල්ලක්ම වැසී යෑමෙන් ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවන අතර එවිට රට තුළ සිටින ශ්‍රමිකයන් නඩත්තු කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරේ. සාමාන්‍ය පුරවැසියන්ට ආදායමක් නැති වූවි‍ට ඔවුන් නඩත්තු කිරීම නිරායාසයෙන්ම රජයට පැවරෙන වගකීමකි. එය රටකට බරකි. එසේ වූ විට රට ඉදිරියට ගෙන යෑමට නොහැකි වේ.

මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමය, නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවය, ආරක්ෂක සේවය, පොලිසිය යනා දී සෑම අංශයක්ම නඩත්තු වන්නේ රජයෙනි. ඒ සඳහා රජයට ආදායමක් අවශ්‍යය. රටක් වසා තැබුව හොත් ආදායම් මාර්ග සියල්ල ඇනහිට මේ සියල්ල අකර්මණ්‍යභාවයට පත් වනු ඇත. පසුගිය මාර්තු මස සිට මැයි මස දක්වා කාලය තුළ රට වසා තිබියදී තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුලකටම මසකට රුපියල් 5000 දීමනාවක් ලබා දීමට රජයට සිදු විය.ඒ එදිනෙදා ආදායමක් ලබන පිරිස නඩත්තු කිරීම විශේෂයෙන් රජයට පැවරෙන වගකීමකි. රජය විටින් විට එම වගකීම ඉටු කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට තව වසරක් හෝ දෙකක් කොරෝනා වසංගතය ලෝකය පුරාම පැවතිය හැකිය. එවිට ඉදිරි වසර හෝ දෙක ලෝකවාසී ජනතාවට කොවිඩ්-19 සමඟ ජීවත් වීමට සිදු වනු ඇත. එසේ හෙයින් රටක් තව වසරක් හෝ දෙකක් යන තෙක් වසා තැබිය නොහැකිය. රටේ ආර්ථිකය නිසියාකාරව පවත්වාගෙන යා යුතුය. කළ යුතු නිවැරදිම දෙය වන්නේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රටේ ආර්ථිකයද ඉදිරියට ගෙන යෑමය. රටක් ලෙස කළ හැකි වෙනත් විකල්ප නොමැත. පවතින තත්ත්වය අනුව මෙම වසංගතය සතියක් හෝ දෙකක් පවතීයැයි පිළිගත නොහැකිය. වසංගතය දීර්ඝ කාලයක් පැවතෙන බැවින් ‍ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙම වසංගතයට අනුගත වී ජීවත් වීමට පුරුදු විය යුතු බවය. මේ සඳහා එන්නතක් සොයා ගන්නා විට 2021 වසරේ මැද භාගය පමණ විය හැකි බව විශ්වාස කෙරේ. එයද ස්ථිරව කිව නොහැකිය. එසේ හෙයින් කළ යුතු එකම කර්තව්‍යය වන්නේ කොවිඩ්-19 පාලනය කර ගැනීමය. එම වගකිම ඇත්තේ සමස්ත මහජනතාව මතය.

සවයං පාලනයෙන් තමන් සෞඛ්‍ය ආරක්ෂිත වීම මෙහිදී ඉතා වැදගත්ය. එසේ නොමැති වූ විට සිදු වන්නේ මෙහි ව්‍යාප්තිය වැඩි වීමය. ජන ඝනත්වය අනුව මෙහි ව්‍යාප්තිය වැඩි විය හැකි බව දැන් පැහැදිලිය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇත්තේ මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ජන ඝනත්වය වැඩි වීමය. මිය යන පුද්ගල සංඛ්‍යාව දෙස බැලුවද අගනුවර කේන්ද්‍ර කර ගත් පිරිසක් මිය යන බව පෙනී යයි. අගනුවර ස්ථාපිත නිවාසවල ඉඩකඩ අඩුය. එහෙත් ඒ තුළ සි‍ටින පුද්ගල සංඛ්‍යාව වැඩිය. මේ නිසා මෙම රෝගය පැතිරීමේ ඉඩ ප්‍රස්ථාවද වැඩිය. ඒ තුළ තෙරපී සිටින ජනගහනය වැඩිය. මේ නිසා මෙම පිරිසට හුදෙකලා වී සිටීම සහ නිවෙස් තුළ නිරෝධායනය වී සිටීම ඉතා අමාරු කටයුත්තකි. ඇතැම් සංස්කෘතීන් තුළ ජීවත් වෙන පිරිස් මෙම නීති රීති එතරම් සැලකිල්ලට ගන්නා බවක් ද පෙනෙන්නට ද නැත. වයිරසයක් යැයි පැවසුවද එය එතරම් ගණන් ගත යුතු නැතැයි සිතා ඔවුන් පරිස්සම් නොවීම තුළ දිනපතා මිය යන සංඛ්‍යාව වැඩි වී තිබේ.

වැඩිහිටි පුද්ගලයන් මෙන්ම ශාරීරික වශයෙන් ප්‍රතිශක්තිය හීන පුද්ගලයන් මෙම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩිය. මිනිසුන් විසින්ම පාලනය කර ගැනීමෙන් පමණක් මෙම වසංගත තත්ත්වය මඟහරවා ගැනීමට හැකි වේ. රජය කරනු ලබන්නේ එය පාලනය කර ගැනීමට සහයෝගය දැක්වීමක් පමණි. ජනතාව රජයකින් බලාපොරොත්තු විය යුත්තේද එයයි. එසේ නොමැතිව රටක් වසා දැමීම කළ නොහැක්කකි. එසේ කළ නොහැක්කේ කෙතරම් කාලයක් රට වසා දමා තබන්නේ දැයි නිශ්චිතව කිව නොහැකි බැවිනි.

ඇතැම් පිරිස් රට වසා දැමීමට කැමති වන්නේ රජයෙන් ආධාර ලබා ගැනීමේ අරමුණිනි. එහෙත් එය දීර්ඝ කාලීනව කළ හැක්කක් නොවේ. සතියක් හෝ දෙකක් රට වසා දැමිය හැකි වුවත් ඉන්පසු කළ යුත්තේ කුමක්දැයි කල්පනා කර බැලිය යුතුය. රට නොවසා වැඩ කරමු යැයි අතිගරු ජනාධිපතිතුමාගේ දර්ශනය නිවැරදිය. අනෙක් රටවල මෙම වසංගතය පාලනය කිරීමට ගන්නා ක්‍රියා මාර්ගම ගැනීම මිස වෙන යමක් කිරීමට ජනාධිපතිත සහ රජයට නොහැකිය.

අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල නිරෝධායනය වැඩපිළිවෙළ අනුගමනය නොකොට රට වැසියාට ඕනෑ තරම් නිදහස ලබා දුන් බවක් පසුගිය කාලය තුළ දකින්නට ලැබිණි. එසේ කිරීමෙන් සිදු වූයේ කොරෝනා වසංගතය බෝවීමේ ප්‍රතිශතයත් මිය යන ප්‍රතිශතයත් වැඩි වීමය. මේ වන විට යුරෝපා රටවල් තීරණය කර ඇත්තේ මෙම වසංගතය නැවැත්වීමට නම් රට ලොක් ඩවුන් කළ යුතු බවයි. ශ්‍රී ලංකාව ප්‍රාදේශීය වශයෙන් ‘ලොක් ඩවුන්’ ක්‍රියා පටිපාටිය මුල සිටම අනුගමනය කළ රටකි. කෙනකු හෝ පොකුරක් කොවිඩ්-19 ගොදුරු බවට දැන ගත් වහාම එම පුද්ගලයන් ජීවත් වන ප්‍රදේශය ලොක් ඩවුන් කිරීම මේ වන විටත් ශ්‍රී ලංකාව කර ගෙන ක්‍රියාවලියකි. කොළඹ සහ ගම්පහ ඇතැම් ප්‍රදේශ තවමත් හුදකලා ප්‍රදේශ බවට පත් කර තිබේ.

මෙම ක්‍රමය අනුවම යමින් ආර්ථිකයද ක්‍රියාත්මක විය යුතුය. එය ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් පාලනයකට යටත්වය. වයිරසය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ අවම කර ගනිමින් ආර්ථිකය පවත්වා ගැනීම කළ යුතු වේ. සෑම ආයතනයකම, සෑම කර්මාන්ත ශාලාවකම, සෑම නිෂ්පාදනාගාරයකම, බැංකු ආදී සෑම ආයතනයකම අඩු සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපදිමින් වැඩ කළ යුතුය. බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයන් නිවෙස්වලම රාජකාරිය කළ හැකි අය නිවෙස් තුළම තබා සේවය ලබා ගැනීමත් ආදී වශයෙන් මෙම කර්තව්‍යය කර ගෙන යෑමට සිදුව තිබේ.

මේ අයුරින් ක්‍රියා කිරීමේදී අනතුරුදායක බව අවම වේ. එසේ නොකිරීමෙන් අනාගතයේදී බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදු වේ. සියල්ල වසා දමා නිවෙස් තුළ සිටීමෙන් රටේ ශ්‍රමිකයන්ට ජීවත් වීම සඳහා මුදල් උපයන්නේ කෙසේදැයි යන ගැටලුව මතු වේ. එමෙන්ම රට තුළ නිපදවන නිෂ්පාදනයන්ට සිදු වන දීර්ඝ කාලීන බලපෑම්වලට වගකිව යුත්තේ කෙසේදැයි යන ගැටලුවද මතු වේ. ඇඟලුම් කර්මාන්ත ශාලා ගත් විටද ඒවා වසා දැමීම තුළින් අනෙක් රටවල් මෙරටේ කරන ආයෝජන නැවැත්වීමටද සිදු වනු ඇත. මේ නිසා දීර්ඝ කාලීන ගැටලු රාශියකට මුහුණ දීමට රජයට සිදු වනු ඇත. මෙසේ හෙයින් අවදානම අඩු කර ගැනීමෙන් රට ඉදිරියට ගෙන යෑම කළ යුතු සුදුසුම ක්‍රියා පිළිවෙල අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.

සෞභාග්‍යයේ දැක්ම වැනි ආර්ථික ප්‍රතිපත්තියට අනුව මෙරටේ නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නවතා ඇත. චීනය, අමෙරිකාව වැනි රටවලින් භාණ්ඩ ආනයනය කිරීම තාවකාලික වශයෙන් නැවතී තිබුණද එය අනිවාර්යයෙන් ඉදිරියට ගෙන යා යුතුය. එසේ නොකළ හොත් අප රටේ නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය කරන්නා වූ අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත.

ලබන 23 වන දින රජයේ පාසල් විවෘත කිරීමට සූදානමක් තිබුණද එලෙස පාසල් විවෘත කරනු ලබන්නේ කිසියම් වැඩපිළිවෙළකට අනුවය. එය රටෙහි අධ්‍යාපන ක්‍රමවේදයට අවනතව පවත්වා ගත යුතුය. වයිරසය ව්‍යාප්ත නොවන ආකාරයට පාසල් තුළ වැඩසටහනක් සකස් කිරීම ඉතා වැදගත් අංගයකි. වයිරසය වසරක් හෝ දෙකක් පවතින තත්ත්වයක තිබේ නම් එතරම් කාලයක් දරුවන් නිවෙස් තුළ තබා ගෙන සිටීමද කළ නොහැකිය. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව තාක්ෂණ ක්‍රම (on line) ඔස්සේ දේශන පවත්වා විශ්වවිද්‍යාල වසා දමා තිබේ. එහෙත් පාසල්වලට මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය සාර්ථක නොවේ. අධ්‍යාපන අමාත්‍යංශ විසින් රූපවාහිනිය වැනි විද්යුත් මාධ්‍ය ඔස්සේ නව වැඩසටහන් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් පවතියි. මෙවැනි වයිරස් රට තුළ ව්‍යාප්ත වන විට ඒවාට විකල්පයන්ද අප විසින්ම සකසා ගත යුතු වේ. එසේ නොමැතිව රට එක තැන නතර කර තැබිය නොහැකිය.

ජනතාව දැනුවත් කිරීම තුළ සහ ජනතාව ‍මේ සඳහා හුරු කිරීම තුළ මෙම කාර්යය රටකට කර ගෙන යා හැකිය. වෙළෙඳ‍පොළවල සහ ආර්ථික මධ්‍යස්ථාන තුළ වෙළෙඳුන් මෙන්ම ජනතාවද මේ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන අයුරු තවමත් දක්නට ලැබීම රටේ අවාසනාවකි. මාළු වෙළෙඳපොළ තුළ සිදු වූයේද මෙම අනාරක්ෂිත ලෙස හැසිරීමෙන් අත් වූ ප්‍රතිවිපාකයන්ය.

එමෙන්ම ඇතැම් ආයතන තුළද මේ පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීම නිසා ආයතන තුළද මෙම වසංගතය ව්‍යාප්ත වීම දක්නට ලැබුණි. මිනුවන්ගොඩ සිද්ධිය මීට උදාහරණයකි.

ආයතනයක පරිපාලනය මේ පිළිබඳව වගකිව යුතුය. මෙය වළක්වා ගැනීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමකි.

දෙවැනි රැල්ලෙන් පසු තුන් වැනි රැල්ලක් පැමිණිය හැකිය යන්න සිහියේ තබා ගෙන එයට සූදානම් වීම සෑම පුද්ගලයකු විසින්ම කළ යුතු කාර්ය භාරයකි. එලෙස සූදානම් නොවීම සහ නොසැලකිල්ල මෙතරම් ව්‍යසනයකට මූලාරම්භයයි. මුව ආවරණ පැලඳීම නිසියාකාරව නොකිරීම, තමන්ගේ කාර්යයන් ඉක්මනින් කර ගැනීමට ඇති හදිසිය හේතුවෙන් සමාජ දුරස්ථභාවය පවත්වා නොගනී. දෑත් සේදීමද අමතක කර දමන අවස්ථාද දක්නට ලැබේ. සමාජයේ සෑම පුද්ගලයකුම මේ පිළිබඳව නිසියාකාරව දැනුවත් කරන්නේ නම් මෙම ගැටලු සියල්ලකටම පිළිතුරු ඉතා ඉක්මනින් ලැබෙනු ඇත. රෝගය බෝවන සංඛ්‍යාව වැඩි වීමෙන් රෝහල්වල පහසුකම්ද අඩු වීමෙන් ව්‍යසනකාරී තත්ත්වය දිනෙන් දින ඉහළ යනු ඇත. එසේ හෙයින් තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සකසා ගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට රජයට සහයෝගය දැක්වීම සියලු ජනතාවගේ යුතුකම විය යුතුය.

චතුමී පිටි­පන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here