සහල් වෙළෙඳපොළේ හැංගිමුත්තම

0
23

ශ්‍රී ලාංකිකයින්ගේ පාරිභෝජන රටාව අනුව සහල් තරම් වැදගත් වන අන් පාරිහෝගික භාණ්ඩයක් නොමැති තරම්ය. අපේ ප්‍රධාන ආහාරය බත් නිසා වෙළෙඳපොළ තුළ සුලබ සහ අඩු මිලට ගත හැකි අත්‍යවශ්‍යම දෙය සහල් විය යුතු බව පාරිභෝගිකයන් සිතන්නේ ද මේ නිසාය. ඒ සමඟම ලංකාවේ ප්‍රධානතම ජීවනෝපාය සහ වැඩිම දේශීය නිෂ්පාදනයක් පවතින්නේ ද වී සහ සහල් නිසා මේ සුලබ බව සහ සහන මිල පාරිභෝගිකයෝ නිතැතින්ම අපේක්ෂා කරති. එහෙත් මේ සියල්ල පසෙකලා දේශීය වෙළෙඳපොළ තුළ නිරන්තරයෙන් මතු වන සහල් අර්බුදය විසඳා ගත නොහැකි උභතෝකෝටික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

වසරේ අවසාන කාර්තුව වන විට සහල් හිඟයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් රටේ එකදු සහල් ඇටයක්වත් නොමැති තරමේ සහල් හිඟයක් මතු වීම නිසා එක් අතෙකින් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා දිය යුතු රජයත්, අනෙක් පසින් පාරිභෝගිකයාත් ප්‍රශ්න රැසකට මුහුණ පාති. මේ නිසා විටින් විට මතු වන මේ අර්බුදයේ සැබෑ ස්වරූපය හඳුනාගෙන ඊට විධිමත් සහ තිරසාර විසඳුමක් සෙවීමේ අවශ්‍යතාව දැන් මතු වී තිබේ.

 

වාර්තාගත කඩඉමක්

2019- 20 මාස් කන්නයේ දේශීය වී අස්වැන්න වාර්තාගත කඩඉම පසු කරන ලදි. එමෙන්ම 2018-19 වසරේ ද රට තුළ වී නිෂ්පාදනය අපේක්ෂිත ඉලක්කයන් අබිබවා ගොස් වාර්තාගත අස්වැන්නක් ලැබිණි. 2019-20 වසරේ වාර්ෂික වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 4.3-4.4 පමණ විය. ඉන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.8කි.

වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් විසි හතර ලක්ෂයක් එනම් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ වන අතර මාසයකට නම් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් අවශ්‍ය වෙයි. ඒ අනුව බලන විට පැහැදිලි වන්නේ දේශීය සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් ලැබී ඇති බවයි. එමෙන්ම වී නිෂ්පාදනයට දායක වන වගා බිම් ප්‍රමාණය ද පසුගිය කාල සීමාව තුළ ඉහළ ගොස් තිබේ. යල කන්නයේ වී නිෂ්පාදනය සඳහා කුඹුරු බිම් හෙක්ටයාර් තුන් ලක්ෂ දසදහසක් අස්වද්දා ඇති අතර මාස් කන්නයේ එය හෙක්ටයාර් පන් ලක්ෂ හැටදහසකි. එනම් මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් අට ලක්ෂ හැත්තෑදහසකි. මෙය ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 33කි. ඉකුත් යල කන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රවර්ධන වැඩසටහන යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමත් සමඟ යල කන්නයේ අපේක්ෂා කළ අස්වැන්නට ළඟා වීමට අපට හැකියාව ලැබිණි. ඒ අනුව ඉහත සංඛ්‍යා ලේඛන සියල්ල සලකා බලන විට රට සහලින් සවයං පෝෂිත කිරීමේ ඉලක්කය ජය ගෙන ඇති බව ඉඳුරාම සනාථ වෙයි.

 

ආහාර නිෂ්පාදන යන්ත්‍රණය

එහෙත් මේ තත්ත්වය මෙසේ තිබියදී වෙළෙඳපොළේ සහල් හිඟය නමැති ප්‍රශ්නයේ සැබෑ මුහුණුවර හඳුනා ගැනීමට රජයට දැන් සිදුව තිබේ. රටක ආහාර නිෂ්පාදන යන්ත්‍රණය රජය විසින්ම හැසිර විය යුතු බවට තර්කයක් නොමැත. මේ නිසා ගොවියා රටට නිපදවා දුන් වී අස්වැන්න රජයේ ගබඩාවල හෝ පෞද්ගලික අංශයේ ගබඩා තුළ හෝ තිබිය යුතුය. සහල් හිඟය නමැති ප්‍රශ්නයේ දී රජයට තමන් සතුව තිබෙන වී සංචිතය ගැන පැහැදිලි අදහසක් සහ එය රටේ සහල් අවශ්‍යතාවට ගැළපෙන ලෙස යෙදවීම පිළිබඳව අවබෝධයක් ගත හැකි මුත් දේශීය ගොවිබිම්වලින් ලැබුණු අස්වැන්නෙන් වැඩිම ප්‍රමාණයක් පෞද්ගලික අංශය සතු නිසා එම සංචිතයේ ප්‍රමාණය නිවැරැදිව තක්සේරු කර ගැනීමේ ගැටලුවක් පැහැදිලිව ම පැන නැඟී තිබේ. මෙය කලින් කලට පැන නඟින සහල් අර්බුදයේ සැබෑ තතු හෙළි කර ගැනිමට බාධාවක් බවට පත්ව ඇති බව දැන් හඳුනාගෙන ඇත.

ඉකුත් යල කන්නයේ රජය වී ගොවියාගේ ආදායම වැඩිකරලීම සහ ගොවීන් වී වගාවට දිරි ගැන්වීම සඳහා වී කිලෝවක සහතික මිල රුපියල් 50.00ක් ලෙස මිල නියම කිරීමත් සමඟ ගොවියාට ඉන් උපරිම සාධාරණයක් ඉටු විය. ඒ මොහොතේ පෞද්ගලික අංශය රජය සමඟ තරගකාරීව වී මිල දී ගත්තේ තවත් රුපියල් 5.00ක් 6.00ක් වී කිලෝවක මිල වැඩි කරමින් ගොවියා තමන් වෙතට ඇද ගනිමිනි. මෙහිදි වී කිලෝවක මිල වැඩි කළ ද පෞද්ගලික අංශයේ මිලදී ගැනීමේ යන්ත්‍රණය බිඳ නොවැටුණු අතර වී අලෙවි මණ්ඩලයේ ඉලක්කය ද හරස් කරමින් පෞද්ගලික වෙළෙන්ඳෝ සිය ගබඩා තර කර ගත්හ. ඒ කෙසේ වෙතත් එසේ වී කිලෝවක් රුපියල් 50.00ට මිලදී ගත්ත ද සියලු වියදම් පියවා සහල් කිලෝවක් රුපියල් 85.00 ට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පෞද්ගලික අංශයට බැරිකමක් නැත. එහෙත් එම මිල ප්‍රතික්ෂේප කරමින් පෞද්ගලික අංශය ඉහළ මිලක් දැමීමට උත්සාහ දැරීම සහල් වෙළෙඳපොළ සිය අභිමතය අනුව හැසිර වීමට දරන වෑයමක් බව ඉඳුරාම පැහැදිලිය. මෙය තවදුරටත් සරලව අර්ථ දක්වන්නේ නම් සහල් හිඟයක් මවා පාමින් කරන අභිනය රංගනයකි.

 

අපිට ගැළපෙන ක්‍රමවේදයක්

පෞද්ගලික අංශය විසින් වෙළෙඳපොළ මිල හැසිරවීමට උත්සාහ දැරීම අපේ රටේ පමණක් සිදු වන්නක් නොවේ. මෙය වෙනත් රටවල ද සුලබව දක්නට ලැබෙන්නකි. මෙහිදි එම රටවල් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත විටින් විට මතු වන සහල් අර්බුදයට විසඳුම් සෙවීමේදී අපිට ද අධ්‍යයනය කරනු වටී. අපිට ගැලපෙන ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමට එය ඉහවල් වනු ඇතැයි අපි යෝජනා කරමු. එනම් සෑම වී මෝල් හිමියකුම අවම වශයෙන් සති දෙකකට වරක් වත් තමන් සතු වී හෝ සහල් සංචිත පිළිබඳ නිවැරැදි දත්ත රජයට දිය යුතු බවයි. එහෙත් විදෙස් රටවල මෙම සද්භාවයෙන් සහ අවංකව ක්‍රියාත්මක වුවද අපේ රටේ මෙය ක්‍රියාත්මක කළ හැකි දැයි යන ප්‍රශ්නාර්ථය අප හමුවේ පවති.

කෙසේ වෙතත් දේශීය සහල් වෙළෙඳපොළ තුළ පවතින්නේ ඒකාධිකාරයකට වඩා කිහිපදෙනෙක් සහල් වෙළෙඳපොළ සිය අණසකට ගැනීමට දරන උත්සාහයක් ලෙස අර්ථ දැක්වීම වඩාත් නිවැරදිය. මීට මාස කිහිපයකට පෙර රට පුරා නාඩු හිඟයක් පැවති අතර කීරි සම්බා සුලබව දක්නට ලැබිණි. දැන් නාඩු හිඟයක් පවතින අතර කීරි සම්බා සුලබව පවති. පෞද්ගලික සහල් මෝල් හිමියන් කරන මේ මිථ්‍යාව ජය ගැනීමට නම් සුදුසු ශක්තිමත් යාන්ත්‍රණයක් රජය සතු විය යුතුය.

වෙළෙඳපොළේ සහල් හිඟයක් මතු වෙද්දි රජය මඟින් සහල් සඳහා පාලන මිලක් දී එය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලදි. වෙළෙඳ අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා ඒ සඳහා ගත් ප්‍රයත්නය දෙස ඇතැම් පාර්ශ්ව උපහාසයෙන් බලන ලද මුත් මිල ක්‍රමය පාලනයට ගත් කාලෝචිත උපක්‍රමයක් ලෙස අපි මෙය දකිමු. සහල් සඳහා ස්ථාවර මිලක් දුන් විට හිතුමතේට සහල් මිල වැඩි කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරෙයි. විශේෂයෙන් මහා පරිමාණයේ සහල් මෝල් හිමියන් සමග ගනු දෙනු කරන සුපිරි වෙළෙඳසල් ජාලයට පාලන මිලට එහා ගිය මිලක් නියම කිරීමට අවකාශය ලැබෙන්නේ ද නැත. සෙසු වෙළෙන්දන්ට ද මේ ක්‍රමය අදාළ මුත් ගමේ කුඩා වෙළෙඳසල් පාලන මිලට වඩා රුපියලක් දෙකක් වැඩි කර ගන්නේ ප්‍රමාණාත්මකව ඔවුන් ළඟ තිබෙන සහල් ප්‍රමාණය අඩු වීමත් බොහෝ විට ණයට සහල් ගෙන විකුණන ක්‍රමයක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරන නිසාත්ය.

 

ආහාර සුරක්ෂිතතා ජාලය

වෙ‍ළෙඳපොළේ සහල් මිල ඉහළ යෑමත් සමඟ එය දැඩිව දැනෙන්නේ නාගරික අඩු ආදායම්ලාභි පවුල්වලටය. මේ නිසා නාගරික ජනතාවට තම ආදායම් තත්ත්වයත් සමඟ සහල් ද , තිරිඟු පිටි ද යන්න තෝරා ගැනීමට සිදු වෙයි. එහෙත් රජයට ජනතාවගේ සහල් පරිභෝජනය අවම කරවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති නිසා අඩු මිලට සහල් මිලදී ගැනීමට අවකාශ සලසා දීමට රජය වගකීමෙන් කටුයුතු කරමින් සිටී. සහල් මිල ඉහළ යෑම ගමේ දුප්පත් පවුල්වලට නොදැනෙන්නේ යැයි කිව නොහැකි මුත් ගමේ පවතින ආහාර සුරක්ෂිතතා ජාලයත් සමඟ යම් සහනයක් ඔවුන්ට ඇත.

එමෙන්ම පෞද්ගලික අංශය දිගින් දිගටම සහල් වෙළෙඳපොළ සිය අණසකට ගැනීමට ප්‍රයත්න දරන්නේ නම් රජයට කළ හැකි තවත් ආරක්ෂිත මෙන්ම බලාධිකාරය බිඳ දැමීමට ගත හැකි තවත් කාර්යයක් අපි යෝජනා කරමු. එනම් සහල් මෝල් හිමියන් සෑම කන්නයකම රාජ්‍ය බැංකුවලින් දෙන සහනදායී පොලියට ණය ගැනීම සිදු කරනු ලබයි. ඔවුන් එම මුදල් ලබා ගන්නේ වී මිලදී ගැනීම සඳහායි. එසේ නම් රාජ්‍ය බැංකුවලින් ණය ගෙන ඇත්තේ කවුරුන් ද?, කොපමණ මුදලක් ගෙන ඇත් ද? , එම මුදල්වලට කොපමණ වී ප්‍රමාණයක් ගොවියාගෙන් මිලට ගෙන තිබේ ද? සහ ඔවුන් එම ණය මුදලින් කොපමණ ප්‍රමාණයක් පියවා ඇත් ද? යන්න සොයා බැලිය හැකිය. මේ තුළින් රජයේ සහන ලබා ගෙන රජය සහ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන අන්දමේ සහල් සඟවාලිමේ මාෆියාවක නියැළෙන්නේ කවුද යන්න පැහැදිලිවම හඳුනා ගැනීමට හැකියාව ලැබෙයි.

උක්ත යෝජනා සියල්ලම සහල් මිල පාලනය කිරීමේ යන්ත්‍රණයට අයත් විය යුතු අතර පෞද්ගලික සහල් මෝල් හිමියන් විගණනය කිරීමේ කාර්යය පාරිභෝගික කටයුතු අධිකාරියට කළ නොහැකි නම් වෙනත් කමිටුවක් පත් කර නිසි බලතල දීමට කටයුතු කළ හැකිය. මෙය ඉතා සාධනීය ප්‍රවේශයක් කර ගත හැකි අතර මෙවර මාස් කන්නයේ නොව 2021 යල කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමට පුළුවන.

 

ආරක්ෂිත සහල් සංචිතයක්

පෞද්ගලික මෝල් හිමියන් සහල් වෙළෙඳපොළ නතු කර ගැනීමට දරන ප්‍රයත්නය අවස්ථානෝචිතව බිඳලීමට හැකි වඩාත් ආරක්ෂිත ක්‍රමවේදය ආරක්ෂිත සහල් සංචිතයක් රජය විසින් පවත්වා ගෙන යෑමයි. එහෙත් මෙවර රජයේ වී ගබඩාවලට යල කන්නයේ වී අස්වනුවලින් ප්‍රමාණවත් තරම් වී ප්‍රමාණයක් නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. රජය රුපියල් 50.00ක සහතික මිලක් වී කිලෝවකට නියම කිරීමෙන් ගොවියාට සෙතක් සැලසුණ ද රජය ගොවියාගේ වී ටික තමන් සතු කර ගැනීමට උත්සාහ දැරුවේ නැත. සියලුම වී රජය ගත යුතු යැයි නියමයක් නොමැති වුවද ස්ථාවර වී සංචිතයක් අප සතුව තිබිය යුතුය. ඒ සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ කෙසේ වෙතත් මේ වන විට පැන නැඟී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව පවතින ගබඩාවල වී සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත. එහෙත් ඒ ප්‍රමාණය දින දෙක තුනකට පමණක් සෑහෙනු ඇත. මේ නිසා ඉදිරියේදී වී අලෙවි මණ්ඩලය වඩාත් සක්‍රියව වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ විය යුතුව ඇත.

සහල් ආනයනය පසු ගිය වසරවල දිගින් දිගටම සිදු වුව ද වත්මන් රජය සහල් ආනයනය කිරීමට කිසි ලෙසකින් ඉක්මන් වන්නේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරන්තරයෙන් අවධාරණය කරන්නේ වාර්තාගත වී අස්වැන්නක් ලැබුණේ නම් සහල් ගෙන්වන්නේ කුමට ද යන්නය. මේ තර්කය සියයට සියක්ම සාධාරණය. මෙරට ගොවියා දහදිය මහන්සියෙන් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට සරුසාර අස්වැන්නක් තම ගොවි බිම්වලින් උත්පාදනය කර දෙන්නේ නම් පිටරටට අත පෙවිමට කිසිදු වුවමනාවක් නැත.

කෙසේ වෙතත් වී සහ සහල් නිෂ්පාදනය පිළිබඳ සුත්‍රය සහ සංඛ්‍යා ලේඛනවල කිසියම් ගැටලුවක් තිබිය හැකි බවට සහල් අර්බුදයක් පැන නඟින සෑම අවස්ථාවකදීම මත පළ වෙයි. එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙන වෙනම, ස්වාධීනව රැස්කර ගන්නා සංඛ්‍යා ලේඛනවල කිසිදු පරස්පරතාවක් මේ වන තෙක් පැන නැඟී නැත. ඒ කෙසේ වෙතත් ඉදිරියේ දී මේ දත්ත තවදුරටත් නිවැරදි කර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්ෂේත්‍ර දත්ත වඩාත් නිවැරැදිවම ගැනිමට ක්‍රියාවලියක් ද සකසා ඇත.

2005 වසරේ මහින්ද චින්තන ජාතික වැඩපිළිවෙළ යටතේ වී ගොවියා දිරි ගැන්වීමට දුන් පොහොර සහනාධාරය නිසා ගොවින්ට ලැබී ඇති සහනය ඉතා ඉහළය. මේ නිසා රටට ලැබෙන වී අස්වැන්න ඉහළ යමින් රටේ ජනතාව කුසගින්නෙන් පෙළෙන්නට ඇති සියලු හැඩැස් වසා රට සහලින් ස්වයංපෝෂිත වි ඇත. ඒ සඳහා ඉදිරියේදී සහල් වෙළෙඳපොළ වඩාත් නම්‍යශීලි ලෙස පාරිභෝගික අවශ්‍යතාව සපුරාලන පරිද්දෙන් කළමනාකරණය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකසා ගැනීමට විවිධ යෝජනා ද ඉදිරිපත් වී ඇත. රජයත් ගොවියාත් මේ භාරදුර කර්තව්‍යයේ නියැළී සිටින්නේ නම් සහල් නිෂ්පාදනයේ යෙදෙන්නන්ට හිතුවක්කාරි ලෙස අසාධාරණ ලෙස ලාභ ලැබීමේ තනි රංගනයක නියැළෙන්නට හැකියාවක් නැත. එවැනි කූට ක්‍රියාවක අතළොස්සක් වූ මහා පරිමාණ සහල් මෝල් හිමියන් නිරත වීමට වෑයම් කරන්නේ නම් එය පරාජය කිරීමට රජය අසමත් නොවනු ඇත.

සකුන්තලා ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here