අයවැය මුහුණ දෙන අභියෝග

0
6
Author(s): 
ජයසිරි මුණසිංහ

ආණ්ඩුවට ඉදිරි වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් යෝජනා ගණනාවක් තිබේ. මේ වියදම් යෝජනා සියල්ල රටේ ජනතාවගේ සංවර්ධනය, සුබසාධනය හා සෞභාග්‍යය උදා කරලීම සඳහාම විය හැකිය. එනමුත් මේ වියදම් යෝජනා සියල්ල ක්‍රියත්මක කිිරීමට ආණ්ඩුවට මුදල් අවශ්‍යය. එනම් ආදායම් සොයා ගත යුතුය. ආණ්ඩුවට ආදායම් ලැබෙනුයේ බදු හා බදු ගෙවන ආදායම් මාර්ග තුළිනි.

අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් මූලික කරුණු දෙකක් බලාපොරොත්තු වේ. එකක් නම් ඉදිරි වර්ෂය සඳහා රජයේ ආදායම් හා වියදම් පියවා ගැනීමේ පුරෝකථනය කිරීමය. දෙවැන්න එකී ආදායම් වියදම් සපුරා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය පෙන්වා දීමය.

මෙයට ආණ්ඩුවක් විසින් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් දන්වනු ලබන ප්‍රතිපත්ති, බලයට පැමිණීමට ප්‍රථම රට හමුවේ තැබූ එක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හා බැඳී පවතී. එනම් ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වීමට ප්‍රථම රට, ජනතාව හමුවේ තැබූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා සම්බන්ධ වීමය. කරුණු එසේ වුවත් පසුගිය කාලය පුරාවට අප අත්දුටු කරුණක් වනුයේ ඕනෑම ආණ්ඩුවක් දුන් මැතිවරණ ප්‍රතිපත්ති හා අයවැය ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම දක්නට නොමැතිකමය. මෙය ආයතනගත වූ සම්ප්‍රදායක් යැයි කීව ද වරදක් නැතැයි විටෙක සිතේ.

මේ ආකාරයෙන් මැතිවරණ ප්‍රතිපත්තීන් හා අයවැය ප්‍රතිපත්තීන් එකිනෙක සම්බන්ධ නොවන අවස්ථා මතු වීමට ද හේතූන් තිබේ. එනම් ඇතැම් අහඹු සිද්ධීන්වලට ආණ්ඩුවලට මුහුණ දීමට සිදු වීමය. වසර 1971 දී හට ගත් අහඹු සිද්ධියක් වූ තරුණ කැරැල්ල, 1973 දී සිදු වූ ලෝක තෙල් අර්බුදය හා ආහාර අර්බුදය, 1983 සිදු වූ අහඹු සිද්ධි හා ඒ හරහා සිවිල් යුද්ධයක් ඇති වීම, වසර 2004 දී ඇති වූ සුනාමිය වැනි අහඹු සිද්ධි හේතු කොට ගෙන මැතිවරණ ප්‍රතිපත්ති හා ජාතික අයවැය ප්‍රතිපත්ති එකිනෙකට සහසම්බන්ධ වී ඉදිරියට පැමිණීමට බාධා වූ ආකාරය අපට පෙන්වා දිය හැකිය.

ප්‍රතිපත්ති හා ඉලක්ක

එලෙසම වසර 2008 / 2009 ලෝක මූල්‍ය අර්බුදය මෙන්ම අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්ත්වය පවා ජාතික ප්‍රතිපත්ති හා ඉලක්ක එකිනෙකට සමපාත කරලීමට බාධා මතු කරමින් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එවන් වටාපිටාවක් තුළ මෙවර ආණ්ඩුව මේ වසර (2020) සඳහා වූ ජාතික අයවැය ලේඛනය පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ලබන වසර සඳහා වූ අයවැය (2021) අද (17 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ජාතික අයවැයක් ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම අප රටේ මුල් බැස ගත් සම්ප්‍රදායක් තිබේ. මෙය නිදන්ගත රෝගයක්යැයි කීව ද වරදක් නැත. මේ රෝගය කුමක්දැයි අප පහදා ගනිමු. එනම් අයවැයක් ඉදිරිපත් කරන විට රටේ ජීවත් වෙන සැවොම සහන බලාපොරොත්තු වෙති. අප රටේ විශාලතම කොටස වන පාරිභෝගිකයන්, ගොවීන්, කම්කරුවන්, කර්මාන්තශාලා හිමියන්, සේවකයන්, විවිධ ව්‍යාපාර කරන්නන්, රාජ්‍ය සේවකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වෘත්තීය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරවල හා සංවිධානවල ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිසක් මේ ආකාරයට අයවැයෙන් සහන බලාපොරොත්තු වෙති. දුගී දුප්පත් හිඟමනින් දිවි සරි කරගන්නා අය හා පාතාල සාමාජිකයෝ පමණක් අයවැයකින් සහන බලාපොරොත්තු නොවෙති. කුඩා දූ දරුවන්, වැඩිහිටි පිරිස්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, යමක් කර කියා ගත නොහැකි ආබාධිතයන් පින් පඩි ලබන්නන්, ආණ්ඩුවේ හෝ සමාජයේ හෝ සරණ බලාපොරොත්තු වන පිරිස් අයවැයෙන් සහන ඉල්ලා සිටිය ද එහි වරදක් නැත. එසේ නොමැතිව මුළු රටේම ජනතාව ආණ්ඩුවේ අයවැය තුළින් සහනම බලාපොරොත්තු වීම එතරම් යහපත් කරුණක් නොවේ.

ස්වඋත්සාහයෙන් සෞභාග්‍යය කරා යෑමට අවදානම් දරා ගනිමින් කැප වී නිර්මාණාත්මකව හා දැන උගත්කමින් ප්‍රයෝජන ලබමින් ඉදිරියට ඒමට ජාතියක් ලෙස අපි සැම ක්‍රියා කළ යුතු මොහොතක ආණ්ඩුවෙන් සහනම බලාපොරොත්තු වීම එතරම් සාධාරණ නොවේ. අප රටක්, ජාතියක් ලෙස යැපුම් මානසිකත්වයෙන් යැපුම් රෝගයෙන් පෙළේ නම් ඉදිරියක් කරා යෑම අසීරුය. හඳහන් බලමින් යාගහෝම සිදු කරමින්, බලි පූජා පවත්වමින් හක් ගෙඩි මිලට ගනිමින්, ජප කළ මන්ත්‍ර, යන්ත්‍ර සූත්‍ර පල‍ඳමින්, ජාතියක් සෞභාග්‍යය බලාපොරොත්තු වේ නම් එය ඵල රහිත එකක් වනු ඇත.

ආදායම් හා වියදම් යෝජනා

ආණ්ඩුවට ඉදිරි වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් යෝජනා ගණනාවක් තිබේ. මේ වියදම් යෝජනා සියල්ල රටේ ජනතාවගේ සංවර්ධනය, සුබ සාධනය හා සෞභාග්‍යය උදා කරලීම සඳහාම විය හැකිය. එනමුත් මේ වියදම් යෝජනා සියල්ල ක්‍රියත්මක කිිරීමට ආණ්ඩුවට මුදල් අවශ්‍යය. එනම් ආදායම් සොයා ගත යුතුය. ආණ්ඩුවට ආදායම් ලැබෙනුයේ බදු හා බදු ගෙවන ආදායම් මාර්ග තුළිනි. එමෙන්ම විවිධ රටවල් හා සංවිධාන පිරිනමන ප්‍රදානයන් මගිනි. මෙලෙස ආණ්ඩුවට ආදායම් ලැබෙන මාර්ග අතර බදු ආදායම් ඉතා විශාල මෙහෙයක් ඉටු කරයි. මෙලෙස බදු ගෙවනුයේ රටේ ජනතාවමයි. රටේ ජනතාව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් හා පරිභෝජන ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුවට බදු මුදල් ගෙවති.

එහෙත් අද දවස වන විට රටේ බහුතරයක් බදු මුදල් නොගෙවා හරිමින් සිටිති. රටේ ආදායම් මට්ටම ඉහළට ඔසවා තැබීමට ක්‍රියා නොකරති. බදු ගෙවීමට කිසිවකු කැමති නැත. බදු ගෙවීම් ද ඍජු බදු හා වක්‍ර බදු ලෙස දෙයාකාරයකින් සිදු කෙරේ. රටේ ඍජු බදු ආදායම් වැඩි වීම වෙනුවට එය ද අඩු වී ඇත. වක්‍ර බදු ආදායම් රටේ වියදම් ලේඛනය සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවේ. මෙලෙස රටේ ආදායම් වියදම් යෝජනා සපුරාලන්නට තරම් ප්‍රමාණවත් නොවේ නම්, ආණ්ඩුවට කළ හැකි හෝ කළ යුතු දේ වනුයේ ණය ගෙන කටයුතු කිරීමය. මේ ණය ගැනීම් දේශීය හා විදේශීය ණය ගැනීම් ලෙස දෙයාකාරයකින් සිදු කරයි. කෙසේ ණය ගත්ත ද එය රටේ ආර්ථිකයට බාධාවක් නොවන ලෙස පවත්වා ගැනීමට ආණ්ඩුව සමත් විය යුතු වේ.

දෙස් විදෙස් ණය

රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට ක්‍රියා කළ යුතු අතර, වියදම් තාර්කිකකරණය කිරීමට ද ආණ්ඩුව පියවර ගත යුතුව ඇත. රජයේ සේවකයන්ගේ වැටුප් බිල ගෙවීම, ගෙන ඇති දෙස් විදෙස් ණය සඳහා වාරික හා පොලිය නිසි ලෙස ආපසු ගෙවීම, රටේ ආර්ථික මහජන උපයෝගිතා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යනාදියට ආදායම් වැඩි වශයෙන් යොදා ගැනීමට ආණ්ඩුවට සිදු වී තිබේ. ඊට අමතරව වසර 13ක් නොමිලේ අධ්‍යාපනය දීම, සෞඛ්‍ය, ජාතික ආරක්ෂාව, මහජනතාවගේ සුබසාධනය ඉහළ නංවාලීමට ද ආණ්ඩුව විශාල මුදලක් වැය කරයි.

මෙලෙස ආණ්ඩුවේ වියදම් යෝජනා ඉහළ මිලක් ගෙවා ක්‍රියාවට නැංවීමටත්, ආදායම් යෝජනා එලෙස ක්‍රියාත්මක නොවී අඩු වීමත් නිසා පොදු මහත් රටවැසියාම පීඩාවට පත් වනු ඇත. එනිසා අද දවසේ අප විසින් කළ යුත්තේ හැකි තරම් ආණ්ඩුවේ ආදායම් ඉහළ ඔසවා තැබීමට දායක වීමය. එහිදී බදු ගෙවන ජනතාව නිසි ලෙස තම තමන්ගේ ගෙවීම් සිදු කළ යුතුව ඇත. එපමණක් නොව රටේ රාජ්‍ය හා පෞද්ගලික සේවාවල හෝ වෙනත් ආර්ථික ක්‍රියාකාරකමක නියුතු සියලුදෙනා තමන් ගන්නා වැටුපට සරිලන සේවාවක් ඉටු කළ යුතුය. තමන් ගන්නා වැටුපට සරිලන සේවාවක් දෙන අතර, හැකිතරම් නාස්තිය, අනවශ්‍ය වියදම් කිරීම් දුරු කළ යුතුය. ඒ අනුව රටේ ජාතික සම්පත් ගොඩගැසීමක් හා ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට ආණ්ඩුවට හැකියාව සැලැසෙනු ඇත.

ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට හා ආර්ථික ක්‍රියාකාරකම් වඩා වර්ධනය කිරීමට අතදීමක් ලෙස ආණ්ඩුව විවිධ බදු සහන පිරිනමා ඇත. මේ බදු සහනවලින් බලාපොරොත්තු වූ කාර්ය ඉටු වී තිබේදැයි ගැඹුරින් විමසා බැලිය යුතු කාලය පැමිණ තිබේ. බදු සහන තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය සඳහා භාවිතයට ගන්නා පිරිසක් ද රටේ ජීවත්වෙන බව නොරහසකි.

මෙය බරපතළ අර්බුදයක් බවට පත් වී රට ණය උගුලේ හිර කිරීමක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බැවිනි. රටේ ආදායම් වර්ධන වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක, රටේ ආදායම් ජාතික හා අන්තර්ජාතික වශයෙන් ගත් ණයවලට ගෙවිය යුතු පොලී හා වාරික මුදල අබිබවා පවතින වාතාවරණයක ඉදිරි සංවර්ධන යෝජනා අලුතින් ආරම්භ කිරීමට යෑම ආණ්ඩුව මුහුණ දෙන දැවැන්තම අභියෝගය වී ඇත.

ආණ්ඩුවේ වියදම් දෙයාකාරවේ. එකක් වනුයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් වන වර්තන වියදමින් දෙවැන්න රටේ සංවර්ධනය සඳහා වූ හුස්ම ද වියදම්ය.

රටේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10 ඉක්ම වූ අයවැය හිඟයක් වාර්තා කළ කාල වකවානුවලට අප රට මුහුණ දී තිබුණි. එමෙන්ම රටේ ණය බර දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 105, 100 මට්ටම අබිබවා තිබූ අවස්ථා දක්නට ලැබුණි.

දුර්වල ආර්ථික, සාමාජික තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරි වසර සඳහා වූ අයවැය රටට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව මෙවර පියවර ගනිමින් සිටියි. ඒ අතරම කොවිඩ් 19 ගෝලීය වසංගතය ද අපට එල්ල කර තිබෙනුයේ දැවැන්ත අභියෝගයකි. 

ආර්ථික අභියෝග

මේ දැවැන්ත ආර්ථික අභියෝග හමුවේ ජාතියක්, රටක් ලෙස නොසැලී ඉදිරියට ඒමට අප අධිෂ්ඨාන කර ගත යුතුය. එහිදී රටට විශාල ආදර්ශයක් සැපයීමට මැති ඇමැතිවරුන්ට, දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රියව නියැළී සිටින පුද්ගලයන්ට පුළුවන. එමෙන්ම නිලධාරී පැළැන්තිය ද තම සේවා මනාව ඉටු කොට ජාතියට ආදර්ශයක් දිය යුතුය.

රටේ ජනතාව වශයෙන් අප සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වෛද්‍ය හා සෞඛ්‍ය අංශ උපදෙස් හා මඟපෙන්වීම් මත කොවිඩ් 19 වසංගතයෙන් මිදීමට කටයුතු කරනවා සේ, රට මුහුණ දෙන ආර්ථික අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතුය.

ආනයන අපනයන අතර පවතින හිඟය අඩු කොට හැකි තරම් අපනයන ආදායම් වැඩි කර ගැනීමට වෙහෙස විය යුතුය. අයවැය හිඟය තනි මැද ඉලක්කමකට තල්ලු කර ගැනීමට උද්ධමනය ද ඒ හා සමාන අගයක රඳවා ගැනීමට උදව් කළ යුතුය.

එලෙස ආදර්ශවත් හා කැපවීම් කරමින් ජාතිය මුහුණ දී ඇති අභියෝගය ජය ගැන්මට වෙහෙසෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ප්‍රධාන ආණ්ඩුවට සියලු වාද භේද දුරලා සහාය හා අතදීම රටවැසි සැමගේ නායක පිරිසගේ යුතුකම වී ඇත. එය ඉටු කරනු ලබන ප්‍රමාණය අනුව රටේ අනාගත සෞභාග්‍යයේ තරම පැහැදිලි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here