කන්ද උඩරටට ගිය ලන්දේසි තෑගි-බෝග

0
8

නිවෙසකට ගොඩ වන විට නිවැසියනට කිසියම් පඬුරක් රැගෙන යෑම අපේ පුරුද්දයි. ඒ පඬුරේ නැත් නම් ත්‍යාගයේ වටිනාකම, තැනේ හැටියට හා අවශ්‍යතාවේ හැටියට ඉහළ පහළ යයි. නිතර යනෙන තැනකට නම්, බිස්කට් පැකට්ටුවකට හා කෙසෙල් ගෙඩි ඇවරියකට සීමා විය හැකිය. කලාතුරකින් යන නෑ ගමනක් හෝ හිතවතකු වෙත යන ගමනක් නම්, ගෙන යන දෑ ප්‍රමාණයෙන් මෙන්ම වටිනාකමින්ද ඉහළ යයි. අප කෙනකුගෙන් උදවුවක් පතා යන ගමනක් නම් තෑගිබෝගාදිය ඔහු සතුටු වන ආකාරයට පිරිනැමෙයි.

අපේ එදිනෙදා ජීවිතයේදී මතු නොව, වෙනත් රටකට යන රාජ්‍ය තාන්ත්‍රික චාරිකාවකදී වුවද රටේ රාජ්‍ය නායකයා වෙත ත්‍යාග රැගෙන යෑම සිදු වෙයි. අතීතයේ වුව ලංකාවට පැමිණි විදෙස් දූතයන් තෑගිබෝග රැගෙන පැමිණි බවට සාක්ෂි තිබේ. පසුකාලීනව ලක්දිවේ කොටසක් පාලනය කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංගිරිසි ජාතික දූතයෝ රජු වෙත තෑගිබෝග ගෙන ගියහ. අන්නෝන්‍ය වෙළෙඳ සම්බන්ධතා වෙනුවෙන් ගිය මෙවන් දූත චාරිකාවලදී උඩරට රජුට ත්‍යාග ගෙනයෑම පිළිබඳ වඩා වැඩි ප්‍රසිද්ධියක් ඉසිලූවෝ සටනට වඩා මිත්‍රත්වයෙන් ගිවිසුම් ඇති කරගැනීමේ කලාව ප්‍රගුණ කළ, වසරක් පාසා විශාල පිරිසක් සමඟ දූත ගමන් ගිය ලන්දේසීහුය.

ක්‍රි.ව. 1800දී ඉංගිරිසි සෙන්පති මැක්ඩොවල් සමඟ උඩරට දූත චාරිකාවකට සහභාගි වූ පෘතුගීසි හා ප්‍රංශ බස අතර පරිවර්තන කටයුතු කළ ප්‍රංශ ජාතික ‘මෙසියර් ෂොන්විල්’ (Monsieur Jonville) ලන්දේසීන් ගෙනගිය ත්‍යාග පිළිබඳ සටහන් තබන්නේ උත්ප්‍රාසාත්මක රටාවකිනි. ඔහු මෙසේ සටහන් තබයි:

“ලන්දේසීහු පුරුදු පරිදි යුරෝපීය බඩුමුට්ටු යැවූහ. විශේෂයෙන් ම සිංහයන්, ඉන්දියානු මස්ලින් රෙදි, කැඩපත්, කුඩා පිහි, ඉදිකටු පැකට්ටු, අල්පෙනෙත්ති පෙට්ටි, කැස්බෑ ලෙලි පනා, ගිනිගන්නා සුලු ද්‍රව්‍ය පෙට්ටි, ළමා සෙල්ලම් බඩු ඒ අතර විය. ඒවා ඔතන ලද්දේ රෙදි හා පිදුරු යොදා කුඩා භාණ්ඩය විශාල පෙට්ටියක් වන සේය. මෙසේ අසුරන ලද පෙට්ටි විශාල ප්‍රමාණයක් බවට පත් කර තිබිණි. පාර්සල් 5 ක් හෝ 60ක් වැනි තෑගි පේළියක් ඕලන්ද පාලනය විසින් උඩරටට යවනු ලබන්නේ සිය ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ හැඟීමක් රජුගේ සිතට කාවද්දන්නය. පාර්සල් සහ ඒවා ඔසවාගෙන යන උණ ලී සුදු රෙද්දෙන් ආවරණය කෙරිණි. චාරිකාව අතර දෙතුන් වතාවක්ම සුදු ලිනන් රෙදි මාරු කෙරිණි.”

‘යොහාන් වුල්ෆ්ගැන්ග් හෙයිඩ්ට්’ (Johann Wolfgang Heydt) ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගමේ සේවය කළ ජර්මන් ජාතිකයෙකි. ‘දනියල් ඇග්‍රීන්’ (Daniel Aggreen) තානාපතිවරයා යටතේ ක්‍රි.ව. 1736දී පැරණි රජමාවත ඔස්සේ කන්ද උඩරට යන ඔහු චාරිකාව අරබයා අපූරු සටහන් තැබූවෙකි. චාරිකාවේදී රජු උදෙසා ගෙනගිය අපූරු ත්‍යාග සම්භාරය ඔහු මෙසේ විස්තර කරයි:

“ප්‍රධාන කුදිරකාරයා අලංකාර රිදී පැහැති සන්නාහයෙන් සරසන ලද, රිදී පැහැ අශ්ව ලාඩම් යෙදූ, රජු වෙනුවෙන් ගෙන යන තිදෙනකුට වැඩි අශ්වයන් සමඟ සිටියේය. සේලරුවා සිටියේ මේ දැන් පර්සියාවෙන් ගෙන්වන ලද, අද්විතීය හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුතු, විශාල ඉංගිරිසි ගෘහාශ්‍රිත බල්ලන් වැනි කළු හොම්බෙන් හා කහ පැහැ ලොම් සහිත සමකින් යුතු විශාල බල්ලන් දෙදෙනකු පරිස්සම් කරමිනි. රිදියෙන් කැටයම් කරන ලද මහඟු කරපටි හා දම්වැල්වලින් යුතු උන්ගෙන් එකකු පළමු රාත්‍රියේදී මිය ගියේය (මේදයෙන් හා ස්ථුල බවින්වැඩි උන් අධික උෂ්ණත්වයට මුහුණදීම හා තෙහෙට්ටුවට පත්වීම මරණයට හේතු වන්නට ඇත). අපි රජුට අයත් භූමියේ පළමු විවේකී නවාතැනට පැමිණි විගස, රාජසභාවට අයත් නිලධාරීන් මගින් රජුගෙන් ලත් අනුමැතිය යටතේ රජමැඳුරට රිදියෙන් අලංකාර කරන ලද කරපටි හා දම්වැල් සහිත දළ ලොමින් ගැවසුණු සුරතල් බල්ලන් තිදෙනෙක් (3 Shaggy Water Dogs) යැවීමු.”

ත්‍යාග පිළිබඳ හෙයිඩ්ට් මෙසේ වැඩිදුරටත් සඳහන් කරයි:

“ත්‍යාග අඩංගු පෙට්ටි, මංජුසා ආදිය කල්තබාම අසුරා, සුදු ලිනන් රෙද්දෙන් ඔතා සකසන ලදි. ඔසවාගෙන යන කද සැකසිණි. කිසිදු අඩුවක් නැතිව ඉතා අනර්ඝ රෙදිපිළි ආදිය එහි අඩංගු විය.”

ක්‍රි.ව. 1679දී ලන්දේසීන් කන්ද උඩරට බලා ගිය දූත කණ්ඩායමට ඇතුළත් වූ ජර්මන් ජාතික ‘ක්‍රිස්ටෝපර් ෂ්වයිට්සර්’ (Christopher Schweitzer) ඔහු ඇතුළත් දූත කණ්ඩායම විසින් ගෙන යන ලද ත්‍යාග පිළිබඳ මෙසේ විස්තර කරයි:

“මුළුමනින්ම විල්ලුද රෙද්දෙන් සරසන ලද කළු පැහැ පර්සියානු අශ්වයෝ දෙදෙනෙක් මලබේරියානු වහලුන් විසින් ගෙනයන ලදහ. එකිනෙකට වෙනස් කූඩුවල දමන ලද බළල්ලු සදෙනෙක් (Musk Cats – කස්තුරි බළල්ලු?) වහලුන් හයදෙනකු විසින් ගෙනයනු ලැබූහ. සුදුවතින් සැරසුණු මලබේරියන් වහල්ලු ෆැල්කන් පක්ෂීන් දහදෙනකු එකෙක් එකා බැගින් ගෙන ගියහ. පර්සියානු බැටළුවෝ දෙදෙනෙක් ද ගෙනයන ලද ත්‍යාග අතර වූහ. පර්සියානු වයින් ගැලුමකින් කාලේ බෝතල් 24ක් අඩංගු පෙට්ටියක්ද, සුදු පැහැ කදිම ලිනන් රෙද්දක ඔතන ලද රාත්තල් 200ක් පමණ බරැති සඳුන් දැව විශාල කැබැල්ලක්ද ත්‍යාග අතර විය. රජුට ගෙන යන ලද හසුන ආවරණය කළ පොලු සතරක රැඳුණු විල්ලුද වියන සිංහල වංශවතුන් සිව් දෙනකු විසින් ඔසවා ගෙන යන ලද අතර, අනාවරණය වූ හිසින් යුතු සැරයන්වරයෙක් ලිපිය සහිත රිදී තැටිය හිස තබාගෙන ගියේය. දිගින් කුන්තයෙන් අඩක් පමණ වූ විලක්කුව දල්වා තිබිණි.”

ලන්දේසීන් යටතේ සිටි ඉංගිරිසි ජාතික තානාපති ‘හෙන්ඩ්‍රික් ඩ්‍රේක්’ (ක්‍රි. ව.1663) ගෙනගිය ත්‍යාග අතර, ලෝහිත වර්ණ රෙදිමිටි, පටපිළි සහ කපුපිළි ඇතුළත් රෙදිමිටි, පෙට්ටගමක් පුරා වීදුරු සහ කැඩපත්, ස්පාඤ්ඤ වයින් පීප්ප, සියලු වර්ගවලට අයත් කුළුබඩුවලින් සාදන ලද වටිනා සුවඳවත් තෙල්, මාහැඟි අශ්වයන් තිදෙනකු ආදි ත්‍යාග තිබුණු බව සඳහන් වෙයි.

්‍රි.ව. 1732දී ස්වීඩන් ජාතික ‘යොහාන් විල්හෙල්ම් ස්නී’ දූත මෙහෙවර සඳහා කන්ද උඩරට ගියේ ය. ස්නී යටතේ යවන ලද බොරු කොණ්ඩය රජුගේ පාවිච්චියට නොගැළපෙතියි සැලකුණු බැවින් ඉල්ලීමක් ඉදිරිපත් විය. ඒ: ලිහිල්, ඉතා සුදු කෙස් සහිත, උරහිස් වැසෙන ප්‍රමාණයේ කොණ්ඩා දෙකක්ද මධ්‍යම ප්‍රමාණයේ කොණ්ඩා දෙකක්ද එවන ලෙසය. එහෙත් සුදු කොණ්ඩා ප්‍රමාණවත්ව සොයාගත නොහැකි වූ බැවින් ආණ්ඩුකාරයා ඔහුගේ පාවිච්චිය ඕලන්දයෙන් ගෙන්වාගත් කොණ්ඩයක් යවා, සෙසු කොණ්ඩා ඉක්මනින් එවන්න පොරොන්දු විය. ස්නී ගෙනගිය ඔටුවන් තිදෙනෙකු අතුරින් ගැහැනු සතා හෙට්ටිමුල්ලේදී ආහාර ප්‍රතික්ෂේප කොට තිබිණි. වැසි නතර වන තුරු එහි නැවැත්වූ ඔටු දෙන නැවත ගමනට එකතු කරගනු ලැබූයේ අට්ටාපිටියේදීය. පිරිමි සතකුට සෑදලයක් තනවා ඌ පදවාගෙන ගොස් කල්පනා කළේ ඌ මත නැඟී අණබෙර වයන්නට නම් කදිම සතකු බවයි. ස්නී ගෙනගිය ත්‍යාග අතර ‘ඔර්ලෝසියා’ නම් හෝරාව දක්වන යන්ත්‍රයක්ද විය. නුවරදී වේලාව වැරදියට ගමන් කිරීම නිසා තානාපතිවරයාට ඔර්ලෝසු අලුත්වැඩියා කරන්නකු බවට පත් වන්න සිදු විය.

ඉංගිරිසීහුද 1815දී උඩරට යටත් කරගැනීමට පෙර දූත ගමන්වල යෙදුණත්, ලන්දේසීන් තරම් විචිත්‍රවත් ත්‍යාග රැගෙන ඒ ගමන් නොගියහ. විචිත්‍රවත් තෑගිබෝග රැගෙන දූත ගමන් ගියෝ නම් ලන්දේසීහුය.

 

මහානාම දුනුමාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here