කල්ලාරු රක්ෂිතය පෞද්ගලික වියදමින් නැවත වගා කරනු – අභියාචනාධිකරණය බදියුදීන්ට නියෝග කරයි

0
5
Author(s): 
නෙල්කා මැදගෙදර

රිෂාඩ් බදියුදීන් මහතා එවකට අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කොට අනවසර ජනාවාස ඉදිකිරීමෙන් නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඇතැයි ඊයේ (16) තීන්දු කළ අභියාචනාධිකරණය ඔහුගේ පෞද්ගලික වියදමින් ඊට සමාන වපසරියකින් යුත් ප්‍රදේශයක වන වගා වැඩසටහනක් ක්‍රියාවට නංවන්නැයි නියෝග කළේය.

වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නැවත පදිංචි කිරීම් බව කියමින් එම අනවසර පදිංචි කිරීම්වලට මූලිකත්වය ගෙන කටයුතු කළ බව සාක්‍ෂි මගින් තහවුරු වී ඇති බවට අධිකරණය තීරණය කළේය.

එලෙස රුක් රෝපණයට වැයවෙන මුදල පිළිබඳ මෙම නඩු තීන්දුව ලබා දුන් දින සිට මාස දෙකක් ඇතුළත ගණනය කොට වගඋත්තරකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ට දැනුම් දෙන ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියම කෙරිණ.

එම දැනුම් දී සිදු කොට මාසයක් ඇතුළත අදාළ මුදල ගෙවිය යුතු බවට හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට නියෝග කරන බවද අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිත අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශදයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍ර ගොනු කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය ඊයේ මෙම තීන්දුව ලබා දෙන ලදී.

ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා විසින් ප්‍රකාශිත තීන්දුවේ මෙසේද සඳහන් වේ.

“ පෙත්සම්කාර ආයතනය ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවා ගත් සංවිධානයකි.විල්පත්තු රක්ෂිතය ආශ්‍රිතව පිහිටු මරිච්චකට්ටු රක්ෂිතය ආශ්‍රීතව පවුල් 1500ක් පමණ නීතිවිරෝධී පදිංචි කිරීම් වලට එරෙහිව මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.වගඋත්තරකරුවන් මෙම පෙත්සමට උත්තරබඳිමින් කියා සිටින්නේ උගත් පාඩම් හා ප්‍රතිසංහිඳියා ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයන් වලින් අනතුරුව රජය අවතැන් වුවන් පදිංචි කිරීමට පියවර ගත් බවත් , මෙම ක්‍රියාව මෙරට සහ ජාත්‍යන්තර නීතියට අනුකූල බවත්ය.කෙසේ නමුත් අධිකරණයට ඉදිරිපත් වූ සාක්කි අනුව රක්ෂිතයේ විශාල ප්‍රමාණයක් එළි පෙහෙළි කර සරණාගතයින් පදිංචි කර ඇති බව පෙනී යයි.මෙය වන සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමකි.

කෙසේ නමුත් වගඋත්තරකරුවන් තර්කයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ රටේ අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ මුස්ලිම් ප්‍රජාවගේ ඉඩම් ප්‍රශ්නය යළි පදිංචි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණය අනුව කටයුතු කර ඇති බවය.

තවද ඉදිරිපත් වී ඇති සාක්කි අනුව පැහැදිලි වන්නේ මෙම ක්‍රියාවලියට මුල් වී ඇත්තේ එවකට වානිජ සහ කර්මාන්ත අමාත්‍යවරයාව කටයුතු කළ 7 වැනි වගඋත්තරකාර රිෂාඞ් බදුද්දීන් මහතා බවය.ඒ අනුව මෙම වන රක්ෂිතයේ අවතැන් වූ පුද්ගලයින් පදිංචි කිරීම , වන රක්ෂණ ආඥා පනතෙහි විධි විධාන උල්ලංඝනය කිරීමක් බව අධිකරණයේ මතයයි.

කෙසේ නමුත් පෙත්සමෙහි අදාළ අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් නම් නොකිරීම හේතුවෙන් පෙත්සමෙන් ඉල්ලා ඇති සහනය වන අදාළ රක්ෂිතයේ නිවාස ඉදි කිරීමෙන් 1 සිට 6 දක්වා වගඋත්තරකරුවන් ගත් තීරණය බලරහිත කරන බවට සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කිරීම සිදු කළ නොහැකිය.

තවද පෙත්සම්කාර පාර්ශවය විසින් අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් නම් නොකිරීම හේතුවෙන් පාරිසරික පනත, වෘක්ෂලතා සහ සත්ව ආඥා පනත , වන සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 1,2,3,4 සහ 8 වැනි වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක්ද නිකුත් කළ නොහැක.

මෙම පෙත්සම් විභාගයේදී රජයේ නීතීඥවරයා ගේ ප්‍රධාන තර්කය වන්නේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය දැන් අවසන් කර ඇති බැවින් මෙම පෙත්සමෙන් පළක් නොවන බවය.

යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති නමුත් යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදු කර ඇත්තේ නීතිය උල්ලංඝනය කරමිනි.නීතියට එරෙහිව සිදු කළ ක්‍රියාවකට එරෙහිව නීතියෙන් ගත හැකි සියලුම පියවර ගත යුතු බව අධිකරණයේ මතය වේ.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන බවද තීන්දුවේ සඳහන් වේ.එම ආඥාව අනුව වගඋත්තරකරුවන් විසින් යළි පදිංචි කිරීම් සදහා එළි පෙහෙළි කළ රක්ෂිත වන කලාපයේ වපරිසරයට සමාන වපසරියකින් යුත් වෙනත් ප්‍රදේශයක වන සංරක්ෂණ ආඥා පනතේ විධි විධානයන්ට අනුකූලව රුක් රෝපණ වැඩසටහන් ආරම්භ කිරීමට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ යුතුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (25) ඡේදය අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකු ස්වභාදහම ආරක්ෂා කිරිම මූලික යුතුකමකි.එය හිටපු අමාත්‍ය බදුද්දීන් මහතා වැනි මහජන නියෝජිතයින් ද , රාජ්‍ය නිලධාරීන්ටද අදාළ වේ.

පෙත්සම්කරවන සිය පෙත්සමෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදුද්දීන් මහතාට එරෙහිව සෘජුවම නියෝගයක් ඉල්ලා නැති නමුත් දූෂකයා ගෙවිය යුතුය යන මූලධර්මය ඔහුට එරෙහිව ක්‍රියාත්මක කළ යුතු බව අධිකරණයේ මතය බව තීන්දුවෙහි සදහන් වේ.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුද්දීන් මහතා මෙම ක්‍රියාවලියේ ප්‍රධාන මෙහෙයුම කර ඇති බැවින් රිට් ආඥාව අනුව සිදු කළ යුතු රුක් රෝපණ වැඩසටහනෙහි සම්පූර්ණ වියදම දැරිය යුතු බවත් අධිකරණය නියම කර සිටී.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් , නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමින් කියා තිබිණි.විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 ක් හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බවද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබිණි. එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් 2019 වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය එවකට විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට එවකට සිටි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කරන ලදී.

ඒ අනුව අදාළ පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ වසරකට ආසන්න කාලයක් යළි විභාග කොට මෙම තීන්දුව ලබා දෙන ලදී.

පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබfරේ මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනොහාර ජයසිංහ මහතා පෙනී සිටියේය. වගඋත්තරකාර හිටපු අමාත්‍ය රිෂාඞ් බදුද්දීන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here