විධිමත් ක්‍රමවේදයකට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට සූදානම් – යුද හමුදාපති

0
17
Author(s): 
මහින්ද අලුත්ගෙදර

රටේ ජීවත්වන පුරවැසියන්ට කිසිදු තර්ජනයක් ඇති නොවන ආකාරයේ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට සූදානම් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ‍ෙජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා මෙසේ ද කීය.

‘මෙරට කිසිවකුටත් තර්ජනයක් ඇති නොවන පරිදි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු සූදානම්. ඒ අනුව ඔවුන් ඉදිරි පැය 48න් පසුව මෙරටට කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගන්නවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හෙටින් (18) පසුව පෙර පරිදි ගුවන් යානා කිහිපයකින් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. එම වැඩපිළිවෙළ විධිමත් ලෙස ක්‍රියාවට නංවනවා.

මේ ශ්‍රී ලාංකිකයන් මෙරටින් පිටත්ව ගොස් තිබෙන්නේ විනෝදයට නොවේ. ඒ තමන් සහ තම පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන්. විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු දෙනා සතුටින් සහ පහසුවෙන් රැකියාවල නිරත වන්නේ නෑ. විවිධ අපහසුතා මධ්‍යයේ එම රැකියාවල නිරත වෙනවා. වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගත් විට ඒ ඒ රටවල රැඳී සිටීමට නොහැකි සෞඛ්‍යමය හේතු පැවතිය හැකියි. මේ හේතුවෙන් ඔවුන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කරනවා. පසුගිය ඔක්තෝබර් මස 4 වැනිදා මේ රටේ ඇති වූ තත්ත්වය සමඟ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙළ වෙනස් කිරීමට සිදු වූණා.

නමුත් සම්පූර්ණයෙන්ම ඔවුන් ගෙන්වාගැනීම නවතා නොදමා සුළු වශයෙන් මෙරටට ගෙන්වාගැනීම සිදු කළා. මෙසේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ආවත් රටේ තත්ත්වය, කොවිඩ් ආසාදිත සංඛ්‍යාව, ආසාදනය වන ක්‍රමවේදය ආදිය සැලකිල්ලට ගෙන සුදුසුම ක්‍රමවේදයක් යටතේ ඔවුන් මෙරටට ගෙන්වා ගන්නවා. කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකා සංක්‍රමණික ජනගහනයේ සුබසාධන අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකා රජය වහාම පියවර ගෙන තිබෙනවා. මැද පෙරදිග කලාපයේ සංක්‍රමණික කම්කරුවන් 17,861ක් ද ඇතුළුව මේ දක්වා විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 40,000කට වැඩි පිරිසක් ආපසු මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා.

මේ වසර මුල දී වසංගතයේ පළමු රැල්ල අතරතුර මේ සේවකයන්ගේ ක්ෂණික අවශ්‍යතා පිළිබඳ ආනුභවික දත්ත එක්රැස් කිරීම, මඟ පෙන්වීම, තොරතුරු සැපයීම, හදිසි අවස්ථා සඳහා සහාය වීමට‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය ආරම්භ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තා. මේ දත්ත ගබඩාවේ දැනට ශ්‍රී ලාංකිකයන් 98,000කට වඩා ලියාපදිංචි වී සිටිනවා. ඔවුන්ගෙන් බහුතරය මැද පෙරදිග, ලතින් අමෙරිකා, කොරියාව, ජපානය සහ දකුණු යුරෝපයේ සිටින අයයි.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here