සාහිත්‍ය සම්මාන ගැටලුව ගැන කතිකාවක්

0
7

2020 වසරේ යොවුන් සාහිත්‍යයට හිමි සම්මාන දෙකක්ම දිනා ගත් ‘ඒත් අපි පියාඹමු’ යොවුන් නවකතාව පිළිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය තුළ මහා ආන්දෝළනයක් හට ගත්තේය. සම්මාන දිනා ගත් කෘතියට වෙනත් පොත් කිහිපයකින් උපුටාගත් කොටස් කිහිපයක් ඇතුළත් කිරීම ඒ ආන්දෝළනයට තුඩු දුන් හේතුව විය. ආන්දෝලනය ඇති කළ අය සහ ඊට සහභාගි වූ වැඩි දෙනෙක් ඒත් අපි පියාඹමු කෘතියේ කතුවරියට කොන්දේසි විරහිත ව පහර දුන්නෝය. පහර දුන් අයගෙන් වැඩි දෙනකු අදාළ කාරණය උපයෝගි කර ගෙන අවශේෂ කාරණා ඉටුකර ගැනීමට උත්සාහ දරන බවක් ද පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත් මෙය අපේ රටේ සාහිත්‍ය පිළිබඳව අලූතින් සිතන්නට සහ හරවත් සංවාදයක් ඇති කර ගන්නට කර ගත හැකි නම් යහපත් වනු ඇතැයි සිතමු. මේ ඒ පිළිබඳ කළ අදහස් විමසීමකි.

සම්මානය යළි මා බාර දෙනවා
– ලේඛිකා සුජාතා අලහකෝන්

(කර්තෘ ‘ඒත් අපි පියාඹමු’ 2019 ගොඩගේ අත් පිටපත් තරගයේ ජයග්‍රාහී අත් පිටපත හා 2020 ගොඩගේ සාහිත්‍ය සම්මාන තරගයේ යොවුන් නවකතාවට හිමිවන සම සම්මානයග 2020 රජත පුස්තක සාහිත්‍ය සම්මාන උලෙළේ වසරේ විශිෂ්ටතම යොවුන් නවකතාව).

තුන් පාරක්ම සම්මානයට පාත්‍ර වුණ මගේ ‘ඒත් අපි පියාඹමු’ පොත නිසා මේ චෝදනාව ආවේ. ඒ නිසා තවදුරටත් මේ සම්මානය මා ළඟ තබා ගැනීම සුදුසු නැහැ කියලා මම තිරණය කළා. 2020 විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස හිමි වුණ රජත පුස්තක සම්මානය හා මට ලැබුණ රුපියල් දෙලක්ෂ පනස්දහසක ත්‍යාග මුදල එම සම්මාන සංවිධාකයන් වන පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට ආපසු බාර දෙන්න තීරණය කළා. ඒ අනුව 9 වෙනි දා ඔවුන්ගේ ගිණුමට අදාළ මුදල බැර කළා. 10 වෙනි දා සම්මානය එම ආයතනය වෙත ආපසු යවනු ලැබුවා. ගොඩගේ සම්මානයත් එලෙසම ආපසු බාර දීමට කටයුතු කළත් මේ දිනවල ආයතනය වසා ඇති බැවින් එම කාරණය ලිඛිතව ආයතනයට දන්වන ලෙසත් සම්මාන පසුව බාර දෙන ලෙසත් සංවිධායකයන් මා හට දැනුම් දුන්නා. මම ඒ අනුව කටයුතු කරනවා.

ප්‍රශ්නකාරි කාරණය පිළිබඳව මට දෙන්න තියෙන්නෙ තරමක දීර්ඝ පිළිතුරක්. මේක හොඳ පුරුද්දක් ද නරක පුරුද්දක් ද කියල මම දන්නෙ නැහැ. හැබැයි පත්තරේක හරි පොතක හරි දුටුව කවියක් ලස්සන පරිසර වර්ණනාවක් හරි උපුටනයක් හරි එක්රැස් කර තබා ගන්නා පුරුද්දක් මට පොඩි කාලෙ ඉඳන්ම තිබුණා. එවැනි එකතුවක් මා ළඟ අදටත් තියෙනවා. ඒවා ලියා ගනිද්දි ප්‍රසිද්ධ උපුටන නම් ඒ අයගෙ නම් දාලා ලියා ගන්නවා. හැබැයි ලස්සන දෙයක් පරිසර වර්ණනාවක් ලියාගනිද්දි නමක් ලියා ගන්න පුරුද්දක් මට තිබුණෙ නැහැ. මොකද ඒක පසුව මම පොතකට දානවා හෝ එවැනි කිසිදු අරමුණක් මා තුළ පැවතුණෙ නැති නිසා. පස්සෙ කාලෙක මම කවි ලිවුවා. කෙටිකතා ලිවුවා පුවත්පත්වලට ලිපි ලිවුවා. ඒ ලියන කොට වුණත් මට සමහර දේවල් ගැන සමහර අදහසක් ආවාම මගේ ලිපි එකතුව කියවනවා. සමහර දේවල් අවිඥානිකව මතකයටත් එනවා. ඉස්කෝලෙ යන කාලෙ ඉගෙනගත්ත පරිසර වර්ණනා මගෙ හිතේ තවම තියෙනවා. මම මෑතක කියවූ ලියනගේ අමරකිර්ති මහත්මයගෙ පොතෙහි සමහර වචන මට කට පාඩම්. මගේ ලිවීමේදී ඒ වචන නිරායාසයෙන් ඇතුළත් වෙනවා. මගේ නවකතාව සඳහා ඔය කියන පොත මම පෙරළාගෙන ඒක ලිවුවා නෙවෙයි. මම අතින් ඔය වගේ ලියවිච්ච ගොඩක් ජාති තියෙනවා. මම ඒ අදාළ අවස්ථාවට ලස්සනයි කියල හිතුණ කෑල්ල අරගෙන ලියලා තියෙනවා. මේක එහෙම වුණා කියල මම පිළිගන්නවා. පිළිනොගෙන ඉන්න හේතුවක් නැහැනෙ. එතකොට පොතේ කවියක් තියෙනවා. ඒකත් මම අර වගේ පොතක ලියාගත්ත එකක්. මම කතාව ගොඩනඟාගෙන යනකොට මගෙ පොතේ ප්‍රධාන චරිතය නිර්මාණයට දක්ෂ කෙනෙක්. මට හිතුණා ඒ අවස්ථානුකූලව ඒ කවිය යොදන්න. මගේ පෙරවදනෙහි ඒ ගැන සටහන් කරල තියෙනවා. මම හොරකමක් කරන්න හිතුවා නම් ඒක හරියටම ගළපල උපක‍්‍රමශීලිව කරන්න තිබුණා. මට තියෙන ප්‍රශ්නය තමයි උගත් යැයි සම්මත සමාජයේ පෙරගමන්කරුවන් මේක විසඳන ආකාරය මේකද කියන එකයි. මේ පහරදීම් නිසා මට මහා විශාල ප්‍රසිද්ධයකුත් හම්බ වුණා. ඉදිරියේදි පාඨකයන් මගේ පොතක් කොපි කරල ද කියල බලන්න හරි අරන් බලයි. මට දැන් වයසයි. මට දේශපාලනයත් කරලා හොඳට බැණුම් අහලත් පුරුදුයි. ඒ හින්දා මම මේකෙන් වැටෙන්නෙ නැහැ ගමගේ ඉදිරි ගමනට අත්දැකීමක් කර ගන්නවා විතරයි.


මම මේ ගැන කිසි ප්‍රකාශයක් කරන්නේ නැහැ 
– ලේඛිකා ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

ඔය කාරණය සම්බන්ධයෙන් මගේ පාඨකයෙක් මාව දැනුවත් කළාට පසුව මම එම අවස්ථාවේ මගේ ෆේස්බුක් පිටුවෙහි ඔය ගැන යම් සටහනක් තබා තිබෙනවා. එයට අමතරව මම මේ කාරණය සම්බන්ධව දැනට කිසිම ප්‍රකාශයක් කරන්නෙ නැහැ.


අප ආයතනය තීන්දු කිහිපයකට එළඹියා 
– අනුරසිරි හෙට්ටිගේ 
ව්‍යාපෘති සම්බන්ධීකාරක 
ගොඩගේ පොත් මැඳුර

ගොඩගේ සම්මාන කමිටුව විසින් නිකුත් කරන ලද නිවේදනය

2019 වසරේ අප ආයතනයේ ප‍්‍රකාශනයක් ලෙස එළි දැක්වූ සුජාතා අලහකෝන් ලේඛිකාව විසින් ප්‍රබන්ධ කරන ලද ‘ඒත් අපි පියාඹමු‘ යොවුන් නවකතා කෘතිය සම්බන්ධයෙන් මුහුණු පොත ඔස්සේ කරළියට පැමිණි කතිකාව කෙරෙහි අපගේ අවධානය යොමුව තිබේ.

මෙහිදී එම කෘතියේ සඳහන් සමහර වැකි දක්වා ඇති පරිවර්තන කෘතිවලින් උපුටා ගෙන ඇති බව තර්කයකින් තොරව ඔප්පු වන බව නොකිවමනාය. එය ලේඛකයකු විසින් නොකළ යුතු බරපතළ වැරැද්දක් බව ද පිළිගත යුතුව තිබේ.

මෙම කෘතිය අප ආයතනය විසින් සංවිධානය කරනු ලබන අත් පිටපත් තරගයකින් මෙන්ම 22 වන ගොඩගේ සාහිත්‍ය (සම සම්මානය ද පිරිනමා ඇත. සම්මාන සමීක්ෂණයේ නිරත සමීක්ෂකයන් විසින් මෙවැනි සූක්ෂ්ම උපුටනයක් මඟහැරී යෑම ස්වභාවිකය. කෙසේ වෙතත් උදා වි ඇති මේ තත්වය පිළිබඳ සමීක්ෂකයන් දෙදෙනකු සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ අතර දුරකතන සබඳතාවන්හි අපහසුතා නිසා තෙවැන්නා සමඟ සම්බන්ධ වීමට අපහසු විය. කෙසේ වුවත් එම දෙදෙනාගේ අදහස වූයේ මෙය අයහපත් සිදුවීමක් බවයි. ඒ නිසා මේ කාරණය සම්බන්ධයෙන් එක්ව කතිකා කර ස්ථිර තීන්දුවක් ගනු ලැබීමට යටත්ව කඩිනමින් තාවකාලික තීන්දුවක් ගැනීම යහපත් බවයි.

ඒ අනුව ප‍්‍රස්තුත නිර්මාණයේ ලේඛිකාව සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ අතර ඇය ඉදිරිපත් කළ කරුණුවලට අනුව ඇයගේ නිර්මාණයෙහි වෙනත් කෘතිවල වැකි සමහරක් ඇතුළත් වීම සත්‍යයක් බවයි. ඊට පාදක හේතු කුමක් වුවත් මෙය ඉතා අයහපත් පූර්වාදර්ශයක් බැවින් අප ආයතනයේ පරිපාලනය විසින් පහත තීන්දුවලට එළැඹි බව සාහිත්තික සමාජය වෙත දැනුම් දී සිටින්නෙමු.

1. දැනට පවතින කොවිඞ් 19 නිරෝධායන ඇදිරි නීතිය සහ ප‍්‍රදේශ හුදකලාවෙන් පසු ක‍්‍රියාත්මක වන ආයතන පරිසරයක විශේෂ කමිටු රැස්වීමක් මඟින් ස්ථිර තින්දුවක් ගන්නා තුරු ගොඩගේ ප‍්‍රකාශනයක් වන සුජාතා අලහකෝන් විසින් රචිත ‘ඒත් අපි පියාඹමු‘ කෘතිය වෙනුවෙන් පිරිනමා ඇති 2019 ගොඩගේ අත් පිටපත් අගැයීම් සම්මානය සහ 2020 22 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයේ සම සම්මානය අක‍්‍රිය කොට නැවත කැඳිවීමටත්,

2. ප‍්‍රස්තුත ලේඛිකාව වෙතින් ලිඛිත ප‍්‍රකාශයක් ලබාගැනිම සහ අප ආයතනය විසින් ඇගේ ඉදිරි නිර්මාණ කෘති සම්බන්ධයෙන් ඉදිරි තීන්දුවක් ගනු ලැබීමටත්,

3. මේ අයහපත් කරුණ හේතුවෙන් කිසියම් ප‍්‍රකාශකයකුට ලේඛකයකුට පාඨකයකුට සහ සම්මාන සමීක්ෂණයෙහි නිරත වූ සමීක්ෂකයන්හට කිසියම් අපහසුතාවක් සිදු වූයේ නම් අපගේ බලවත් කණගාටුව පළ කිරීමටත් තීන්දු කෙරිණ.

මේ කාරණය සම්බන්ධයෙන් අප සමඟ දුරකතනයෙන් අදහස් පළ කර ගත් ප‍්‍රවීණ ලේඛකයන්ටත් මුහුණු පොත ඔස්සේ මැදිහත්වීම් කළ සැමටත් සාහිත්‍යයේ ජීව ගුණය පවත්වා ගැනීම උදෙසා ලබා දුන් සහයක් සේ සලකා ස්තූතිය පිරිනමන්නෙමු.

පවතින තත්ත්වය යටතේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කරන මෙම නිවේදනය මාධ්‍ය නිවේදනයක් ලෙස සැලකීමේ අවස්ථාව ඇති බව ද සටහන් කරමු.

ස්තූතියි.

ගොඩගේ පොත් මැඳුර/ සී.ස.ඇස්. ගොඩගේ සහ සහෝදරයේ (පුද්. සමාගම /ගොඩගේ සම්මාන කමිටුව වෙනුවෙන් අනුරසිරි හෙට්ටගේ, ව්‍යපෘති සම්බන්ධීකාර


නිර්මාණය සම්බන්ධව ලේඛකයා වගකිව යුතුයි
– ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන

(2020 රජත පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලයේ සාමාජික)

රජත පුස්තක විනිශ්චය මණඩලයේ අවසන් වටයේ සිටියේ මා ඇතුළු තවත් තිදෙනෙක්. මුලින් කණ්ඩායමක් විසින් තෝරා ගත් පොත් පහක් තමයි මා ඇතුළු තිදෙනකුගෙන් යුත් මණ්ඩලය වෙත තේරීමට ලබා දුන්නෙ. අපට ලබා දුන් පොත්වල ගුණාත්මක ලක්ෂණ විමසුමට ලක් කර අප මෙම පොත තෝරා දෙනු ලැබුවා. මෙතනදි අපිට ලංකාවේ පළ වෙන හැම පොතක්ම කියවන්න අවස්ථාවක් නැහැ. මේ පොත් කොපි කරලද කියලා බලන්න. තමන්ගේ නිර්මාණයේ අවංකභාවය ගැන ලේඛකයාට වගකීමක් තිබෙනවා. හිතාමතා කෙනෙක් තවත් කෙනකුගේ නිර්මාණයකින් දෙයක් කොපි කළා නම් ඒක් වරදක්. මොකද ලොකු කුඩා ප්‍රවීණ නවක ඔය ඕනෑම තලයක සිටිනවා කියලා නැහැ කෙනෙක් දැන දැන යම් වරදක් කළා නම් ඒක වරදක් ලෙස අප දකිනවා.

එහෙත් මෙවැනි සිදුවීම් ඉතිහාසයේ සිට මේ දක්වාම විවිධ තැන්වලදී සිදුවී තිබෙනවා. මේ සම්බන්ධව ඇති ප්‍රසිද්ධම උදාහරණයක් ඉතිහාසයෙන් අපට හමුවෙනවා. ඒ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ ඇතැම් කවි සංස්කෘත කවීන්ගෙන් උපුටා ගත් වගට චෝදනා කරමින් ලක්මිනි පහණ පත්‍රයට මුණිදාස කුමාරතුංග මහතා ලිපියක් ලියමින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කවියෙක් බව සඳහන් කරනු ලැබුවා. එම අවස්ථාවේ ඩි. බී. ජයතිලක හා එවකට සිටි පඬිවරුන් මේ ප්‍රකාශයට විරුද්ධව නැඟී සිටියා. ඒ අවස්ථාවෙහි සංස්කෘත කවින්ගේ ශ්ලෝකත් රාහුල හාමුදුරුවන්ගෙ කවිත් සංසන්දනය කරමින් කුමාරතුංග මහතා මෙම කාරණය ඔප්පු කර පෙන්වා දුන්නා. කොළම ආනන්ද විද්‍යාලයේ මේ ගැන සම්මුඛ වාදයකුත් පැවැත්වුණා. එහෙම කළත් කුමාරතුංග මහතා හැම වෙලාවෙම කිව්වෙ තොටගමුවෙ රාහුල හිමි කියන්නෙ අපිට සිටින දක්ෂතම කවියෙක් කියන වගයි. මෙතැනත් ඒ වගේ වැරැද්දක් තමයි වෙලා තියෙන්නෙ. ලොකු පොඩි කවුරු කළත් වැරැද්ද වැරැද්ද ලෙසින් දැකිය යුතුයි. එහෙත් මෙම ලේඛිකාවට ප්‍රතිභාවක් තිබෙන බව අපිට ඇය මින් පෙර කර ඇති නිර්මාණවලින් හැඟී යනවා.


සර්වසම්පූර්ණ ලේඛකයෝ ලෝෙක කොහේවත් නැහැ
– ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි

( ගොඩගේ සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලයේ සාමාජිකා)

කිසි යම් කෙනකුගේ බුද්ධිමය දේපළ සොරාකෑම හොඳ නැහැ. නොදැන එහෙම වෙන්න පුළුවන්. දැන දැන එහෙම කරනවා නම් ඒක එච්චර සදාචාර සම්පන්න නැහැ. ලේඛකයන් කියන්නෙ මානව ගුණධර්ම කඩා හැලෙන කොටසක්. දෙයක් වුණහම අපි මනුස්සයො දිහා කරුණාවෙන් දයාවෙන් බලන්න ඕනෑ. එක්තරා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන සමාගමක් මගේ ගණිත පොතක තිබුණ සංකල්පයක් ඒ ආකාරයෙන්ම අරගෙන දාලා තිබුණා. මම නිහඩව ඉඳලා එම පොතේ දෙවෙනි මුද්‍රණයෙදි මේ කාරණය පොතෙහි සටහන් කළා. යළිත් මෙවැනි දේවල් කරන්න එපා කියලා. ලේඛකයකුට වගේම පොත්පත් පරිශීලනය කරන්න ඕනෑම කෙනකුට අයිතියක් තියෙනවා. පොත්පත් හා ආශ‍්‍රිත දේවල් පරිශීලනය කරනව කියන එක මේ ලෝකය යන ගමනෙදි නතර කරන්න බැහැ. එහෙත් පරිශීලනය හා හොරකම අතර ලොකු වෙනසක් තියෙනවා. එතුමිය පවසනවා නම් මම මේක පරිශීලනය කළා කියලා ඒක වඩා හොඳින් විමර්ශනය කර විවේචනය කළ යුතුයි. අනික මේ දේ එක් අයකුගෙන් විතරක් සිදුවෙච්ච වැරැද්දක් නෙවෙයි.

බොහෝ තැන්වලදි මේ කාරණය සිදුව තිබෙනවා. ඉතින් ඇයි එක කෙනකුට විතරක් පහර ගහන්නෙ? ගොඩගේ සම්මානය සමීක්ෂණ මණ්ඩලයේ තිදෙනා අතර මමත් හිටියා. එහි මේ පොත ගැන කතාබහෙදි ගැටලුවක් මතු විය හැකිය කියන කාරණය මා විසින් පවසනු ලැබුවා. එහෙත් කණ්ඩායමක් විදිහට ඉන්න කොට අපිට එකිනො අබිබවා යන්න බැහැ. සාමූහිකව කටයුතු කරන්න සිදු වෙනවා. සර්ව සම්පුර්ණ ලේඛකයො ලෝකයෙ කොහේ වත් නැහැ. මෙවැනි අවස්ථාවක මාධ්‍ය වගකීම වන්නේ ඇයගේ හෝ ඔහුගේ සාහිත්‍ය ලෝකය ඝාතනය කරන එක නෙවෙයි. යම් යම් වැරැදි තියෙනවා නම් ඒවා නිවැරැදි කර ගෙන කළ යුතු දේ කරන්නට පුහුණු කිරිමයි.


වැරැද්ද වැරැද්දක් විදිහට දකිනවා
– ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා

(ලංකා ලේඛක සංවිධානයේ සභාපති)

යම් කිසි කතුවරයෙක් අනුන්ගෙ පොතකින් අනවසරයෙන් අරගෙන පළ කළා නම් ඒක නීති විරෝධියි. ඒකට දඩුවම් ලබන්න ඕනෑ. ඒක තමයි අපේ ස්ථාවරය. නිර්මාණවල හරය අරගෙන ලියවුණ පොත් ඉතිහාසයෙත් තියෙනවා. වර්තමානයෙත් තියෙනවා. එතැනදි නිර්මාණයක හරය ගත්තට තමන්ගෙ භාෂාව තමන්ගේ නිර්මාණ රටාව ඇතුවනෙ ඒක ලියවෙන්නෙ. ඒ නිසා එම නිර්මාණය ලියපු පුද්ගලයගෙ අයිතිය බවට පත් වෙනවා. මේ වරද සිදු වූවා යැයි කියන නිර්මාණ සමීක්ෂණ මණ්ඩලවලට හැම දෙයක්ම හොයන්න බැහැ. අනික එයා අරන් තියෙනවා කියන පොතුත් එච්චර ප්‍රකට පොත් නෙවෙයි. නමගිය පොතකින් ගත්තා නම් සාමාන්‍යයෙන් විනිශ්චය මණ්ඩලයේ ඉන්න කෙනකුට දැනගන්න පුළුවන් අර පොතෙන් තමයි අරගෙන තියෙන්නෙ කියලා. අනිත් කාරණය සම්මානය සඳහා නිර්මාණය බාර දෙන අවස්ථාවේ මෙය තමාගෙ ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුයි කියලා නිර්දේශවල තියෙනවා. මුලින්ම මේ නිර්මාණය ගොඩගේ පිටපත් තරගයට ආවෙ. ඒ වෙලාවෙ මේක ස්වතන්ත‍්‍ර නිර්මාණයක් බවට සහතික කළ ලිපියක් අදාළ ලේඛිකාව විසින් ආයතනයට ලබා දෙන්න ඇති. උදාහරණයක් විදිහට ක්‍රීඩකයන් තහනම් උත්තේජන පාවිච්චි කරලා ක්‍රීඩා කරනවා. පස්සෙ මේ කාරණය ඔප්පු වුණොත් දඬුවමක් විඳින්න වෙනවා. සමහරු විමසනවා මෙතැනදි ලේඛක සංගමය මොකද කරන්නෙ කියලා. ලේඛක සංගමය කියන්නෙ පොලිසියක් නෙමෙයි. අප කරන්නෙ ලේඛකයන් නඟාසිටුවීම මඟ පෙන්විම. නවක ලේඛකයන් වැරැදි මාර්ගයේ යනවා නම් එයාලා කරන වැරැදි අනුමත කරන්න අපට බැහැ. ලේඛක සංගමය පැත්තෙන් එහෙම පහර ගහන්නෙත් නැහැ. එහෙත් වැරැද්ද වැරැද්දක් විදිහට දක්වනවා.


දැනගෙන කළා නම් කතුවරිය කර ඇත්තේ වංචාවක්
– ප්‍රවීණ ලේඛක ආරියවංශ රණවීර

ආභාසය අනුකරණය සහ කොපි කිරීම කියන්නෙ කාරණා තුනක්. නිර්මාණකරණයෙදි කොපි කරනවා කියන එක නම් සම්පූර්ණයෙන්ම බැහැර කරන්න ඕනෑ. නිර්මාණකරුවා තමන්ගෙ පරිකල්පනය විසින් ලෝකය හා ජීවිතය දෙස බලලා තමන්ගේම කිව හැකි දෘෂ්ටියක් ඉදිරිපත් කිරීමයි නිර්මාණකරණයේදි කෙරෙන්නෙ. යහපත් යැයි සැලකෙන නිර්මාණ කෘතිවල එය තමයි අප දකින්නේ. විය යුත්තෙත් එයයි. එහෙත් හැම වෙලාවෙම නිර්මාණකරුවකුට වැල්ලෙන් වැලි අරන් කඹයක් හදන්න උත්සාහ කරනවා වගේ හුදු පරිකල්පනයම පදනම් කරගෙන නිර්මාණයක් කරන්න බැහැ. ඔහු හැම විටම පුරෝගාමින්ගෙ කෘති කියවමින් තමයි තමන්ගෙ නිර්මාණ කටයුත්ත කරන්නෙ. එතනදි අප පිළිගන්නට ඕනැ පුරෝගාමින්ගෙ නිර්මාණ ග‍්‍රන්ථ පරිහරණය කරනවා කියන එක. ඒ පරිහරණය කිරීමෙන් පරිපල්කල්නය දියුණු වෙන්නත් පුළුවන්. පරිකල්පනය අලූතෙන් මතුවෙන්නත් පුළුවන්. හැබැයි අවසානයේ බිහි විය යුතු වන්නේ අනුකරණයක් නෙවෙයි. නිර්මාණ ක්ෂෙත‍්‍රයේ පුරෝගිමීන්ගෙ කෘති අධ්‍යයනය කළ යුතුයි. අපේ පරිකල්පන ශක්‍යතාවය දියුණු වන්නට ඕනෑ. එහෙත් එයින් පොහොසත්ව නිර්මාණකරුවා තුළින් බිහිවන්න ඕනෑ අලුත් දෙයක්. මෙතැනදි සම්මානය සඳහා විනිශ්චය ලබා දීමේදී දැන හෝ නොදැන වරදක් සිදුව තිබෙනවි. ඔවුන් අතින් දැන ඒ වරද සිදුවූවා වෙන්නට බැහැ. ඒ වගේම ඔවුන් අතින් එවැනි වරදක් සිදුවීමට හැකියාවක් තියෙනවා. මොකද මේ කාලයේ විශාල නිර්මාණ සංඛ්‍යාවක් බිහිවෙනවා. ඔවුන්ට හැකියාවක් නැහැ බිහිවෙන හැම නිර්මාණයක් ගැනම අතැඹුලක් සේ දැන කියාගෙන මෙම කාර්ය කරන්න. එහෙත් මෙහිදී ඉතාමත් කල්පනාකාරි වෙන්නට ඕනෑ මෙතනදි ප්‍රධාන වශයෙන් දැන දැන එවැනි දෙයක් කළා නම් ඒ කතුවරයා හෝ කතුවරිය කර ඇත්තේ සහ ලබා දී ඇත්තේ ඇත්තේ අති විශාල වංචාවක් වගේම නරක ආදර්ශයක්.


කොපි කිරීම හරි කියලා කියන්නේ නැහැ
– ප්‍රවීණ ලේඛක ගුණසේන විතාන

(රජත පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලයේ සාමාජික)

 මෙම නිර්මාණය ප්‍රකාශකයන්ගෙ සංගමයෙ රජත පුස්තක සම්මානයට තෝරගන්න පෙර ගොඩගේ අත් පිටපත් තරගයෙන් තෝරගෙන මුද්‍රණයත් කරලා තිබුණ පොතක්. මෙවන් අඩුපාඩුවක් තිබුණා නම් ඒ අඩුපාඩු ඊට පෙර අහු වෙන්න ඕනෑ. රජත පුස්තක සම්මානය තේරීම සඳහා අප සිටියේ අවසාන තේරුම් මණ්ඩලයෙයි. ඒ වන විට පෙර මණ්ඩලයක් විසින් තෝරා දුන් පොත් පහක් තමයි අපි තිදෙනකුගෙන් යුත් මණ්ඩලයකට ලබා දෙනු ලැබුවේ. නිර්මාණකරුවෙක් වශයෙන් මම කියන්නෙ නැහැ මේක හොඳ දෙයක් කියලා. කොපි කිරීම හරි කියලා. උපුටා ගැනීමක් නිර්මාණයකට දානවා නම් ඒ ගැන සඳහන් විය යුතුයි. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒක ලේඛකයාට විශාල හානියක්. සියදිවි නසා ගැනීමක් වගෙයි. තමන්ගේ නිර්මාණය අවංකභාවයකින් ඉදිරිපත් කිරීම ලේඛකයාගෙ පෞද්ගලික වගකීමක් විය යුතුයි.

ධම්මිකා සුරංජි පතිරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here