අපේ පහේ ළමයි

0
12

දිනය 2020 ඔක්තෝබර් මස 11 වැනිදාය. සුදුවතින් සැරැසුණු ළමයින් පාසලට පැමිණියේ වටපිට බලමිනි. එහෙත් යම්කිසි සංයමයකිනි. එකිනෙකාට ළං නොවී ඈතින් පැමිණි ඔවුනට නුපුරුදු කාර්යයන් කිහිපයකි. මුව ආවරණ.අත් සේදිම, උණ බැලීම අවට සිටින සෞඛ්‍ය නිලධාරීන්ගේ හැසිරවීම් ඔවුනගේ මනසට යම් බලපෑමක් ඇති කළා ද විය හැකිය. ඔවුන් සමඟ පැමිණි මව්පියන් ද සිටියේ චකිතයකිනි. නොපෙනෙන සතුරකු පිළිබඳ බිය ඔවුනගේ හදවත්වල තිබෙන්නට ඇත. අවසානයේ දරුවෝ ඒ අභියෝගයට මුුහුණ දුන්හ.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්විණි. ප්‍රතිඵල ද පැමිණ තිබේ.ශිෂ්‍යත්වය තියුණු තරගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙතරම් විවේචන පැවතිය ද අපේ දරුවනට මේ තරගයට මුහුණ දීමට සිදුව තිබේ. මෙවර ඔවුනට එම තරගයට මුහුණ දීමට සිදු වූයේ තවත් අභියෝගයක් මැදින් වීම විශේෂත්වයකි. එනම් මුළු ලෝකයම මෙන්ම අපේ රටට ද දරුණු සෞඛ්‍යමය ගැටලුවක් වූ කොරෝනා වසංගතයට මුහුණ දෙමින් සිටින කාල පරිච්ඡේදයකදී වීමය. වෙනත් වසරවලදී ශිෂ්‍යත්ව දරුවන් විභාගයට සූදානම් වීමේදි මෙවැනි අවදානම් සහගත පරිසරයක් නොවිණි. මේ වසරේ එම වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් විය. පසුගිය මාර්තු මාසයේ සිටම අප නොසිතූ ආකාරයේ සෞඛ්‍යමය තර්ජනයකට මුහුණ දීමට සිදු විය. පාසල් අධ්‍යයන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට නොහැකි වූ අතර පෞද්ගලික පංති පැවැත්වීමට ද සුදුසු පරිසරයක් නොතිබිණි. එම නිසා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ද අපහසුතාවට පත් වන්නට ඇත. එහෙත් ගුරුවරු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මේ අභියෝගයට මුහුණ දීමට දරුවන් සූදානම් කරවූහ. මේ පුංචි දරුවන්ගේ මානසික මට්ටම බිඳ වැටෙන්නට ඉඩ නොදී ඔවුනට උපරිම ආරක්ෂාව සපයා දෙමින් ශිෂ්‍යත්ව විභාගය ලිවීමට රජය පහසුකම් සැපයූයේ දැඩි විශ්වාසයකිනි. කොරෝනා ප්‍රශ්නය හමුවේ රජය මෙම විභාගය කල් දැම්මේ නම් දරුවන්ගේ මානසික මට්ටම බිඳ වැටෙන්නට ඉඩ තිබිණ. එක්තරා ආකාරයකින් තරගකාරි විභාගයක් යනු විශේෂයෙන් කුඩා දරුවනට මානසික වධයකි. විභාග කල් දැමීමෙන් දරුවන් ඒ කෙරෙහි දක්වන උනන්දුව අඩු වී යෑමට ද පුළුවන. ඔවුන් ඇඟිලි ගනින්නේ ඉක්මනින් එයින් නිදහස් වීමටය.

මෙවන් වාතාවරණයක් යටතේ පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවල ද විශේෂත්වයක් දකින්නට ලැබේ. එනම් ලකුණු දෙසීයම ගත් දරුවන් දස දෙනකු සිටීමය. මෙවැනි ප්‍රතිඵලයක් වාර්තා වූයේ පළමු වතාවටය. ඔවුන් ද ග්‍රාමීය පාසල්වලිනි. එය අපේ දරුවන්ගේ හැකියාව මොනවට කියාපාන්නකි. ඕනෑම අභියෝගයක් ඉදිරියේ නොසැලෙන දරුවන් අපට සිිටින බවට මෙය හොඳම උදාහරණයකි. කෙසේ කීව ද ශිෂ්‍යත්වය සමත් වීමට පුළුල් පරාසයක දැනුමක් අවශ්‍යය. විෂයන් කිහිපයක දැනුම එකතු කර ගත යුතුය. දරුවන් ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන් ඒ සඳහා කරන්නා වූ කැපකිරීම අපි දනිමු. ඔවුන් ඒ සඳහා සූදානම් වන්නේ දෙවන හෝ තුන්වැනි වසරේ සිටය. මෙය එක්තරා සටනක් යැයි කීව ද වැරැදි නැත. දරුවන් වඩා හොඳ පාසලකට ඇතුළු කර ගැනීම මේ සටනේ බලාපොරොත්තුවය. ඇතැම් විට ඉතාමත් දක්ෂ දරුවකුට විභාගයට හරිහැටි මුහුණ දෙන්නට නොහැකි වන්නට ද පුළුවන. ඒ සඳහා දැනුම මෙන්ම මානසික ඒකාග්‍රතාවය ද අවශ්‍ය වෙයි. මේ සියල්ල සමබරව පවත්වා ගෙන යන්නට සෑම දරුවකුටම නොහැකි වන්නට ද පුළුවන. එහෙත් ලකුණු නොලැබූ දරුවන් අදක්ෂයෝයැයි වෙන් කළ නොහැකිය. එක් පැත්තකින් සමාජයේ මෙවැනි අවිනිශ්චිත තත්ත්වයක් තිබියදී නොබියව විභාගයට මුහුණ දීමම ද ජයග්‍රහණයකි. ඉහළ ලකුණු ගත් දරුවන් අගයනවා මෙන්ම අනෙක් සියලු ළමයින් දිරි ගැන්වීම මේ මොහොතේ කළ යුතුම දෙයකි. විභාග අසමත් යැයි දරුවන් පීඩාවට පත් කරන වැඩිහිටියන් පිළිබඳ කනගාටුදායක සිදුවීම් අප සමාජයෙන් අසන්නට ලැබේ. විභාගය ඉහළින් සමත් වන දරුවන් ඇගයීම්. මාධ්‍ය ප්‍රචාර මෙන්ම අනෙක් දරුවන් දිරිගන්වන වැඩසටහන් ද ඉදිරිපත් වන්නේ නම් එය ඉතා වැදගත්ය. මේ විභාගය දරුවන්ගේ අනාගතය තීරණය කරන එකම අවස්ථාව ලෙස සලකා කටයුතු නොකළ යුතුය. දරුවන්ගේ විවිධ හැකියා ඔස්සේ ඉදිරියට යෑමට මඟ පෙන්වීම වැඩිහිටියන්ගේ යුතුකමකි. එය අනාගතයට කරන ආයෝජනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here